DIG Bimshani Jasinarachchi

බිම්ෂානි ජාසිංආරච්චි – ශ්‍රී ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය

වසර 154 ක පොලිස් ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් 2020 වසරේ ඔක්තෝබරයේ දී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් පිදුම් ලැබුවා.

Translations by Creative Content Consultants

පොලිස් පරිපාලන දුක් ගැනවිලි විසඳුම් අධිකාරි දිශාව භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි මහත්මිය ආ ගමන අභියෝගයන්ගෙන් පිරි කාන්තා පරපුරට ආදර්ශවත් ගමනක්.

“මගේ ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය.” එසේ කියමින් නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය අප සමග කතාබහ ආරම්භ කළා.

සොයුරු සොයුරියන් දසදෙනෙකුගෙන් යුතු පවුලක හැදීවැඩුණු ඇය මූලික අධ්‍යාපනය ලබන්නේ මීගස්ආර මහා විද්‍යාලයෙන්. ද්විතීයික අධ්‍යාපනය තංගල්ල බාලිකා මහා විද්‍යාලයෙන් හදාරන ඇය සරසවි අධ්‍යාපනය සඳහා වරම් ලබනවා. මවගෙන් හා පියාගෙන් සේම අත්තම්මාගෙන් හා සීයාගෙන් ද අධ්‍යාපන කටයුතුවලට ලැබුණු මගපෙන්වීම හා රැකවරණය ගමනට ලොකු පිටුවහලක් වූ බව ඇය සිහිපත් කළා.

“ඔවුන් අපි හැමෝටම  හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට කටයුතු කළා. මගේ පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම උපාධිධාරීන්. ඔවුන් සියලුදෙනාම වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන ක්ෂේත්‍රයන්හි රැකියාවල නිරත වෙනවා.”

ඇය 1992 වසරේදී රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා.

“රුහුණු විශ්වවිද්‍යාලයේදී මම ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන විද්‍යාව විෂයයන්ගෙන් උපාධිය හදාරනවා. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරන කාලවකවානුවේ පුවත්පතක පළ වී තිබුණු කරුණු අනුව මට සහකාර පොලිස් අධිකාරිවරියක වීමේ ආශාවක් ඇති වුණා. ඒ අනුව මම පොලිසියට බැඳෙන්න අයදුම්පතක් යොමු කළා. මම 1997 පෙබරවාරි 4 වැනිදා උප පොලිස් පරීක්ෂකවරියක ලෙස පොලිස් සේවයට එක් වුණා.”

ඇගේ පවුලේ අය මෙන්ම විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන්ද ඇය පොලිස් සේවයට එක්වෙනවාට කැමැත්තක් දැක්වූයේ නැහැ. එය උගත් කාන්තාවන් පොලිස් සේවයට එක්වීම ප්‍රතික්ෂේප කළ යුගයක්. එහෙත්, ඇය ස්ථිර තීරණයක් ගෙන පොලිසියට බැඳුණා.

ඇය 2001 වසරේදී සහකාර පොලිස් අධිකාරිවරුන් බඳවාගැනීමේ විවෘත විභාගය සමත් වුණා. එහෙත්, ඇගේ සිහිනය වූ සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වීම පහසු අභියෝගයක් වුණේ නැහැ.  “අභියෝග රැසකට මුහුණදෙන්නට සිදුවුණා. ඒත් අභියෝග හමුවේ මම ආපස්සට ගියේ නැහැ. අභියෝගයන්ට මුහුණ දීමේ උවමනාව, ආත්ම විශ්වාසය, උනන්දුව මට තිබුණා.”

