ජීවන් ත්‍යාගරාජා, Ft.lk, Translatlation by Creative Content Consultants

පූර්වාදර්ශී කැඩපතක් සහ ප්‍රායෝගික මාර්ග සිතියමක්
සිංගප්පූරුව විසින් 2026 මැයි 13 වැනි දින සිය ආර්ථික මූලෝපාය සමාලෝචනය (Economic Strategy Review – ESR) එළිදක්වන ලදි. එය තරඟකාරී වටිනාකම තියුණු කිරීම, කඩිසර බව ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව කාවැද්දීම යන අත්‍යවශ්‍ය කරුණු තුනක් වටා ගොඩනැගුණු නිර්දේශ 32කින් යුත් සැලැස්මකි. බැලූ බැල්මට, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ආර්ථික තලයන් දෙකක පවතින බව පෙනේ. සිංගප්පූරුව යනු ඇමෙරිකානු ඩොලර් බිලියන 500ක දළ දේශීය නිෂ්පාදිතයක් (GDP) සහ දශක ගණනාවක් පුරා රැස් කරගත් ආයතනික ප්‍රාග්ධනයක් සහිත පරිණත, ඉහළ ආදායම් ලබන නගර රාජ්‍යයකි. ශ්‍රී ලංකාව යනු මිලියන 22ක ජනගහනයක් සහිත පහළ මැදි ආදායම් ලබන දිවයිනකි. උද්ධමනය 70% ඉක්මවා යාමට, විදේශ සංචිත විනාශ වීමට සහ මිලියන ගණනක් දරිද්‍රතා රේඛාවෙන් පහළට ඇද දැමීමට හේතු වූ 2022 ස්වෛරී ණය පැහැර හැරීමෙන් පසුව, නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව තවමත් ගොඩඑමින් සිටියි.
එහෙත්, මෙම ආර්ථික මූලෝපාය සමාලෝචනය එහි කතුවරුන් අපේක්ෂා කළාට වඩා ශ්‍රී ලංකාවට අදාළ වේ. භූ දේශපාලනික ඛණ්ඩනය වීම්, කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) හේතුවෙන් ඇති වන බාධා, දේශගුණික අවදානම සහ රැකියා උත්පාදනයෙන් ආර්ථික වර්ධනය වෙන් වීම වැනි ව්‍යුහාත්මක බලවේගයන්ට එරෙහිව සිංගප්පූරුව ප්රගාමී ලෙස නැවත ස්ථානගත වෙමින් සිටියි. කොළඹට ඊට මුහුණ දීම සඳහා මූලෝපායක් තිබුණ ද නොතිබුණ ද, මෙම බලවේග මේ වන විටත් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පරිසරය යළි හැඩගස්වමින් පවතියි. මෙම සමාලෝචනය හුදෙක් සිංගප්පූරුවේ ඉදිරි සැලැස්ම පමණක් නොවේ. එය ප්‍රවේශමෙන් කියවා බැලූ විට, මූලෝපායික ප්‍රතිසංස්කරණ කල් දැමූ විට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව සෑම කුඩා විවෘත ආර්ථිකයකටම ලබා දෙන අනතුරු ඇඟවීමකි.
ශ්‍රී ලංකාව සිටින ස්ථානය
කර්මාන්ත ක්ෂේත්රයේ යළි පිබිදීම සහ සේවා ක්ෂේත්රයේ ස්ථාවර වර්ධනය මත පදනම්ව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.6%කින් වර්ධනය වී ඇති බවට පුරෝකථනය කර ඇති අතර, 2026 වසරේදී එය 3.5%ක් දක්වා මන්දගාමී වනු ඇත. අර්බුදයට පෙර පැවති මට්ටම මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් ගනිමින්, ජනගහනයෙන් 22%කට පමණ ආදායම් දරිද්‍රතාව තවමත් බලපායි. එසේම, ළමා මන්දපෝෂණය තවමත් භයානක ලෙස ඉහළ මට්ටමක පවතියි. යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි වර්ධනයට ඉඩ සලසන ආයෝජන සඳහා සුළු ඉඩක් ඉතිරි කරමින්, රජයේ වියදම්වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අංශයේ වැටුප්, සුබසාධන වැඩසටහන් සහ පොලී ගෙවීම් සඳහා වෙන් කර ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 20-25%ක් සහ ඇඟලුම් අපනයනවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපදය විසින් මිල දී ගනු ලබයි. එහෙත්, සිය අපනයන සඳහා එක්සත් ජනපදය පනවා ඇති 30%ක තීරු බද්දකට රට මුහුණ දෙමින් සිටින අතර, එය විදේශ විනිමය ඉපැයීම්වලින් වැඩි ප්‍රමාණයක් සපයන ඇඟලුම්, තේ, මුහුදු ආහාර සහ රබර් යන ක්ෂේත්‍ර සඳහා තර්ජනයකි.
