Maariya

අජිත් පැරකුම් ජයසිංහ

සාගරය යනු හුදෙකලාවේ සහ අභිරහසේ සංකේතයකි. නිමක් නැති ජල කඳක් මැද දිවි ගෙවන ධීවරයන්ගේ ජීවිත ද ඒ සාගරය තරමටම රළු ය; ගැඹුරු ය. “මාරියා” චිත්‍රපටය, මේ රළු මිනිසුන් අතරට අහම්බෙන් කඩා වැටෙන කෘත්‍රිම කාන්තා අනුරුවක් (Sex Doll) කේන්ද්‍ර කරගනිමින්, මිනිස් මනසේ පවතින අතිශය සංකීර්ණ සහ මානුෂීය පැතිකඩක් මනා ලෙස විවරණය කරන අති සියුම් සිනමා වියමනකි.

Creative Content Consultants
Creative Content Consultants 077 1229191/ 077 1734470

චිත්‍රපටයේ මූලික කතා තේමාවම සාම්ප්‍රදායික රාමු බිඳ දමන්නකි. ලිංගික භාණ්ඩයක් ලෙස සමාජය විසින් හංවඩු ගසන ලද මෙවැනි වස්තුවක්, මුහුද මැද හුදෙකලා වූ පිරිමින්ගේ චිත්තවේගී රික්තය පුරවන ‘ආධාරකයක්’ බවට පත්වන ආකාරය අධ්‍යක්ෂවරයා ඉතා සංවේදීව ග්‍රහණය කර ගනී. මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන්නේ නළුවන්ගේ දක්ෂතාව සහ අධ්‍යක්ෂවරයා වන අරුණ ජයවර්ධනගේ ප්‍රතිභාව මෙන්ම දැක්මයි. එය හුදු කතාන්දරයකට වඩා මානුෂික, සංවේදී හැඟීම් ප්‍රකාශනයක් ලෙස ප්‍රේක්ෂකයාට දැනෙන්නේ එබැවිනි.

පිරිමි ආධිපත්‍යය සහ මර්දනය කළ හැඟීම්

බෝනික්කා මුලින්ම හමු වූ අවස්ථාවේ එය හිමිකර ගැනීමට ධීවරයන් අතර ඇතිවන ප්‍රචණ්ඩ ගැටුම අපට මතක් කර දෙන්නේ පිරිමි සමූහයක් තුළ පවතින සාම්ප්‍රදායික ආධිපත්‍යය සහ තරඟකාරීත්වයයි. එහෙත්, පසුව ඔවුන් එය විනාඩි දහය බැගින් ළඟ තබා ගැනීමට එකඟ වීම කතාවේ හැරවුම් ලක්ෂයයි. කිසිවෙකුත් ඒ සමඟ ලිංගිකව එක් නොවීමත් ඔවුන් කරන්නේ ඒ ළඟින් සැතපී සිටීම සහ කතා කිරීමත් පමණක් බව අවසානයේදී හෙළි වේ.

මෙය මනෝවිද්‍යාත්මකව අතිශය ගැඹුරු කියවීමක් ඉල්ලා සිටියි. ධීවරයන් වැනි කටුක වෘත්තීන්හි නියැලෙන පිරිමින්ට සමාජය විසින් සිය සියුම් හැඟීම්, බිය හෝ ආදරය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තහනම් කර ඇත. ඔවුන් එකිනෙකා ඉදිරියේ තම දුර්වලතා පෙන්වීමට අකමැති ය. එහෙත්, කිසිදා ඔවුන්ව විනිශ්චය නොකරන, ඔවුන්ගේ රහස් හෙළි නොකරන මෙම ‘නිහඬ ශ්‍රාවිකාව’ ඉදිරියේ ඔවුන් සිය මර්දනය කළ හැඟීම් මුදාහරිති. මනෝවිද්‍යාවේ එන “සංක්‍රාන්ති වස්තු” (Transitional Objects) සංකල්පයට අනුව, කුඩා දරුවෙකුට තම බ්ලැන්කට්ටුව හෝ ටෙඩි බෙයාර් ලබා දෙන චිත්තවේගී ආරක්ෂාව, මෙම දැඩි හුදෙකලාවට මුහුණ දෙන වැඩිහිටියන්ට මෙම අනුරුවෙන් ලැබේ.

