court

අර්ථශාස්ත්‍ර 5: අධිකරණ පරිපාලනය නම් මූලික කාර්යයෙහිදී රාජ්‍යය අසමත් වීම

රොහාන් සමරජීව

නීතිය හා සාමය ඇතිකිරීමේදී රජයේ භූමිකාවට එරෙහිව කිසිදු දේශපාලන හෝ ආර්ථික න්‍යායාචාර්යවරයකු තර්ක නොකරන බව මින් පෙර තීරු ලිපියක මම පැවසීමි. ආන්තික නිදහස්වාදියකු පවා නීතිය හා සාමය පවත්වාගැනීමෙහිදී රජයට කාර්යයක් තිබෙන බව පිළිගන්නා බව මම පැවසුවෙමි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීති පද්ධතියක් ඇති බව පෙනේ. විනිසුරුවරුන් පත්කරනු ලැබේ. උත්සවාකාර නඩු විභාගයන් පැවැත්වේ. නීතීඥවරු අධිකරණ පරිශ්‍රයන් තුළ කඩිසර ලෙස එහෙමෙහෙ යති. ඔවුන් ඉතා කාර්යබහුල හා සමෘද්ධිමත් බව පෙනේ.

එහෙත්, ඉහත දක්වන ලද මූලික කාර්යයේදී මෙම රාජ්‍යය අසමත් වන ආකාරය බොහෝදෙනෙකු දකින්නේ නැත. 

අසමත්කමේ සාක්ෂි 

වර්තමානයේදී අධිකරණ අමාත්‍ය ධුරය හොබවන ජනාධිපති නීතීඥවරයා නීතීඥ සංගමයේ 47වන වාර්ෂික  උත්සව සභාවේදී ඒ පිළිබඳ සාක්ෂි ගෙනහැර දැක්වූයේය:

–  ශ්‍රී ලංකාවේ ගිවිසුමක් බලාත්මක කිරීමට ගතවන සාමාන්‍ය කාලය දින 1,318කි.  

–  ගිවිසුම් බලාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලොව රටවල් 189ක් අතරින් අත්පත් කරගෙන තිබෙන්නේ 161වන ස්ථානයයි.  

–  අපගේ නීති පද්ධතියට දකුණු ආසියාවේ නීති පද්ධති අටක් අතර හිමිවන්නේ පස්වන ස්ථානයයි.

–  ඉඩම්, බෙදුම් හා අන්තිම කැමති පත්‍ර සම්බන්ධ නඩු විසඳීම සඳහා පරම්පරාවක කාලයක් ගතවේ.  

–  මහාධිකරණයේ අපරාධ නඩුවක් විභාග වීම සඳහා සාමාන්‍යයෙන් අවුරුදු 9 ½ක් ගතවේ.

–  අපරාධ කටයුත්තක අභියාචනයක් සලකා බැලීම ආරම්භ කිරීම සඳහා අවුරුද්දක කාලයක් ගතවන අතර එම අභියාචනය සම්බන්ධයෙන් විසඳුමක් ලැබීමට අවුරුදු 3-4 පමණ කාලයක් ගතවේ.  

මේ වනාහි කරුණු සියල්ල නොවේ. 1978 සිට අපට මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකිය. මූලික හිමිකම් අර්ථ නිරූපණය කර තිබෙන්නේ “අවශ්‍ය පදනමක් හෝ හරයක් නිර්මාණය කරන ප්‍රධාන වැදගත් කාරණයක්” යන්නයි. එම නිසා, මූලික අයිතිවාසිකම් නඩුවලට ඉහත ලැයිස්තුගත කරන ලද නඩුවලට වඩා ප්‍රමුඛතාව අපේක්ෂා කළ හැකිය. 

එහෙත්, ප්‍රශ්නය එය නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (5) වගන්තියේ මෙසේ සඳහන් වේ. “මේ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද යම් පෙත්සමක් හෝ කරන ලද යම් යොමු කිරීමක් පිළිබඳව ඒ පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ නැතහොත් යොමු කිරීම කරනු ලැබූ දින සිට මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොට කටයුතු නිම කළ යුත්තේ ය.” එසේ වුණත්, 2008දී ගොනුකරන ලද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට එදිරිව කුරුකුලසූරිය (SC FR 556/2008 සහ SC FR 557/2008) නම් නඩුවෙහි තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන්නේ 2021පෙබරවාරි මාසයේදීය. ඒ සඳහා මාස 145ක් ගතවී තිබිණි.

යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීම යයි කියමනක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකි තත්වයක් තිබේ යයි කිව හැකිද?

නීතියේ ප්‍රමාදයට වඩා බරපතල අයුක්ති සහගත තත්වයක් වන්නේ වැරදි තීන්දුය. හෙල්පිං හම්බන්තොට නඩුවේදී වත්මන් අගමැතිවරයා දේශපාලන හේතු මත නිදොස් කිරීමට තමන් කටයුතු කළ බව ප්‍රසිද්ධියේ පිළිගත් අග්‍ර විනිශ්චයකාරවරයෙක් ශ්‍රී ලංකාවේ සිටියේය.

මෙම පුද්ගලයා විසින් දෙනලද අයුක්ති සහගත තීන්දු රැසකි. 2008 නොවැම්බර් 27දා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලියන ලද ලිපියක මම ඒවා ලේඛනගත කළෙමි. මෙම අග විනිසුරුවරයා විසින් සභාපතීත්වය දරන ලද විනිසුරු මඬුල්ලක් විසින් වෙනත් විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වීමට නියමිතව තිබූ කරුණක් (CS/FR 209/2007) සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන්නේය. එම නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබුණේ 2008 නොවැම්බර් 27දාය. එහෙත්, එහි තීන්දුව මාස හතරකට පෙර 2008 ජුලි 21දා ලබාදෙන ලදී.    

Sarath N. Silva
Sarath N. Silva

අග විනිසුරුවරයා විසින් සභාපතීත්වය දරන ලද තීන්දුව බදු ඉවත්කිරීමක් සම්බන්ධය. “ජෝන් කීල්ස් හෝල්ඩිං සමාගමට ලබාදෙන ලද බදු සහනය දැනට පවතින රෙගුලාසි යටතේ ලබාදිය නොහැකිය. ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් ඒ සඳහාම වන සංශෝධනයක් ලබාදී තිබේ” (CS/FR 209/2007, පිටු අංක 60-61). නොවැම්බර් මාසයේ පැවති නඩු විභාගයේදී බදු ඉවත්කිරීමේ නීත්‍යානුකූලභාවය හෝ එය නීති විරෝධී බව පිලිබඳ තීන්දුවක් ගැනීමට , බදු ඉවත්කිරීම සිදුකළ සමයේ ආයෝජන මණ්ඩලයේ සභාපති ධම්මික පෙරේරා, අර්ජුන මහේන්ද්‍රන් සහ හිටපු දේශීය ආදායම් කොමසාරිස් ඒ.ඒ. විජේපාල යන පුද්ගලයන්ගේ සාක්ෂි අවශ්‍ය විය.  ජුලි මාසයේදී අනිත් නඩුව විභාග කර තීන්දුව ලබාදෙන විට ඔවුන්ට නොතීසි නිකුත්කර තිබුනේ  නැත. 2008 නොවැම්බර් 27දා  විභාගයට ගත් CS/FR 209/2007 නඩුවේ ඔවුන්ට නොතීසි නිකුත් කිරීමෙන්  ගම්‍ය වන්නේ බදු සම්බන්ධ කාරණය මුල්  නඩුවේ කොටසක් නොවන බවයි. එහෙත්, අග විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදුන්නේ ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කරමිනි.  