1997දී පුහුණුව අවසන් වූ දිනයේම ඇය ඇතුළු කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 160කට වැඩි පිරිස අනුයුක්ත කරනු ලැබුවේ වවුනියාවේ පොලිස් මූලස්ථානයටයි. පුහුණුව අවසන් වන විට ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය සඳහා තෝරාගෙන සිටියත්, යුද අත්දැකීම් ලැබීම සඳහා ඇය ඇතුළු කණ්ඩායමට මාස කීපයක් වවුනියාවේ මෙහෙයුම් රාජකාරිවල නියැලෙන්නට සිදුවුණා.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි ආරම්භ කළේ ආගමන හා විගමන වැරදි සම්බන්ධ විමර්ශන අංශයේයි. “සීඅයිඩී එක අපව අපරාධ විමර්ශකයන් ලෙස හොඳින් පුහුණු කළා. අපි හරිම උනන්දුවෙන් හා කැපවීමෙන් රාජකාරි කටයුතු කළා. නියෝජ්‍ය පොලිස්පති තුමාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කරමින් පරිපාලන අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවත් මට ලැබුණා. වාණිජ අපරාධ විමර්ශන සම්බන්ධ පුළුල් දැනුමක් ලැබුවා. දෙදහස් ගණන්වල මුල භාගයේදී පොලිස් උසස් අභ්‍යාස ආයතනය  පටන් ගන්නකොට මට එහි දේශකවරියක ලෙස හා පාඨමාලා සම්බන්ධීකාරකවරියක ලෙස සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණා. ඉන්පසු පරීක්ෂණ හා පුනරීක්ෂණ කොට්ඨාශයේ හා ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ රාජකාරි කිරීමට අවස්ථාව ලැබුනා. ඒ වන විට මා පොලිස් පරීක්ෂකවරියක්.”

ඉන් අනතුරුව ඇය එක්සත් ජාතීන්ගේ සාමසාධක සේවය සඳහා 2006 දෙසැම්බරයේදී නැගෙනහිර ටිමෝරය බලා පිටත් වෙනවා. ඒ වන විට නිදහස් රාජ්‍යයක් බවට පත් වී තිබුණු නැගෙනහිර ටිමෝරයේ දිලි නගරයේ පිහිටි ජාතික විමර්ශන කාර්යාංශයේ කාන්තාවන් හා ළමයින් සම්බන්ධ පොලිස් විමර්ශන කණ්ඩායම් නායිකාවක් ලෙස ඇය 2008 පෙබරවාරි දක්වා සේවය කරනවා.

“මගේ සේවා කාලයේ වැඩිම කාලයක් රාජකාරි කර තිබෙන්නේ ළමා හා කාන්තා අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේයි,” යි කියන විට නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංආරච්චිගේ මුහුණ ප්‍රීතියෙන් බැබලුණා. “මම සතුටින්, ආශාවෙන් රාජකාරි කළ ක්ෂේත්‍රයක්. මම ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරිනියක් විදියට ළමා අපචාර සම්බන්ධව ලොකු පරිචයක් ලැබුවා. පසුව මා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ ධුරවලටත් පත්වුණා.”

ඇය 2007 වසර අග සිට සහකාර පොලිස් අධිකාරිවරියක ලෙසත්, 2013 වසරේ සිට පොලිස් අධිකාරිවරියක් ලෙසත්, 2017 සිට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයක ලෙසත් උසස්වීම් ලැබුවා. උපාධිධාරිනියක ලෙස පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව ඇයට බොහෝ අවස්ථා ලැබුණු බවත්, එය සිය වෘත්තීය ජීවිතයේ ඉදිරි ගමන සඳහා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වූ බවත් බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පවසනවා. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක්.

DIG Bimshani Jasinarachchi UN peacekeeping
DIG Bimshani Jasinarachchi UN peacekeeping