මෙම චිත්‍රපටයේ චරිත විවරණය අතිශය සූක්ෂම ය. උදාහරණයක් ලෙස, එතරම් කැපී නොපෙනෙන ‘ටෙනී’ ගේ චරිතය ගත හැකිය. “ටෙනීට බෝනික්කා අවශ්‍ය නැහැ නේද?” යැයි කපිතාන්වරයා ඇසූ විට, “ඇයි කැප්ටන් එහෙම කියන්නේ?” යැයි අසන ඔහු, මනාව ලකලෑස්ති වී තමන්ට ලැබුණු අවසන් අවස්ථාවේදී බෝනික්කා වෙත යයි. මෙම කුඩා දර්ශනය හරහා මිනිස් සිතේ පවතින ආදරය සහ අවධානය සඳහා වූ නිහඬ ඉල්ලීම කොතරම් ප්‍රබලදැයි කියා පායි.

අනෙක් අතට, ධීවර රැකියාවේ සතුටින් යෙදෙන කම්කරු පිරිස අතරට කඩා වැටෙන විකාරරූපී ගතිගුණ ඇති තරුණයා නියෝජනය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ලෝකයකි. ඔහු මධ්‍යම පාන්තික, පාරිභෝජනවාදී ඕස්ට්‍රේලියානු සිහිනයක් කරපින්නාගෙන එන, ඔස්ට්‍රේලියාවට නීති විරෝධී අන්දමින් සංක්‍රමණය වීමේ බෝට්ටු ගමනට හුරු වීමට එන අයෙකි. බෝනික්කා සමඟ වැඩිම චිත්තවේගී බැඳීමක් ඇති කර ගන්නේ ද ඔහු ය. ඔහු එම වස්තුවට ගැඹුරින් ආදරය කරමින් එය සමඟ සංවාදයේ යෙදේ.

අජීවී වස්තුවකට මෙලෙස මානව හැඟීම් සහ චේතනා ආරෝපණය කිරීම මනෝවිද්‍යාවේ “මානවරෝපණය” (Anthropomorphism) ලෙස හැඳින්වේ. එය බොහෝ විට සමාජීය සම්බන්ධතා සඳහා ඇති දැඩි කුසගින්න (Social Disconnection) හේතුවෙන් හටගන්නකි. සැබෑ ලෝකයේ මානව සබඳතා ගොඩනඟා ගැනීමේදී ඇතිවන ගැටුම් සහ ප්‍රතික්ෂේප වීම්වලට බිය වන ඔහු (Insecure Attachment), කිසිදා තමන්ව හැර නොයන “පරිපූර්ණ” සහකාරියක් ලෙස මෙම අනුරුව තෝරාගෙන ඇත. ධීවරයන්ගේ රළු ලෝකයත්, ඔහුගේ විකාරරූපී මනෝරාජ්‍යයත් අතර ඇතිවන ගැටුම චිත්‍රපටයේ නාට්‍යමය රසය තීව්‍ර කරයි.

අවසානයේ රැව්දෙන මාතෘ සෙනෙහස

චිත්‍රපටයේ සංවේදීම දර්ශනය වන්නේ, අතුරුදහන් වන තරුණයා තබා යන දුරකථනයට අවසානයේදී ඔහුගේ මවගෙන් එන ඇමතුමයි. එතෙක් කෘත්‍රිම ලෝකයක, කෘත්‍රිම වස්තුවක් වටා ගෙතුණු කතාවක්, එකවරම යථාර්ථයේ කටුක සහ අතිශය සංවේදී මානුෂීය බැඳීමක් වෙත ඇද වැටේ. කොතරම් පාරිභෝජනවාදී සිහින පසුපස හඹා ගියද, කොතරම් කෘත්‍රිම සබඳතා ගොඩනඟා ගත්තද, අවසානයේදී මිනිසාට වඩාත්ම අවශ්‍ය වන්නේ සැබෑ, මානුෂීය ආදරය බව එම දුරකථන ඇමතුම අපට පසක් කර දෙයි.

“මාරියා” යනු හුදෙක් මුහුද මැද සිදුවන සිදුවීම් මාලාවක් නොව, මිනිස් මනසේ හුදෙකලාව, චිත්තවේගී අවශ්‍යතා සහ මානව සබඳතාවල සංකීර්ණත්වය පිළිබඳ ගැඹුරු කියවීමක් සපයන, නැරඹිය යුතුම සිනමා නිර්මාණයකි. මා එය නැරඹුවේ පියෝ ටීවී වෙතිනි.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න. පොත ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න: 077 1734470

Leave a Reply

Your email address will not be published. Required fields are marked *