දුෂ්ටයා මෙම හිටපු අග විනිසුරුවරයා පමණක්ද? එම විනිසුරු මඬුල්ලේ සිටි සෙසු විනිශ්චයකාරවරුන් ගැන කිව යුත්තේ කුමක්ද? එම නඩුවට පෙනීසිටි නීතීඥවරුන් පිළිබඳ කිව යුත්තේ කුමක්ද? බදු ඉවත්කිරීම සම්බන්ධ නඩුව විභාග කළ 2008 නොවැම්බර් 27දා මම සිතාමතාම මගේ දෝෂාරෝපණය ප්‍රසිද්ධ කළෙමි. පුවත්පතෙහි සංස්කාරකවරුන් එම අන්තර්ගතය වටා කළු කොටුවක් පවා යොදා තිබුණු බැවින් එය මගහැරෙන්නට බැරිය. එසේම, අන්තර්ගතය සම්බන්ධයෙන් තමන් වගනොකියන බව ද ඔවුහු කළු අකුරෙන් ප්‍රකාශ කළහ. අධිකරණයේ හෝ නීති වෘත්තියේ කිසිවෙකු ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදුකළාද? විමර්ශනයක් ආරම්භ කළාද? නැත. නීති පද්ධතියේ කුණුවීම පාලනයකින් තොර එක් අග්‍ර විනිශ්චයකාරවරයකුට සීමා නොවන බව නිගමනය කිරීම අසාධාරණද?    

අතිවිශාල බලයක් සහිත නීතිපති දෙපාර්තමේන්තුව මෙම කුණුවීමෙන් තොර ආයතනයක්ද? එම ආයතනය විසින් නඩු පැවරීමේ අභිමතය පාවිච්චි කරන්නේ සාධාරණ ලෙසද? ආණ්ඩු වෙනස් වූ විට නඩු පැවරීම් රැසක් අත්හැරදැමීමෙන් යුක්තිසහගත සැකයක් මතුවේ.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තම රාජකාරිය වෘත්තිකමය අයුරින් ඉටු කරනවාද? සාමාජිකයන් තිදෙනෙකු සිටින මැතිවරණ කොමිෂන් සභාවේ ඝනපූරණය තුනක් යයි පවසන ව්‍යවස්ථා සංශෝධනයක් මෙම දෙපාර්තමේන්තුව විසින් අනුමත කළේ කෙසේද? 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතේදී ආපදා කළමනාකරණ සභාවේ අරමුදලෙහි අඛණ්ඩ ආදායම් මූලාශ්‍රයක් ලෙස ඒකාබද්ධ අරමුදල සඳහන් කිරීම නොතකා හැරුණේ කෙසේද?

සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද?

වත්මන් අධිකරණ ඇමතිවරයා මෙය නිවැරදිව හඳුනාගනියි:

එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා සම්පූර්ණ ව්‍යූහාත්මක වෙනසක් සලකා බැලීම සහ ඉලක්කගත හා කාර්යක්ෂම අයුරින් එය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය. වෘත්තියේ යෙදෙන නීතීඥවරුන්ගේ පැවැත්ම වෙනුවෙන් පමණක් පවතින වෘත්තියක් ලෙස නීති වෘත්තිය දෙස බැලීම අප නැවැත්විය යුතුය. ඒ වෙනුවට, අධිකරණ ක්‍රමය ඉදිරියට ගෙන යන, යුක්තිය පසිඳලීමේ කාර්යයේදී සුසමාදර්ශීය වෙනසක් නිර්මාණය කිරීම පිණිස නවෝත්පාදනයට, පරිණාමයට සූදානම් සහ නියමිත වේලාවේදී, නිවැරදි තීරණ ගන්නා මහජන කේන්ද්‍රීය ව්‍යූහයක් ලෙස වඩා වැදගත් භූමිකාවක් ඉටුකරන ආයතනයක් ලෙස සැලකිය යුතුය.”

නිසි ආකාරයෙන් ඉටු නොකරන ලදමුත්, ඇමතිවරයා විසින් ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩිකරන ලදී. අධිකරණයන් ස්වයං ක්‍රියාකාරීකරණය වෙනුවෙන් අරමුදල් වෙන්කර තිබේ. 2017 වසරේදී සම්පූර්ණ කරන ලද පරිපූර්ණ අධ්‍යයනය විසින් නිර්මාණය කරන ලද පදනම සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය (ICTA) විසින් උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන් සමග 2019දී සිදුකරන ලද පුළුල් අදහස් විමසීම් පාදක කරගෙන එය සිදුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

