– අජිත් පැරකුම් ජයසිංහ
ඉන්දියාවේ ජෙන්සී විරෝධතාව මර්දනය කිරීමට යාම තේරුමක් නැත. මෙවැනි විරෝධතා වනාහි අලුත් පරම්පරාවන් පැරණි පරම්පරාවනට බලය පෙන්වීමේ කැරැලි වේ. අතීතයේදී ද ඒවා පැවති නමුත්, විප්ලවය, ජාතික විමුක්තිය වැනි සංකල්ප සමග තිබුණු බැඳීම් නිසා ඒවා මේ තරම් අමු වූයේ නැත. මේ විරෝධතාවල එවැනි ගැඹුරු හරයන්ට වඩා වැදගත් වන්නේ එහි ඇති වයස් විරෝධයයි. නාකි ගෙදර පලයව් කියන සටන් පාඨය එහි ඇති වැදගත්ම තේමාවයි. එය ඉතා සරලය.
නූතන සමාජවිද්‍යා දත්ත පෙන්වා දෙන පරිදි, වෙනත් කිසිදු පරම්පරාවකට වඩා වත්මන් ජෙන්සී (Gen Z) පරපුර තම අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවකින් සහ ආතතියකින් පෙළෙති. තමන්ට නො ලැබුණු සියලු ජානමය ලක්ෂණ, දේපළ, උරුමය, පන්තිය, ජාතිය, උපන් රට ආදී සියලු තමන් නො බැලූ පස්මහ බැලුම් සම්බන්ධයෙන් මව්පියන්ට දොස් තබමින් රටින් පළා ගොස් තමන්ගේ දරුවන්ට බටහිර රටක ජීවිතය උරුම කර දීමට උත්සාහ කරන තරුණ පරපුරක වේදනාවක ප්‍රකාශයකට වඩා දේශපාලනික හරයක් එහි නැත.
එබැවින් මේ අරගල හමුවේ ගැඹුරු වන අරාජකත්වය තුළ නැවත බලවත් වන්නේ ටිල්වින් සිල්වා වැනි කොණ්ඩය ඩයි කර ගත් මහල්ලන්ය. ඉන්දියාව ද එම අත්දැකීම ලැබිය යුතුය.
ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. චීනය, ඉරානය වැනි රටක් නොවේ. එබැවින්, මෙවැනි විරෝධතා මර්දනය කිරීමට අවශ්‍ය ඒකාධිපති බලය මෝදිගේ ආණ්ඩුවට නැත. විශේෂයෙන්ම 2024 මහ මැතිවරණයෙන් පසු මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂයට’ (BJP) තනි බහුතරය අහිමි වී, සන්ධාන ආණ්ඩුවක් මත යැපීමට සිදුවීම තුළ, මෙවැනි දැවැන්ත මහජන විරෝධතා මර්දනය කිරීම දේශපාලනිකව සියදිවි නසාගැනීමක් වනු ඇත.
ඒ නිසා ඉන්දියාව ද මෙම අරගලය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් ප්‍රතිඵලය වන අරාජකත්වය සලකුණු කර ගත යුතුව තිබේ. යුරෝපය ඇතුළු බටහිර රටවල ද එය සිදු වී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ගොඩනැගෙන අරාජකත්වය යනු ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ සන්ධිස්ථානයකි. මහා දාර්ශනික ප්ලේටෝ සිය ‘රිපබ්ලික්’ (The Republic) කෘතියේ දක්වන පරිදි, “ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇතිවන අතිශය නිදහස අවසානයේ අරාජකත්වයටත්, අරාජකත්වය ඒකාධිපතිත්වයටත් මඟ පාදයි.” යුරෝපයේ අරාජකත්වය රජ කර තිබුණත් එහි ආර්ථිකය සහ සමාජ ක්‍රමය ශක්තිමත් නිසා තවමත් ඒ රාජ්‍ය පවතී. ඒ රාජ්‍ය පරිවර්තනය වීමේ අවස්ථාව තිබෙන්නේ අරාජකත්වයටත් වඩා නැඟී එන මුස්ලිම් ආධිපත්‍යය සමඟය.
