house of fashions

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයන ක්ෂේත්‍රයේ සිදුවන වෙළඳ ඉන්වොයිස් වංචා (Trade Misinvoicing) එනම්, භාණ්ඩවල වටිනාකම අඩුවෙන් පෙන්වීම (Underinvoicing) සහ වැඩියෙන් පෙන්වීම (Overinvoicing) රටේ ආර්ථිකය මුහුණ දෙන දැවැන්තම ඛේදවාචකයකි. ජාත්‍යන්තර වාර්තා පවා පෙන්වා දෙන්නේ මේ හරහා වාර්ෂිකව අතිවිශාල ප්‍රාග්ධනයක් රටින් පිටවන බවයි. එහෙත්, මෙම දැවැන්ත වංචාවලින් නීතියේ රැහැනට අසු වන්නේ ඉතාම අල්ප පිරිසකි.

Creative Content Consultants
Call 077 1734470 / 077 1229191

ඉන්වොයිස් වංචාව හරහා සිදු වන ප්‍රාග්ධන පලායාම (Capital Flight) සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන් අතර ප්‍රබල සංවාදයක් පවතී. වාමාංශික ආර්ථික විශ්ලේෂක ධනුෂ ගිහාන් පතිරණ වැනි අය නිරන්තරයෙන් අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රභූ ව්‍යාපාරික පැලැන්තිය විසින් 2009 සහ 2018 අතර කාලයේදී පමණක් ඩොලර් බිලියන 40කට අධික මුදලක් වෙළඳ ඉන්වොයිස් වංචා හරහා රටින් පිට කර ඇති බවයි. ඔවුන්ට අනුව රටේ වත්මන් ආර්ථික බංකොලොත්භාවයේ ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම මහා පරිමාණ ප්‍රාග්ධන පලායාමයි.

අනෙක් අතට, ‘Global Financial Integrity’ (GFI) වැනි ජාත්‍යන්තර වාර්තා පදනම් කර ගනිමින් ධනුෂ ගිහාන් පතිරණ ඇතුළු පිරිස දක්වන මෙම සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් ප්‍රකට ආර්ථික විද්‍යා ලේඛකයකු වන ‘ඉකොනොමැට්ටා’ (Economatta) වෙනත් අදහසක් දරයි. ඉකොනොමැට්ටා පෙන්වා දෙන්නේ GFI වාර්තාවේ සඳහන් වන ‘වටිනාකම් පරතරය’ (Value Gap) මුළුමනින්ම ‘ප්‍රාග්ධන පලායාමක්’ ලෙස සෘජුව අර්ථකථනය කිරීම දත්ත පිළිබඳ දළ වැරදි අර්ථකථනයක් (gross misinterpretation) බවයි.

එහෙත්, ඉන්වොයිස් වංචාව යනු ප්‍රාග්ධනය රටින් පිට කිරීමට මෙන්ම බදු මඟහැරීමට ද යොදා ගන්නා, වහා අවධානය යොමු කළ යුතු අතිශය බරපතළ ප්‍රශ්නයක් බව ඉකොනොමැට්ටා ද පිළිගනී.

මෙම දෙපාර්ශ්වයේම අදහස්වලින් පැහැදිලි වන්නේ ආනයන-අපනයන වටිනාකම් විකෘති කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික දේහය වෙළාගත් දැවැන්ත පිළිකාවක් වී ඇති බවයි.

හවුස් ඔෆ් ෆැෂන්ස් සිද්ධිය සහ ‘සිංහල ව්‍යාපාරිකයන් දඩයම් කිරීමේ’ තර්කය

මෙතරම් සුවිශාල වංචාවක් රට තුළ සිදු වෙද්දී නීතියට කොටු වන්නේ කීයෙන් කී දෙනා ද? මෑතකදී මීට අදාළව දැඩි කතාබහට ලක් වූයේ ‘හවුස් ඔෆ් ෆැෂන්ස්’ (House of Fashions) මෙගා මෝල් ආයතනයේ හිමිකරු වන ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල මහතා රේගුව විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.