ඉහත දක්වන ලද ක්‍රියාමාර්ග අවශ්‍ය ප්‍රමාණයට පරිස්සමෙන් නියාමනය කරමින් වෙනත් රටක ක්‍රියාත්මක පද්ධතියක අනුගමනය කළහොත් හා අවශ්‍ය තාක්ෂණිකඥයන්ගේ සහාය ලබාදුන්නොත්, එමගින් අධිකරණ පද්ධතියේ ලේඛනගත කිරීමේ කාර්යභාරයෙහි ඇති අක්‍රමවත්කම් නිවැරදි කල හැකි වනු ඇත. එම කාර්යභාරයට අවශ්‍ය වන්නේ හා යෙදවෙන්නේ අඩු විචක්ෂණ බුද්ධියකි. නීතීඥවරුන්ට, නඩු පවරන්නන්ට හා පොදු ජනතාවට මෙම ක්‍රමය විනිවිද පෙනෙනසුලු එකක් නම් සහ ද්වේෂ සහගත ප්‍රහාරවලට හා හැසිරවීම්වලට ඔරොත්තු දෙන්නේ නම්, විසඳුමෙහි ප්‍රධාන කොටසක් සාර්ථක වේ. එහෙත්, එපමණකින් පමණක් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබෙන්නේ නැත. 

ක්‍රියාවලි හා නීති නැවත සැලසුම් කළ යුත්තේ නඩුකියන්නන්ගේ අවශ්‍යතා ප්‍රමුඛ කරගෙන මිස නීතීඥවරුන්ගේ හා විනිසුරුවරුන්ගේ අවශ්‍යතා අනුව නොවේ. අධිකරණය, එයට අපහාස කිරීමේ යල්පැන ගිය හා අත්තනෝමතික නීති මගින් රුකුල් දෙන ඒකාධිකාරයක් වන බව සත්‍යය.  නමුත් අධිකරණය විසින් කරනු ලබන්නේ සේවා සම්පාදනයකි.     

නඩුකියන්නන්ට සේවාවක් අවශ්‍යය. ඔවුහු ඒ වෙනුවෙන් ගෙවීම් කරති. ඇතැම්විට ඍජුවම ගෙවීම් කරන අතර නැතිනම්, බදු හරහා අදාළ ගෙවීම් කරති. ඔවුන්ට ගෞරවනීය ලෙස සැලකිය යුතු අතර, ඔවුන් අපේක්ෂා කරන සේවා ඉහළ මට්ටමේ ගුණාත්මකභාවයකින් යුතුව සැපයිය  යුතුය. අපරාධ චෝදනාවලට ලක්වූවන්ට එරෙහිව ලබාදෙන තීන්දු පවා ඉහළ ගුණාත්මකබවකින් යුක්ත විය යුතුය. ඒවා අදාළ විධිවිධාන අනුව සිදුවිය යුතුය. හැකි තරම් හොඳ සාක්ෂි මත පදනම් විය යුතුය. ඉහළ ගුණාත්මකභාවය යනු, විනිසුරුවරුන් හා නීතීඥවරුන් සුවෙන් සිටින අතර තීන්දුවක් නොමැතිව අවුරුදු ගණනක් ජීවත්වන්නට සිදුවීම නොවේ. 

නඩුකියන්නන් ප්‍රමුඛ වන පරිදි ක්‍රියාවලි ප්‍රතිංස්කරණය නොකළහොත් නීතියේ ප්‍රමාදයන් දිගටම පවතිනු ඇත. විනිසුරුවරුන් සාධාරණ කාලයක් වැඩ කළ යුතු අතර ඔවුන් නීතීඥවරුන් විනයගත කළ යුතුය. අසාධාරණ ලෙස නඩු කල්දැමීමට කරනු ලබන ඉල්ලීම්වලට ඉඩ නොදිය යුතුය. වර්තමානයේ පවතින ක්‍රමයේ අවිධිමත්කම පිළිබඳ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතෙහි 63(2) කොටසෙහි මෙසේ දැක්වේ: 