දකුණු ආසියාවේ අරාජකත්වයෙන් පසු හෝ අරාජකත්වය තුළ ලංකාවේ මෙන්ම වාමාංශික අන්තවාදය මතු වීමට පුළුවන. රාජ්‍යය බිඳී විසිරී නො ගියොත් ඇතැම් විට නැවතත් මහා ජාතික ආධිපත්‍යයම ස්ථාපිත වීමටත් පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදයේ මෙම සන්ධිස්ථානයෙන් පසුව, දැඩි ඒකාධිපතිවාදයන් බිහි වීමේ අවදානමක් ද පවතී.
දකුණු ආසියාවට මේ වසංගතය බෝ කළේ ලංකාවේ වාමාංශික ලිබරල් අරාජකවාදී කණ්ඩායම් විසින් නායකත්වය දුන් 2022 ඊනියා අරගලයයි. ආර්ථික බංකොලොත්භාවය නම් සමස්ත සමාජයම වගකිව යුතු ප්‍රශ්නය පාලකයන්ට ඌනනය කරමින් සිදු කළ මෙම අරගලය වටා එකතු වූ පිරිස අධ්‍යයනය කළ විට පැහැදිලිව පෙනෙන ලක්ෂණය වන්නේ එය රාජ්‍යයේ අධිපති බලවේගවලට එරෙහි ව්‍යාපාරයක් බව ය. ලංකාවේ නම් සිංහල, බෞද්ධ, ගොවිගම, විෂම ලිංගික, පිරිමි, ප්‍රභූ ආධිපත්‍යයට එරෙහි සියලුම බලවේග එහිදී එක පෙරමුණකට එකතු විය. ඔවුහු පැවති ආණ්ඩුව බිඳ දැමීමේදී සාර්ථක වූවත්, ඔවුන්ට විකල්පයක් නිර්මාණය කිරීමේ කිසිදු හැකියාවක් තිබුණේ නැත. ඒ නිසා වාමාංශික ජනතා විමුක්ති පෙරමුණට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බලයට පත්වීමට හැකි විය.
ඉන් පසු පැන නැගුණු බංග්ලාදේශ, නේපාල ආදී කැරැලිවලට හේතු වූයේ ලංකාවට වඩා සුළු කාරණාය. එහෙත්, ප්‍රචණ්ඩත්වය ඊටත් වැඩි විය. බංග්ලාදේශයේ රජයේ රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ජෙන්සී සිසුන් ඇරඹූ අරගලය අවසානයේ දශක එකහමාරක් බලයේ සිටි ෂීක් හසීනා පලවා හැරීමටත්, රටේ නීතිය හා සාමය මුළුමනින්ම බිඳ වැටීමටත් හේතු විය.
ඉන්දියාවේ ද ප්‍රශ්නය බරපතළ එකක් නො වේ. විභාග වංචා යනු ඉන්දියාවට අලුත් දෙයක් නො වේ. එහෙත් මිලියන 2.4කට අධික සිසුන් පිරිසක් මුහුණ දුන් නීට් (NEET-UG) වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීම හුදු පරිපාලනමය දුර්වලතාවක් වුවද, එය සමස්ත පද්ධතියටම එරෙහිව පුපුරා යාමට නියමිතව තිබූ තාරුණ්‍යයේ බෝම්බයේ සේවා නූල බවට පත් විය.
එහෙත්, එහිදී ද රාජ්‍යයේ හින්දු ආධිපත්‍යයට එරෙහි පාර්සි හා ඉතාලි සම්මිශ්‍රිත ගාන්ධිලා දක්වා සියලුම බලවේග අරගලයට එකතු වන ආකාරය දැකිය හැකි ය.
මේ අරගලයේ ප්‍රතිඵලය කුමක් වූවත්, කාරණා කිහිපයක් පැහැදිලි ය. ඉන්දියාවේ ‘විකසිත් භාරත් 2047’ (Viksit Bharat 2047) වැඩසටහන ඔස්සේ ලෝක බලවතකු වීමේ මූලෝපාය මේ සමඟම අර්බුදයට යයි. ඉන්දියාවේ ස්ථාවරත්වය දුර්වල වීම එරටට පමණක් නො ව, කලාපයේත්, මුළු ලෝකයේමත් ඉදිරි ගමනට දැඩිව බලපායි.