දෙවන වතාවටත් 2013දී එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව සමග එක්ව දකුණු සුඩානයේ පොලිස් මූලස්ථානයේ පිරිස් පාලන නිලධාරිවරිය ලෙස රාජකාරි කිරීමටත් ඇයට අවස්ථාව ලැබෙනවා. එසේම, ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානා පොලිස් විද්‍යා පීඨයේ හා ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ පුහුණුවීම් ගණනාවකට සහභාගි වෙනවා. ඇය ඇමරිකාවේ ලුසියානා පොලිස් විද්‍යාපීඨයේ ගුවන් යානා පැහැර ගැනීම්වලදී ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශේෂ පුහුණුවක් ලද නිසා ලංකාවේ එම ක්ෂේත්‍රයට පත්කරන ලද නිලධාරීන්  කණ්ඩායමේ පළමු කාන්තාව ලෙසද පත්වීම් ලබනවා.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ ගතානුගතිකව පැවති පිරිමි ආධිපත්‍යය හා ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කරනු ලබන වෙන්කිරීම පිළිබඳ අවධානය යොමුකරමින් නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංආරච්චි පැවසුවේ රජයේ වෙනත් සේවාවන්වල මෙන් නොව පොලිසියේ තනතුරු කාන්තා හා පිරිමි ලෙස වෙන් කර තිබීම ගැටලුවක් බවයි. එහෙත්, පොලිස් රාජකාරිවලදී කාන්තා පිරිමි භේදයකින් තොරව සෑම ආකාරයකම රාජකාරිවලට කාන්තාවන් සහභාගි වෙනවා.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහකාර අධ්‍යක්ෂකවරයකු ලෙස සේවය කරන ඇගේ සැමියා රෂාන් කොඩිතුවක්කුගෙන් ලැබෙන ශක්තිය ඇගේ ඉදිරි ගමනට මහෝපකාරී වූ බව ඇය විශේෂයෙන් සිහිපත් කළා.

“පොලිස් සේවයේ සමස්ථ කාන්තා නිලධාරිනියන් අතරින් ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වන මට ශ්‍රී ලංකා පොලීසියේ සියලුම කාන්තා නිලධාරිනියන් ගැන වගකීමක් තිබෙනවා. ඔවුන්ගේ සුබසාධනය හා රාජකාරි ගැටලු ගැන මම සොයා බැලිය යුතුයි. අවුරුදු 23ක ක්ෂේත්‍ර අත්දැකීම් සමග මේ පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මගේ වගකීමක්, යුතුකමක්, ඒ වගේම මට දැනුණු කාරණාවක්. දැනුත් ඔවුන්ට මට  සෘජුව කතා කරන්න පුළුවන්. සමස්ත පොලිස් නිලධාරීන් මුහුණදෙන රාජකාරිමය හා විවිධ ගැටලු සොයා බලා කඩිනමින් විසඳුම් ලබාදීම මගේ වර්තමාන රාජකාරි වපසරියේ කොටසක්. ඒ වගේම, එය මහජනතාව විසින් යොමුකරනු ලබන පැමිණිලි හා ගැටලු සම්බන්ධයෙන් සොයාබලා සහකම්පනයෙන් ක්‍රියාකර සාධාරණ අවසන් විසඳුමක් ලබාදී සහන සැලසීමට අදාළව ක්‍රියාකළයුතු සුවිශේෂී ක්ෂේත්‍රයක්. මා මිත්‍රශීලී ලෙසත් අභිමානවත් ලෙසත් එම රාජකාරිය ඉටුකිරීමට මා වගකීමෙන් යුතුව ක්‍රියා කරනවා. සමස්ථ පොලිසියේ ප්‍රගමනය උදෙසා තනතුරේ වගකීම තුල කළ හැකි හා කළ යුතු සියලු රාජකාරි වගකීම් නොපිරිහෙළා ඉටුකිරීමට ක්‍රියා කරනවා,” යි නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි පැවසුවා.

අභියෝග සමග සටන් කර ජයගත් ඇයට දැන් ඉදිරියට යාමට බාධාවක් නැහැ. තවත් අවුරුදු 12ක සේවා කාලයක් ඇය ඉදිරියේ තිබෙනවා. ඇගේ දිරියෙන් ශ්‍රී ලංකා පොලිස් සේවය බැබලේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

මෙම අන්තර්ගතය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කරන ලදී. අදාළ ආයතනවල අවසරය මත පළකරනු ලැබේ. 2020 දෙසැම්බර් 30 අද පුවත්පතේ දැන්වීම් විශේෂාංගයක් ලෙස පළවිය. ඉංග්‍රීසියෙන් කියවන්න Bimshani Jasing Arachchi – the first woman Deputy Inspector General of Sri Lanka Police>>

ඡායාරූපය අජිත් පැරකුම් ජයසිංහ
DIG Bimshani Jasinarachchi
ඡායාරූපය අජිත් පැරකුම් ජයසිංහ
Translations