ව්‍යාපාර කිරීම පහසුකිරීම පිණිස ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැගීම සඳහා සහ ගිවිසුම් බලාත්මක කිරීම සඳහා, ජාතික අභිලාෂයන් වෙනුවෙන් සහ ජාතික ආර්ථිකය උසස් කිරීමේ අභිලාෂය වෙනුවෙන්, පෞද්ගලික හේතු මත (එම දිනයේ වෙනත් අධිකරණයක හෝ විනිශ්චය සභාවක පෙනී සිටීමට නියමිත වීම ඇතුළු) කිසියම් නීතීඥවරයකුට කිසියම් දිනෙක අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වීම නඩුවක විභාගය ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යාම කල්දැමීමට හෝ එවැනි කල්දැමීමක් සඳහා අවසර ලබාදෙන සුවිශේෂ හේතුවක් ලෙස හෝ සලකනු ලබන්නේ නැත.”

වරාය නගර කොමිෂන් සභාවෙහි ලියාපදිංචි සමාගම් සම්බන්ධ නඩු වෙනුවෙන්, නීතීඥවරුන්ගේ පහසුව වෙනුවෙන් වූ වරප්‍රසාද ලබාදෙන සම්ප්‍රදායික නීති ක්‍රියාත්මක නොවනු ඇත. එහෙත්, රටේ සෙසු පිරිස වන අප හට නීතීඥයන්ගේ හා විනිසුරුවරුන්ගේ පහසුව වෙනුවෙන් අපගේ ජීවිත නතර කරගෙන සිටීමට සිදුවේ. එපමණක් නොව, අපට පෙර පෝලිම කඩාගෙන යන වරාය නගරයේ වරප්‍රසාද ලත් නඩුකියන්නන් දෙස බලාගෙන හූල්ල හූල්ල ඉන්නට  සිදුවේ.  

නීති සංශෝධනය කිරීම පමණක් සෑහෙන්නේ නැත. නවෝත්පාදනයට, වැඩි විවෘතභාවයට ඉඩ ලැබෙන පරිදි නීති අධ්‍යාපනයේ සමස්ත ගුණාත්මකබව වැඩිදියුණු කළ යුතුය. නීති වෘත්තියේ සාමාජිකයන්ගේ ආදායම් ඉපැයීමේ හැකියාව සුරකින ආරක්ෂණවාදී සම්බාධක අවම කිරීම අත්‍යවශ්‍ය තත්වයකි. සේවා වෙළඳාම හා සම්බන්ධ ද්වි පාර්ශ්වීය ගිවිසුම් පිළිබඳ මෑත කාලීන විවාදවලදී ඉංජිනේරු ක්‍රියාධරයන් මා හට පැවසූ කරුණක් වන්නේ විදේශ තරඟකාරීත්වයෙන් බේරීමට නීතීඥවරුන්ට තිබෙන ආරක්ෂණයන් වැනි ආරක්ෂණයන් ඔවුන්ට ද අවශ්‍ය බවයි. 

එදිනෙදා අන්තර් ක්‍රියාකාරකම් හරහා අප්‍රකාශිත දැනුම හුවමාරු කරගැනීම සඳහා හැකියාව ලබාදීම නවෝත්පාදනය සඳහා අවශ්‍යය. තරඟකාරීත්වය හේතුවෙන් එය බලගැන්වේ. නීති වෘත්තියෙන් පැමිණෙන විනිසුරුවරුන් හට නවෝත්පාදනීය හා ප්‍රතිචාරාත්මක විය හැක්කේ නීති වෘත්තිකයන් නවෝත්පාදනයට විවෘත වූ විට පමණි.

සියලු වෘත්තික සංවිධානයන් තම සාමාජිකයන්ගේ මූල්‍ය අභිලාෂයන් සම්බන්ධයෙන් ආරක්ෂණවාදීය. එම අභිලාෂයන්ට කිසියම් ආකාරයකින් තර්ජනයක් ඇතිවූ විට ඔවුහු එයට එරෙහිව සටන් කරති. නීතීඥයන් ඉතා භයානක එදිරිවාදීහුය. ඉතාම ශූර හා ඇපකැපවූ දේශපාලනඥයන් පවා නීති ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කරන්නේ චකිතයෙනි. ප්‍රතිසංස්කරණ සිදුකිරීම අගල් කපාගෙන කළ යුතු දීර්ඝ කාලීන යුද්ධයක් වැනි බව හා දේශපාලන චක්‍රයෙහි තම කාලසීමාව තුළ ප්‍රතිඵල ලබාදීමේ හැකියාවක් නැති බව ඔවුහු අවබෝධ කරගනිති.   

දේශපාලකයන්ට අඩුතරමේ උත්සාහ කරන්නට හෝ පුළුවන. පද්ධති මට්ටමේ විසඳුම් සාමාන්‍ය පුරවැසියන්ට හා ව්‍යාපාරවලට ලබාගත නොහැකිය. ඔවුන්ගේ අතරමැද විසඳුම් අල්පේච්ඡ ඒවාය. ඇතැම් අවස්ථාවලදී ඒවා නීති විරෝධීය. බලාත්මක කළ නොහැකි ගිවිසුම්වල තේරුමක් නැති බව අවබෝධ කරගන්නා ඔවුහු තම ගනුදෙනු විශ්වාසවන්ත පාර්ශ්වවලට සීමා කරති. ගිවිසුම් බලාත්මක කිරීම සඳහා ඔවුහු මැරවරයන්ගේ සේවා ලබාගනිති. ඔවුහු ආදායම් ලබාගැනීම සඳහා කුලියට දිය හැකි ගොඩනැගිලි එසේ නොකර හිස්ව තබාගනිති.  

අතරමැද විසඳුම්      

යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභාව යනු අතරමැද විසඳුමකි.

Colombo Port City
Colombo Port City

රටවල් 190ක් අතර ව්‍යාපාර කිරීමේ පහසුව සම්බන්ධ දර්ශකයෙහි ශ්‍රී ලංකාව 99වන ස්ථානය හිමිකරගැනීමට ප්‍රධාන හේතුව වන්නේ නීති පද්ධතිය සම්බන්ධ සාධකයි. නේපාලය පවා ඉන්නේ අපට ඉදිරියෙනි. පකිස්තානය අප පසුකිරීමට ආසන්නය. බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම සහ ගිවිසුම් බලාත්මක කිරීම සම්බන්ධයෙන් තිබෙන ගැටලු ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය පහළ මට්ටමකට ඇදදැමීමට හේතු වී තිබේ. ගිවිසුම් බලාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ 164වන ස්ථානයෙහිය.   

මෙම පසුබිම තුළ, ඉහළ පෙළේ මූල්‍ය හා සේවා ව්‍යාපාරවල ශ්‍රී ලංකාවේ තම කාර්යාල පිහිටුවීමට උනන්දු වෙතැයි සිතන්නට බැරිය.

සමස්ත නීති පද්ධතිය වැඩිදියුණු කළ නොහැකි යයි සිතන නීති කෙටුම්පත්කරුවන් වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත හරහා ජාත්‍යන්තර වානිජ ආරාවුල් නිරාකරණ මධ්‍යස්ථානයක බේරුම්කරණය යෝජනා කරයි. වරාය නගරය තුළ පිහිටුවනු ලබන මෙම මධ්‍යස්ථානය හරහා එම බල ප්‍රදේශය තුළ මතුවන ආරාවුල් නිරාකරණය කරගැනීම අනිවාර්ය වේ. ඉහත උපුටා දක්වන ලද පනතේ 63(2) කොටසින් දක්වන ලද පරිදි, අවශ්‍ය නම්, ශ්‍රී ලංකා අධිකරණවල මැදිහත්වීම වේගවත් කිරීමට ද එමගින් විධිවිධාන යෝජනා කෙරේ.

ශ්‍රී ලංකා නීති පද්ධතිය මගහැරයාම කොයි තරම් වැරදිද යන තර්ක කෙසේ වෙතත්, මෙය දිගු කලක් තිස්සේ සිදුවෙමින් පැවතුණු දෙයකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු පාලන කාලය තුළ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ජාත්‍යන්තර බැංකු කීපයක් අතර 2008දී එළැඹි හෙජිං ගිවිසුම් සම්බන්ධයෙන් පැවති ආරාවුල් විසඳනු ලැබුවේ ශ්‍රී ලංකාවේ අධිකරණ මගින් නොවේ. ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව සමග පැවති ආරාවුල බේරුම්කරණය ආරම්භ වූයේ ඉංග්‍රීසි මහාධිකරණයෙහිය. සිටිබෑන්ක් සමග බේරුම්කරණය සිදුවූයේ ලන්ඩන් ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයෙහිදීය.

හෙජිං ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ, මහ බැංකුවේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඩොයිෂ් බැංකුවේ බේරුම්කරණ ක්‍රියාවලීන් සිදුවුණේ රාජ්‍යයන් හා ජාතීන් හා වෙනත් රාජ්‍යවල ජාතිකයන් අතර ආයෝජන ආරාවුල් විසඳාගැනීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදීය (ICSID). එය 1965 ආයෝජන ආරාවුල් විසඳාගැනීමේ සම්මුතිය (ICSID සම්මුතිය) අනුව පිහිටුවන ලද සංවිධානයකි. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෙම නඩු පැරදුණු අතර ජීවන වියදම අධික නගරවලදී නඩු විභාගයන්ට සහභාගී වීම වෙනුවෙන් අධික වියදම් දරන්නට ද සිදුවිය. 

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පළමු ධුර කාලය තුළ 1998දී ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය සම්බන්ධ නීතිමය ගිවිසුම් හේතුවෙන් ආරාවුල් නිරාකරණයක් අවශ්‍ය වූයේ නැත. එහෙත්, එවැනි අවශ්‍යතාවක් ඇති වී නම්, බේරුම්කරණය සිදු කළ යුතු වූයේ සිංගප්පූරුවේ නීතිය යටතේ එරටදීය.   

මෙම සංදර්භය තුළ, වරාය නගරය තුළ පිහිටුවනු ලබන ආරාවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත යොමුකිරීම අනිවාර්ය නොවන ආරාවුල් පවා ශ්‍රී ලංකා අධිකරණ වෙත ඉදිරිපත් නොවනු ඇත. ඒවා සිංගප්පූරුව, ලන්ඩනය, ජිනීවා හෝ වොෂින්ටන් ඩීසී නගරය වෙත යනු ඇත. ඒවා විසින් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය මගහැර යනු ඇති බව තේරුම් ගත හැකිය. අඩු වශයෙන් ජාත්‍යන්තර වානිජ ආරාවුල් නිරාකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට අයත් භූමිය තුළ තිබේ. එහි විභාගයන්ට පෙනී සිටින නීතීඥවරුන් වෙනුවෙන් විදේශ රටකදී ගෙවිය යුතු දීමනා ගෙවීම අවශ්‍ය නොවේ. 

තාවකාලික විසඳුම්වල ප්‍රතිඵල

පුරවැසියන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සුළු පරිමානයේ තාවකාලික විසඳුම් හරහා යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකිය. එමගින් පද්ධතියේ සෙසු කොටස්වල ද බර වැඩිවන අතර සම්පත් නාස්තියක් ද සිදුවේ.   

බහිරතාවන් පවතින සංදර්භයක් තුළ ආර්ථික වෙන්කිරීම් හා ප්‍රතිඵලවල කාර්යක්ෂමතාව විස්තර කරන කෝස් සිද්ධාන්තය පැහැදිලි කිරීමට මම කැමැත්තෙමි. මෙම සිද්ධාන්තය මගින් උපකල්පනය කරනු ලබන ආකාරයට බහිරතාවක් වෙළඳාම සඳහා යොදාගත හැකි නම් සහ හුවමාරු වියදම් ප්‍රමාණවත් තරම් අඩු නම්, කේවල් කිරීම මගින් පැරේටෝ ප්‍රතිඵලයක් ඇතිවේ (එනම්, ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස, එහෙත්, විෂමතා සහිතව සම්පත් බෙදී යයි). ඒ සඳහා මුල් දේපල වෙන්කිරීම කෙතරම්ද යන්න අදාළ නොවේ. එහෙත්, හරිහැටි ක්‍රියාත්මක නොවන නීති පද්ධතියකදී, මැනැවින් අර්ථකතනය කරන ලද දේපල හිමිකම් පවතින්නේ නැත. එහිදී කෝසියානු කේවල් කිරීම පන්තිකාමරවලට සීමා වේ. රාජ්‍යයේ අණකිරීමේ හා පාලනය කිරීමේ හැකියාවන් වෙත ආපසු යාමට අප පෙළඹේ. එමගින් එයට ඇති බර තවත් වැඩිවේ.