සිංගප්පූරුවේ ආර්ථික මූලෝපාය සමාලෝචනය කියවිය යුතු මූලික පදනම මෙය වේ. මෙය ශ්‍රී ලංකාව කවදා හෝ ළඟා විය හැකි අපේක්ෂා සහගත මිණුම් දණ්ඩක් ලෙස සැලකිය යුතු නොවේ. ඒ වෙනුවට, රට දැනට පවතින තත්ත්වයේ සිට මේ මොහොතේ පිළිතුරු දීම ආරම්භ කළ යුතු සජීවී මූලෝපායික ගැටලු ලෙස එය කියවිය යුතුය.
සමාලෝචනයෙන් උගත හැකි පාඩම් හතර – ප්‍රායෝගික භාවිතය
විශ්වාසය යනු මෘදු සංකල්පයක් නොව ආර්ථික වත්කමකි. මෙම සමාලෝචනයේ වඩාත්ම සුවිශේෂී දායකත්වය වන්නේ, සිංගප්පූරුවේ වාසිය හුදෙක් එහි පිහිටීම හෝ යටිතල පහසුකම් ලෙස පමණක් නොව, එක්රැස් වූ විශ්වාසනීයත්වය ලෙස රාමුගත කිරීම යි. එමගින්, එය හුදෙක් පහසු ස්ථානයක් වෙනුවට අත්‍යවශ්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කරයි. මෙම සමාලෝචනය මගින් සයිබර් ආරක්ෂාව, කෘත්‍රිම බුද්ධි පාලනය, විගණන, සහතික කිරීම් සහ අනුකූලතාව යන විශ්වාසය මත පදනම් වූ නව සේවා කාණ්ඩයක් යෝජනා කරයි.
මෙම අවස්ථාවේ ප්‍රයෝජනයට නොගත් අනුවාදයක් ශ්‍රී ලංකාව සතු වේ. දකුණු ආසියානු ප්‍රතිනැව්ගත කිරීම්වලින් සැලකිය යුතු කොටසක් කොළඹ වරාය මගින් හසුරුවනු ලබයි. එසේම, දිවයින ප්‍රධාන ඉන්දියානු සාගර නැව් මාර්ගවලට යාබදව පිහිටා ඇත. සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය. ඉන්දියාව සමඟ දිගුකාලීනව පවතින සාකච්ඡා අවසන් කිරීම සහ චීනය සමඟ ඇණහිට ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීම ද ශ්‍රී ලංකාවට කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය වේ. රටකට ප්‍රතිඥා ලබා දිය හැකි බව සහ ඒවා ආරක්ෂා කළ හැකි බවට ආයෝජකයන්ට ලබා දෙන සංඥාවන් ලෙස මෙම පියවර හැඳින්විය හැකිය. එහෙත්, විශ්වාසනීය යටිතල පහසුකම්වලින් තොර සබඳතා හුදෙක් භූගෝලීය පිහිටීමකට පමණක් සීමා වේ. වරාය ආයෝජන, විශ්වසනීය නියාමන ආයතන සමඟ සම්බන්ධ කිරීම (දූෂණ විරෝධී නීති ක්‍රියාත්මක කිරීම, විනිවිදභාවයෙන් යුත් ආරවුල් නිරාකරණය කිරීම, විශ්වාසදායක කොන්ත්‍රාත් නීති) හරහා මෙම භූගෝලීය පිහිටීම වාසියක් බවට පත් කළ හැකිය. 2022 වසරේ සිට ආයෝජකයන් තුළ පවතින විශ්වාසයේ ඌනතාව තවමත් සම්පූර්ණයෙන්ම මඟ හැරී නොමැත. එය නැවත ගොඩනැගීම යනු කාර්තු කිහිපයකින් නොව වසර ගණනාවක් පුරා සිදු කළ යුතු ආයතනික කාර්යයකි.