වෙනත් ආයතන 30ක් භාවිත කරමින් ශ්‍රී ලංකා රේගුවට සටහන්කරුවන් ඉදිරිපත් නො කර, චීන සැපයුම්කරුවන් වෙත රහසින් මුදල් යවා (RMB මිලියන 10.6ක්), රේගුවට භාණ්ඩවල වටිනාකම අවප්‍රමාණය කර (Under-invoicing) පෙන්වීම සම්බන්ධයෙන් රේගුව ඔහුට චෝදනා කරයි.

එහෙත් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයේදී තර්ක කළේ, මෙය සම්පූර්ණයෙන්ම අනීතික අත්අඩංගුවට ගැනීමක් බවයි. එමෙන්ම, ව්‍යාපාරික තරගකරුවන්ගේ වුවමනාව මත සිංහල ව්‍යාපාරිකයකු ඉලක්ක කර ගනිමින් දඩයම් කිරීමට ක්‍රියාත්මක කළ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවට ද ඔහු අධිකරණයේදී චෝදනා කළේය.

වෙළඳ තරගකාරීත්වය හමුවේ සාර්ථක සිංහල ව්‍යාපාරිකයන් ඉලක්ක කර දඩයම් කිරීමක් සිදු වනවා ද යන්න වෙනම විමසා බැලිය යුතු සමාජ-දේශපාලන කරුණකි. එහෙත් ප්‍රශ්නය එය නොවේ. මෙහිදී මතු වන බරපතළම ගැටලුව වන්නේ, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් අය විය යුතු රාජ්‍ය ආදායම ලබා ගන්නවා වෙනුවට, විත්තිකරු කෙසේ හෝ රිමාන්ඩ් කර ඔහුව වධහිංසනයට ලක් කිරීමට ශ්‍රී ලංකා රේගුව දක්වන අසාමාන්‍ය උනන්දුවයි.

හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරු අත්අඩංගුවට ගත් දින රාත්‍රිය වන තෙක් රඳවා තබා ගැනීම නිසා ඔහුගේ ජීවිතය අනතුරේ වැටුණි. එසේම, රේගු භාරයේ සිටියදී ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට සිදු විය. මේ මඟින් පෙනී යන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් සහ ප්‍රශ්න කිරීම් පිටුපස ඇති අතිශය පීඩාකාරී ස්වභාවයයි.

රේගුව අධිකරණය හමුවේ කරුණු දක්වන්නේ රේගු ආඥාපනතේ 127 (ඇ) වගන්තිය වැනි ප්‍රතිපාදන භාවිත කරමිනි. රේගු වරදට අදාළ භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියනය ඉක්මවා ඇති බව පෙන්වා දෙමින්, විත්තිකරුවන්ට ඇප පනත අනුව ඇප නො දී සිටීමට රේගුව දිගින් දිගටම තර්ක ඉදිරිපත් කරන්නේ මෙම ‘රිමාන්ඩ් කිරීමේ සහ පීඩාවට පත් කිරීමේ’ සැඟවුණු න්‍යාය පත්‍රය පෙරදැරිව බව පැහැදිලිය.

ඉන්වොයිස් වංචාකරුවන් නීතියේ රැහැනට හසු කර ගත යුතු බවට අපට කිසිදු විවාදයක් නැත. එහෙත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල මූලික පරමාර්ථය විය යුත්තේ නිසි විමර්ශනයක් හරහා රටට අහිමි වූ බදු මුදල් සහ ප්‍රාග්ධනය යළි අය කර ගැනීම මිස, පුද්ගලයන් රිමාන්ඩ් කූඩුවල සිර කරමින්, වධහිංසනයට සහ අසීමිත මානසික/ශාරීරික පීඩාවන්ට ලක් කිරීමේ ‘පොලිස් මානසිකත්වයක්’ රේගුව හරහා මුදා හැරීම නොවේ.

මෙවැනි ක්‍රමවේද හරහා ව්‍යාපාරික ප්‍රජාව හා සේවායෝජකයන් අධෛර්යවත් කළ හැකි බව නම් ඉතා පැහැදිලිය. තෝරා බේරා ගෙන කිරීමෙන් යම් ප්‍රජා අධෛර්යවත් කිරීමට ද පුළුවන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *