අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ලබා දෙන්නේ ලංකාවේ රාජ්‍යයට දරා ගත හැකි ප්‍රමාණයට බවත්, එය මදි නම්, රාජ්‍ය සේවයට නො පැමිණිය යුතු බවත් පසුගිය දවසක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබිණි. මෙය රාජ්‍ය සේවකයන්ටත්, වෘත්තීය සමිතිවලටත් කියන්නට බොහෝ දේශපාලකයෝ බිය වෙති. මන්ද, රජයෙන් යැපෙන මෙම මධ්‍යම පන්තිය ලංකාවේ දේශපාලන පන්තිය වීමය. මහජන මතය හසුරුවන්නේ ඔවුහුය.
රාජ්‍ය සේවකයන්ගේ ශ්‍රම මූලධර්මය වී ඇත්තේ, හැකි තරම් අඩුවෙන් වැඩ කර හැකි තරම් වැඩියෙන් වැටුප් හා වරප්‍රසාද ලබා ගැනීමය. වෘත්තීය සමිති ව්‍යාපාරයේ පදනම ගොඩනැඟී ඇත්තේ මෙම ශ්‍රම කොන්දේසිය වෙනුවෙන් පෙනී සිටීම මතය. පසුගිය කාලයේ ජවිපෙ මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය පසුපසින් සිටි ශක්තිය විය. පසුව ජවිපෙ විසින් ස්වාධීන වෘත්තීය සමිති ද තමන්ගේ නායකත්වය යටතට ගන්නා ලදි. පසුගිය මැතිවරණවලදී රාජ්‍ය සේවකයන් බහුතරයක් ජවිපෙට තැපැල් ඡන්දය දුන්නේ ඒ ආකාරයටය.
ජවිපෙ සහ වෘත්තීය සමිති ව්‍යාපාරය පසුගිය කාලයේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ක්‍රියා කළ මූලෝපාය වූයේ, ‘දේශපාලකයන් වන ඔබ ගන්නා අයුතු වරප්‍රසාද අපට ද ලබා දෙනු’ යන්නය. පසුගිය කාලයේ රටටම රථ ගායක් සෑදුණේ ඒ අනුවය. මා සිතන්නේ, වත්මන් ආණ්ඩුවට මෙම රෝග බොහොමයක් නිට්ටාවටම සුව කළ හැකි බවය. ඊට හේතුව, පසුගිය කාලයේ එම රෝග පෝෂණය කළේ ඔවුන් වීමය. ජනතාව ජවිපෙට පවරා ඇත්තේ, යහපාලන මූලධර්ම ලෙස ආරම්භ වූ මෙම වෙනස්කම් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමය. එහෙත්, ජනතාවට ද සිය කටින් අත දමා තමන් ව කණපිට ගසා ගැනීමට දැන් සිදු වේ.
පැවති ආණ්ඩු බොහොමයක් දිගු කාලයක් තිස්සේ බලය වෙනුවෙන් රාජ්‍ය සේවකයන් හුරතල් කළේය. සිය ඡන්දදායකයන්ට අවිධිමත් අන්දමින් රාජ්‍ය සේවයේ රැකියා පිරිනැමුවේ ඔවුහුය. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව මෙන් ම විනයක් නැති රාජ්‍ය අංශයක් නිර්මාණය කළේ ද ඔවුහුය. එහෙත්, එහිදී එම රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාවට සිටියේ වෘත්තීය සමිති සහ ඔවුන් පිටුපසින් සිටි ජවිපෙය. සියලුම උපාධිධාරීන්ට රජයේ රැකියා ඉල්ලා උද්ඝෝෂණ කර, 2004දී රනිල්ගේ ආණ්ඩුව පෙරළා දැමීමට ඔවුහු කටයුතු කළහ. ඒ වන විට ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීම් ලබා දී ලක්ෂ හත දක්වා අඩු කර තිබුණු රාජ්‍ය සේවය පුම්බන්නට ජවිපෙ මහින්ද රාජපක්ෂ රජය පෙළඹවූ ආකාරය ඔබට මතක ද?
රාජ්‍ය සේවයේ හිඟන වැටුප් නිසා රාජ්‍ය සේවකයන්ගේ අකාර්යක්ෂමතාව සාධාරණීකරණය විය. එහෙත්, ගුරු වෘත්තිය වැනි ඇතැම් ක්ෂේත්රවල මෙම තත්ත්වය පසුගිය කාලයේ වේගයෙන් වෙනස් විය. එහෙත්, අධ්‍යාපන කාර්යක්ෂමතාව නම් වැඩි වූ බවක් පෙනෙන්නට නැත. සමහර විට, එයට හේතුව මෙසේ විය හැකිය. එනම්, අධ්‍යාපන අමාත්‍යවරිය, නලින්ද අමාත්‍යවරයා මෙන් මේ ආකාරයට කතා කළ හැකි දැක්මක් සහිත අයෙකු නො වීමය.

දැන් මෙය අවසන් කිරීමට කාලය එළඹ ඇත. රාජ්‍ය සේවයේ බර සහ අකාර්යක්ෂමතාව ලංකාවේ මහජනතාව පීඩාවට පත් කරන ප්‍රධාන ගැටලුවකි. අතිවිශාල බදු බරකට උර දී සිටින ජනතාව තමන් ගෙවන බදුවලින් වැඩි ප්‍රතිශතයක් වැය කරන්නේ රාජ්‍ය සේවය නඩත්තු කිරීමටය. එහෙත්, රාජ්‍ය සේවය නිසා එම බදු ගෙවන ජනයාම සෑහෙන පීඩාවකට මුහුණ දෙති.
ලංකාවට දරා ගත නො හැකි සුබසාධනවාදය සමාජවාදීන් අතින්ම කප්පාදු වීම දෛවයේ සරදමකි. Labora aut discede. වැඩ කරනු! නැති නම්, පිට වනු! මෙය වත්මන් ආණ්ඩුවටත්, අනාගතයේ බිහි වන සියලු ආණ්ඩුවලටත්, සමස්ත රාජ්‍ය සේවයටත් අදාළය.