මෙම සමාලෝචනය මගින් හඳුන්වන පරිදි, ශ්‍රී ලංකාවට සැලසුම් සහගත රැකියා ව්‍යුහයක් (jobs architecture) අවශ්‍ය වේ.
කෘත්‍රිම බුද්ධිය යනු අසමමිතික අවස්ථාවකි. විශාලතම කෘත්‍රිම බුද්ධි ආකෘති (AI models) හෝ විශාලතම දත්ත මධ්‍යස්ථාන ගොඩනැගීමේ තරඟයෙන් තමන්ට ජයගත නොහැකි බව හඳුනා ගත් සිංගප්පූරුව, ඒ සඳහා තරඟ නොකිරීමට පැහැදිලිවම තීරණය කළේය. ඔවුන්ගේ වාසිය රඳා පවතින්නේ විශ්වාසය, යහපාලනය සහ මානව විශේෂඥතාව කේන්ද්‍රගත වී ඇති ක්ෂේත්‍ර තුළ කෘත්‍රිම බුද්ධි විසඳුම් මහා පරිමාණයෙන් යෙදවීමට හැකි හොඳම ස්ථානය බවට පත්වීම තුළ යි. මෙය ශ්‍රී ලංකාවට බොහෝ දුරට සෘජුවම අදාළ කරගත හැකි පාඩමකි. ශ්‍රී ලංකාව විශාල භාෂා ආකෘති (large language models) හෝ අර්ධ සන්නායක කර්මාන්තශාලා (semiconductor fabs) ගොඩනඟන්නේ නැත. එහෙත්, ඉංග්‍රීසි සාක්ෂරතාව ඇති විශාල වෘත්තීය ශ්‍රම බලකායක් සහ වර්ධනය වෙමින් පවතින නමුත් තවමත් ප්‍රමාණවත් පරිදි විවිධාංගීකරණයට ලක් නොවූ සේවා අපනයන ක්ෂේත්රයක් යනුවෙන් නිසි ප්‍රයෝජන නොගත් වත්කම් දෙකක් එය සතුව ඇත.
තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) අපනයන ආදායම 2025 වසරේදී 8.8%කින්, එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.645ක් දක්වා වර්ධනය විය. එසේම, නිල දත්ත මගින් ග්‍රහණය කරගන්නා ප්‍රමාණයට වඩා මෙම ක්ෂේත්රයේ විභවතාව ඉතා ඉහළ ය. දක්ෂ කුසලතා සහ තාක්ෂණයෙන් ඔබ්බට අවම ආදාන අවශ්‍යතා සහිතව, එය අපනයන ඉපැයීම්වල සහ ඉහළ වටිනාකම් සහිත රැකියාවල ප්‍රධාන ධාවකයක් බවට පත්වීමට නියමිත ය. එහෙත්, ප්‍රතිපත්තිමය බාධා සහ විදේශ විනිමය පටිපාටිවල සීමාවන් හේතුවෙන් එය තවදුරටත් පසුබෑමකට ලක් වේ. මෙම සමාලෝචනයේ කෘත්‍රිම බුද්ධි ප්රයත්නයේ ශ්‍රී ලංකාවට ආවේණික අනුවාදය විය යුත්තේ, වාණිජකරණය වූ සේවා සඳහා පිරිවැය මත තරඟ කිරීම නතර කර, හැකියාවන් මත තරඟ කිරීම ආරම්භ කිරීම යි. කෘත්‍රිම බුද්ධිය මගින් වැඩිදියුණු කළ නීති සේවා, මූල්‍ය විශ්ලේෂණය, සෞඛ්‍ය දත්ත සහ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ඊට උදාහරණ වේ. ඊට අවශ්‍ය ශ්‍රම බලකාය බොහෝ දුරට එහි සිටින අතර, ප්‍රතිපත්තිමය පරිසරය ඊට අනුගත විය යුතුය.
මෙම සමාලෝචනයේ ඇති අනතුරු ඇඟවීම ඒ හා සමානව අදාළ වේ. එනම්, කෘත්‍රිම බුද්ධිය මගින් කම්කරුවන්ගේ සේවය වැඩිදියුණු කළ යුතු අතර, ඔවුන් හුදෙක් ඉවත් කිරීම නොකළ යුතුය. ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, නව රැකියා නිර්මාණය කිරීමකින් තොරව සේවා රැකියා අහිමි කරන යෙදවීමේ මූලෝපායක් මගින් දේශපාලනික සහ සමාජීය අස්ථාවරත්වයක් ඇති කරනු ඇත. එහි අනුක්‍රමය (Sequencing) ඉතා වැදගත් වේ.
විශ්වාසය යනු මෘදු සංකල්පයක් නොව ආර්ථික වත්කමකි
හොඳ රැකියා සඳහා සැලසුම් කළ යුතු අතර, ඒවා ඉබේ නිර්මාණය වේ යැයි අනුමාන නොකළ යුතුය. යහපත් රැකියා ආර්ථික වර්ධනයෙන් ස්වයංක්‍රීයව මතු නොවන බවට එහි ඇති අවධාරණය කිරීම, සමහරවිට මෙම සමාලෝචනයේ වැදගත්ම සංකල්පීය දායකත්වය විය හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිමත් වීම පිළිබඳ බොහෝ විචාරයන්හි ඇති ව්‍යංග උපකල්පනයට පටහැනි වේ. එමඟින් වර්ධනය යන්නම විරැකියාවට සහ දරිද්‍රතාවට විසඳුමක් ලෙස සලකනු ලබයි. රජය 5-6%ක දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් ඉලක්ක කර ඇති අතර, සෘජු විදේශ ආයෝජන (FDI) ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි අගයක් දක්වා දෙගුණයකින් ඉහළ නැංවීම ඉලක්ක කර ඇත. ඒවා යුක්තියුක්ත ඉලක්ක වේ. එහෙත්, ඉදිකිරීම්, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රේෂණ මගින් මෙහෙයවනු ලබන වර්ධනයක් මගින්, දරිද්‍රතාව තිරසර ලෙස අඩු කරන හෝ ඉදිරි දශකය සඳහා කුසලතා පදනමක් ගොඩනඟන උසස් තත්ත්වයේ රැකියා උත්පාදනය නොකළ හැකි බවට මෙම සමාලෝචනය අනතුරු අඟවයි.
මෙම සමාලෝචනය මගින් හඳුන්වන පරිදි, ශ්‍රී ලංකාවට සැලසුම් සහගත රැකියා ව්‍යුහයක් (jobs architecture) අවශ්‍ය වේ. ළමා මන්දපෝෂණය භයානක ලෙස ඉහළ මට්ටමක පවතින අතර, ආදායම් දරිද්‍රතාව තවමත් අර්බුදයට පෙර පැවති මට්ටම මෙන් දෙගුණයකට ආසන්න අගයක් ගෙන ඇත. එබැවින්, මුල් ළමාවිය අධ්‍යාපනය, ආශ්රිත සෞඛ්‍යය සහ සමාජ සත්කාරක සේවා සඳහා ආයෝජනය කිරීම හරහා, රටේ වඩාත් උග්‍ර සමාජීය අඩුපාඩු විසඳීමට සමගාමීව, මානව විනිශ්චය, භෞතික පැවැත්ම සහ චිත්තවේගීය ශක්‍යතාව අවශ්‍ය වන, කෘත්‍රිම බුද්ධියට ඔරොත්තු දෙන රැකියා නිර්මාණය කරයි. මෙම ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කිරීම සුබසාධන වියදමක් නොවේ. එය ද්විත්ව ප්‍රතිලාභයක් සහිත ශ්‍රම වෙළඳපොළ ආයෝජනයකි.
ඔරොත්තු දීමේ හැකියාව යනු තරඟකාරී හැකියාවක් මිස රක්ෂණ ඔප්පුවක් නොවේ. මෙම සමාලෝචනය මගින් බලශක්ති විවිධාංගීකරණය, සැපයුම් දාමයේ අවදානම් කළමනාකරණය සහ විශ්වාසදායක හවුල්කාරිත්වයන් රාමුගත කරන්නේ, හදිසි සැලසුම්කරණයක් ලෙස නොව මූලික මූලෝපායික වත්කම් ලෙසයි. ශ්‍රී ලංකාව මෙම පාඩම අභ්‍යන්තරිකවම දනී. 2022 අර්බුදයට මූලිකවම හේතු වූයේ ඔරොත්තු දීමේ හැකියාව අසාර්ථක වීම යි. අධික ලෙස ණය කේන්ද්‍රගත වීම, පටු අපනයන පදනමක් පැවතීම සහ බාහිර කම්පනවලට එරෙහිව ප්‍රමාණවත් ආරක්ෂක පියවර නොතිබීම ඊට නිදසුන් වේ. 2025 වසරේ අගභාගයේදී ඇති වූ ඩිට්වා කුණාටුව (Cyclone Ditwah), කෘෂිකර්මාන්තය, තේ අපනයනය, ඇඟලුම් නිෂ්පාදනය සහ යටිතල පහසුකම් යන සියල්ලටම එකවර හානි කළේය. වැඩිවෙමින් පවතින දේශගුණික විචල්‍යතාවන් සහිත කලාපයක් තුළ, ශ්‍රී ලංකාවේ ආදායම් මට්ටමේ පවතින රටකට, ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමෙන් පසුව ඔරොත්තු දීමේ හැකියාව හඹා යාමට නොහැකි බවට එය මතක් කිරීමකි. එය වර්ධනයට සමගාමීව ගොඩනැගිය යුතුය. එසේ නැතිනම්, එය නැවත නැවතත් අසාර්ථක වනු ඇත.
අවංක නිශ්චය කිරීමක්
පැහැදිලිව සඳහන් කළ යුතු එක් ව්‍යුහාත්මක වෙනසක් ඇත. එනම්, ආයතනික ශක්තිය, ප්‍රමාණවත් සංචිත සහ දශක ගණනාවක විශ්වසනීයත්වය සහිත තත්ත්වයක සිට සිංගප්පූරුව මෙම මූලෝපාය ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාව සිය මූලෝපාය ක්‍රියාත්මක කරන්නේ, සීමිත මූල්‍ය අවකාශයක්, ප්‍රකෘතිමත් වෙමින් පවතින ආයතන සහ 2022 වසරේ කම්පනය තවමත් දරා ගනිමින් සිටින ජනගහනයක් සහිතව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනක් තුළ සිට යි.
මෙම අදහස වන්නේ, ශ්‍රී ලංකාවට සිංගප්පූරුවේ සැලැස්ම සම්පූර්ණයෙන්ම අනුගමනය කළ නොහැකි බව යි. ශ්‍රී ලංකාව ඊට වෙනස් අනුක්රමයක් අනුගමනය කළ යුතුය. එනම්, කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සහ ව්‍යවසාය ජාත්‍යන්තරකරණය කිරීම වැනි නිර්භීත පියවරවලට ප්‍රථමයෙන් ස්ථාවරත්වය සහ ආයතන ගොඩනැගීම සිදු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවන් ද ඊට වෙනස් විය යුතුය. අයවැය ලේඛනවල හොඳින් පෙන්නුම් කළත් යථාර්ථයක් නොවිය හැකි වර්ධන වේග ඉලක්කවලට වඩා ඔරොත්තු දීමේ හැකියාවට සහ රැකියාවල ගුණාත්මකභාවයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය. එසේම, ශ්‍රී ලංකාව සන්නිවේදනය කළ යුතු ආකාරය ද වෙනස් විය යුතුය. සෑම මූලෝපායික පියවරක්ම සාර්ථක නොවන බවට වන මෙම සමාලෝචනයේ ඇති අවංකභාවය, සිංගප්පූරුවට සිය ශක්තිය මත පදනම්ව කළ හැකි දේශපාලනික ප්‍රකාශයකි. එහෙත්, රජයකට මූලෝපායික අවදානම් ගැනීමට නම්, ශ්‍රී ලංකාව විසින් පළමුව මහජන විශ්වාසය ගොඩනැගිය යුතුය.
සැබැවින්ම ඊට ළඟා වන්නේ කෙසේ ද?
ඊට පිළිතුර වන්නේ සෑම දෙයක්ම එකවර උත්සාහ කිරීම නොවේ. ඒ වෙනුවට, අනුක්‍රමික, ඉහළ ප්රතිලාභ ගෙන දෙන පියවර සුළු ප්‍රමාණයක් ගැනීම යි.
පළමුව, ඩිජිටල් ආර්ථිකයේ ඇති බාධා ඉවත් කළ යුතුය. ඩිජිටල් අපනයනවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් සමඟින්, 2030 වන විට ඩිජිටල් ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් දක්වා ළඟා කර ගැනීමේ අභිලාෂකාමී ඉලක්කයක් ශ්‍රී ලංකාව විසින් සකසා ඇත. එසේම, සිංගප්පූරුවේ ‘Singpass’ ආකෘතියට සමාන වන, මූලික යටිතල පහසුකමක් ලෙස සැලකිය හැකි ‘ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත්’ වැඩසටහන ද ඔවුන් ක්‍රියාත්මක කරමින් පවතියි. සයිබර් ආරක්ෂණ පනත, දත්ත ආරක්ෂණ නීති සහ ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය නියමිත වේලාවට සජීවීව ක්‍රියාත්මක කිරීම මගින්, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවට ගෝලීය සේවාදායකයන්ට සහ ආයෝජකයන්ට සංඥාවක් ලබා දෙනු ඇත. එම සංජානන වෙනස ඕනෑම සහනාධාරයකට වඩා වේගයෙන් මෙම ක්ෂේත්රය වේගවත් කරයි. විදේශ ගෙවීම් ලබා ගැනීම, සමාගම් ලියාපදිංචි කිරීම සහ දක්ෂයින් රඳවා ගැනීම වටා ඇති නිලධාරිවාදී බාධාවන් යනු, මූල්‍ය වශයෙන් කිසිදු පිරිවැයකින් තොරව විසඳිය හැකි ගැටලුවකි.
දෙවනුව, ආයතනික විශ්වාසය පැහැදිලි වැඩසටහනක් ලෙස ගොඩනැගිය යුතුය. දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ව්‍යුහාත්මකව කල් පවතින පරිදි සකස් කළ යුතුය. එනම්, ඒවා ඕනෑම රජයක දේශපාලන අභිලාෂය මත රඳා නොපැවතී, ස්වාධීන ආයතන තුළ කාවැද්දිය යුතුය. සේවා සහ යටිතල පහසුකම් ක්ෂේත්රයේ විදේශ ආයෝජකයන් සඳහා අධිකරණ ආයෝජන සහ කොන්ත්‍රාත් බලාත්මක කිරීම නිශ්චිත වශයෙන්ම වැදගත් වේ. එසේම, නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) න්‍යාය පත්‍රය හුදෙක් වෙළඳ කාරණයක් පමණක් නොවේ. අත්සන් කරන ලද සහ ක්‍රියාත්මක කරන ලද සෑම ගිවිසුමක්ම ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවට සාක්ෂියකි. එම සාක්ෂි කාලයත් සමඟ එකතු වී, සිංගප්පූරුවේ මූලික වාසිය ලෙස මෙම සමාලෝචනය මගින් හඳුනා ගන්නා විශ්වාසනීයත්වයේ වටිනාකම බවට පත් වේ.
තෙවනුව, රැකියා අහිමි වීම් සිදුවීමට පෙර රැකියා ව්‍යුහයක් (jobs architecture) නිර්මාණය කළ යුතුය. ක්ෂේත්‍ර තුනක් මේ සඳහා පදනම් වේ. සත්කාරක සහ සෞඛ්‍ය සේවා (කෘත්‍රිම බුද්ධියට ඔරොත්තු දෙන, සමාජීය වශයෙන් අවශ්‍ය වන, සහ වයස්ගත වන නැගෙනහිර ආසියානු ආර්ථිකයන් සඳහා කුසලතා ලෙස අපනයනය කළ හැකි), පිරිවැයට වඩා ගුණාත්මකභාවය සහ තිරසරභාවය කරා උත්ශ්‍රේණි කළ ඇඟලුම්, රබර් සහ සෙරමික් යන ක්ෂේත්රවල උසස් ස්ථානීය නිෂ්පාදනය, සහ කාබන් ගිණුම්කරණය, පාරිසරික අනුකූලතාව සහ පුනර්ජනනීය බලශක්ති ඉංජිනේරු විද්‍යාව වැනි හරිත ආර්ථිකයේ කාර්යභාරයන් ඊට ඇතුළත් වේ. නිවැරදි පුහුණු ආයෝජනයක් සමඟින් වසර දෙකක් හෝ තුනක් ඇතුළත රැකියාව සඳහා සූදානම් උපාධිධාරීන් බිහි කළ හැකි ක්ෂේත්‍ර ලෙස හරිත ආර්ථිකය හැඳින්විය හැකිය. මෙම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ගෝලීය සැපයුම් දාම ඒකාබද්ධතාව සහ වැඩිදියුණු කළ සාධක වෙළඳපොළවල් (factor markets) අවශ්‍ය වේ.
සිව්වනුව, අනුපූරක මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පැහැදිලිවම සිංගප්පූරුව වෙත ස්ථානගත කළ යුතුය. සිංගප්පූරුව සිය විශ්වාසදායක කේන්ද්‍රස්ථානය පුළුල් කිරීමට, කෘත්‍රිම බුද්ධි විසඳුම් යෙදවීමට සහ කලාපීය සැපයුම් දාමවලට සම්බන්ධ වීමට ස්ථාන සොයමින් සිටියි. ඉංග්‍රීසි භාෂාව, පොදු නීති පද්ධතිය, ඉන්දියානු සාගරයේ භූගෝලීය පිහිටීම සහ වර්ධනය වන ඩිජිටල් යටිතල පහසුකම් හේතුවෙන්, ශ්‍රී ලංකාව ඒ සඳහා ස්වාභාවික අපේක්ෂකයෙකු වේ. ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම (FTA) කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත්, වඩාත් ගැඹුරු අවස්ථාව වන්නේ සිංගප්පූරුව විසින් සංවර්ධනය කරන ලද විසඳුම් දකුණු ආසියානු පරිමාණයෙන් ක්‍රියාත්මක කරන ස්ථානය ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම යි. මෙය අන්‍යෝන්‍ය සම්බන්ධතාවකි. කිසිවෙකුට ඉවත් කළ නොහැකි කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සිංගප්පූරුවේ මූලෝපායට, විශ්වාසය තැබිය හැකි මධ්‍යස්ථාන අවශ්‍ය වේ. එම මූලෝපායට අවශ්‍ය වන්නේ හරියටම විශ්වසනීය ශ්‍රී ලංකාවකි.
මෙහිදී අනුක්‍රමය වඩාත් වැදගත් වේ. ආයතනික ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් සවිබල ගැන්වීම් ප්‍රථමයෙන් පැමිණේ. ඒවා අඩු පිරිවැයක් සහිත, ඉහළ ප්රතිලාභ ගෙන දෙන මූලික කරුණු වේ. රැකියා ව්‍යුහය (Jobs architecture) සහ කුසලතා ගොඩනැගීම දෙවනුවට පැමිණේ. ප්‍රතිඵල ලබා දීමට වසර ගණනාවක් ගත වන බැවින්, රැකියා අහිමි වීම් ආරම්භ වීමට බොහෝ කලකට පෙර ඒවා ආරම්භ කළ යුතුය. වඩාත් නිර්භීත පියවර තෙවනුවට ගත යුතු අතර, මූලෝපායික අවදානම්වලට සහාය වීම සඳහා පදනම ප්‍රමාණවත් තරම් ස්ථාවර වූ පසු එය සිදු කළ යුතුය.
මෙය ළඟා කරගත හැකි වන්නේ, මේ කිසිවක් සඳහා අලුතින් යමක් නිර්මාණය කිරීම අවශ්‍ය නොවන බැවිනි. ශ්‍රී ලංකාවට අවශ්‍ය ශ්‍රම බලකාය, භූගෝලීය පිහිටීම, නෛතික සම්ප්‍රදායන් සහ වර්ධනය වන ඩිජිටල් යටිතල පහසුකම් ඇත. මේ වන තෙක් මඟ හැරී ඇත්තේ, සිංගප්පූරුවේ සමාලෝචනය මගින් නිදසුන් සපයන සැලසුම් සහගත, අනුක්‍රමික මූලෝපායයි. අප කුමක් වීමට උත්සාහ කරන්නේ ද, ඒ ඇයි ද, සහ කුමන අනුපිළිවෙළකට ද යන්න පැහැදිලිව පැවසීමට ඇති කැමැත්ත එහිදී අදහස් කෙරේ.
සිංගප්පූරුව වඩා හොඳ නැවක් ඉදි කළේය. ශ්‍රී ලංකාව තවමත් එහි බඳ අලුත්වැඩියා කරමින් සිටියි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් පවතින අතර, ඒවා භාවිත කිරීමේ අවස්ථාව සදාකාලිකව විවෘතව පවතින්නේ නැත.
මූලාශ්‍ර: සිංගප්පූරුවේ ආර්ථික මූලෝපාය සමාලෝචනය – ESR (2026 මැයි), ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම්, ODI Global, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආසියානු සංවර්ධන දැක්ම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඩිජිටල් ආර්ථික සැලැස්ම, IPS ආයතනයේ 2025 ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාව, අපනයන සංවර්ධන මණ්ඩලය, GovInsider, East Asia Forum, රොයිටර්ස් (Reuters).