වරාය නගර කොමිෂන් සභා නීතියේ පද්ධති මට්ටමේ තාවකාලික විසඳුම් වනාහි අප විසින් අපගේ නීති පද්ධතිය හා වරාය නගරයට ආකර්ශනය කරගැනීමට නියමිත සේවා කර්මාන්ත ආයෝජකයන්ට අදාළ ක්‍රියාවලි වැඩිදියුණු කරගන්නා තෙක් කාලය තුළ අල්ලාගෙන සිටිය හැකි ක්‍රියාමාර්ගයකි. මේ ආකාරයෙන්ම, අප විසින් සැලසුම් සම්පාදනය, උපයෝගීතාවන් හා අදාළ සේවා රට පුරා වැඩිදියුණු කරගන්නා තෙක් මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාවෙන් (GCEC) ද අපේක්ෂා කළේ එසේ අල්ලාගෙන සිටීමයි. වැඩිදියුණු කරනු ලබන නීති පද්ධතිය තුළට එම භූමිභාගය ක්‍රමානුකූලව රැගෙන ඒමේ සැලසුමක් සකසන්නට ඉඩ තිබිණි. ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකය විසින් රටේ යහපාලනය සමස්තයක් ලෙස මනිනු ලැබේ (ඇතැම් උපාංග සම්බන්ධයෙන් නම්, අවධානය යොමුකරනු ලබන්නේ අගනුවර වෙතයි). එහිදී අවධානය යොමුකරනු ලබන්නේ වරාය නගරය වැනි නිශ්චිත භූමිභාගයක් කෙරෙහි නොවේ.       

මෙහිදී සිදුවන්නේ එය නම්, එය හොඳ තත්වයකි. එහෙත්, මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාවේ අනුප්‍රාප්තිකයා වන ආයෝජන මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ලබන කලාප නිරීක්ෂණය කරන විට දැකිය හැකි කරුණ වන්නේ අවුරුදු 40කට පසුව පවා සංක්‍රාන්තිය සම්පූර්ණ වී නොමැති බවයි. අද පවා, ආයෝජන මණ්ඩලය විසින් කලාප තුළ සපයනු ලබන සේවා පිටතදී සපයනු ලබන සේවාවන්ට වඩා උත්තරීතරය. උත්තරීතර පද්ධති හා තනි කවුළුවේ සේවා සම්පාදනයන් විදේශිකයන් හා එම තත්වය අත්පත් කරගන්නා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලබාදෙන අතර, රටේ සෙසු පිරිස දෙවෙනි මට්ටමේ පද්ධති හා බහු කවුළු සේවාවන් වෙත සීමා කිරීමෙන් ශ්‍රී ලංකාවේ අප තෘප්තිමත් වන බව පෙනේ. 

හැමවිටම, බලාපොරොත්තුව වන්නේ යහපාලනයේ දූපත විසින් ඒ වටා තිබෙන නරක පාලනයේ මහා සාගරය තුළ ප්‍රතිසංස්කරණ උත්ප්‍රේරනය කරනු ඇති බවයි. මෙම දූපත ප්‍රසාරණය වී මුහුද ගොඩකරනු ඇත. අපි ඒ අන්දමින් හැම දාම බලාපොරොත්තු සහගතව ජීවත් වෙමු. 

Creative Content Consultants

අර්ථශාස්ත්‍ර 4: නොමග යවන ලද රාජ්‍ය ප්‍රමුඛතා සහ ඒවා නැවත සකස් කරන ආකාරය
(1 කොටස මෙතැනින්>>2 කොටස මෙතැනින්>> 3 කොටස මෙතැනින්>>)