In The Name Of The Father

අජිත් පැරකුම් ජයසිංහ

මා මේ සටහන තබන්නේ 1985-92 කාලයේ 1989 ජවිපෙ කැරැල්ලට පෙර හා පසු සමයේ ලංකාවේ සෑම ආකාරයක ම සිර ගෙවල් හා වධකාගාරවල ජීවත් වී පණ රැක ගත් කැරැලිකරුවකු ලෙස ලබා ඇති අත්දැකීම් මත පදනම්වය. සිර මැදිරි තුළින් පලා යාම මෙන් ම, පලා ගිය පුද්ගලයන් යළි අසු වූ පසු නිලධාරීන් අත පය කඩා දමන ආකාරය පිළිබඳ මට සජීවී අත්දැකීම් ඇත. එසේ ම, බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතය කෙරෙන ආකාරය මා ඒ කාලයේ පවා නිරීක්ෂණය කර ඇත. එම වකවානුවෙන් පසු මට සිර ගෙවල් පිළිබඳ අත්දැකීම් නැති මුත්, මූලික තත්වයන් වෙනස් වී නොමැති බව මගේ නිරීක්ෂණයයි. වෙනස නම්, තත්වයන් තවත් තීව්‍ර වීම පමණි.

Creative Content Consultants
For all content creations, translations, editing, proofreading and typesetting in Sinhala, English and Tamil, call 077 1229191/ 077 1734470 / [email protected] / www.praja.lk/content-lanka/

සාමාන්‍යයෙන් බන්ධනාගාර තුළ පාලන දෙකක් ඇත. එකක් බන්ධනාගාර නිලධාරීන්ගේ පාලනයයි. අනෙක, සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පාලනයයි. පළමුවැන්න රාජ්‍යය සමග සම්බන්ධ ය. දෙවැන්න මේ වන විට රාජ්‍යය තරම් ම බලවත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ජාලය සමග සම්බන්ධය. රට තුළ මේ දෙක අතර තුලනයක් තිබෙන්නා සේ ම බන්ධනාගාරය තුළ ද තුලනයක් තිබේ. මෙය වනාහි බන්ධනාගාර තුළ තුලනය බිඳ වැටුණු මොහොතකි. එය යළි ස්ථාපිත කිරීම බන්ධනාගාර නිලධාරීන්ට පමණක් කළ හැකි දෙයක් නොවේ. අනෙක් පාර්ශ්වය ද එයට මැදිහත් වනු ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම කෙරෙන්නේ පොලීසිය සමග අවබෝධයකින් බව ද, එම අවබෝධය තුළ පොලීසියට අවශ්‍ය නඩු ගණන වගකීම් සහගතව කල්ලි නායකයන් විසින් ලබා දෙන බව ද අවබෝධ කර ගන්න. ඔය මීගමුව බන්ධනාගාරයේ ඝාතන සිදු කළ හා ඝාතනයට ලක් වූ පුද්ගලයන් අතර අහිංසකයන් මෙන් ම, මේ ජාල සමග සම්බන්ධ අය ද සිටිය හැකිය.

බන්ධනාගාර, පොලිස්, හමුදා නිලධාරීන් ඝාතනය කළ පුද්ගලයන් ඔවුන්ගේ ම භාරයේ ඒ අයුරින් ම තව දුරටත් රඳවා තැබීම දරුණු වධහිංසනයකට මුල වේ.

මෙම නිලධාරීන් සහ සිරකරුවන් අතර විශාල වෙනසක් නොමැත. සිරකරුවන් මොබ් එකක් බවට පත් වූ අන්දමින් ම නිලධාරීහු ද ඉතා පහසුවෙන් මොබ් බවට පත් වෙති. ඔවුන් කරන්නේ සාමූහික ප්‍රතිචාර දැක්වීමකි. ඒ මුන් අපේ එවුන් මරපු එවුන්ය කියන ප්‍රතිචාරයයි. ඔවුන්ට රාජ්‍ය බලය, අවි ආයුධ හා තමන් සුරක්ෂිත පරිසරයක් තුළ සතුරා වධහිංසනයට ලක් කිරීමේ අවස්ථාව ලැබේ.

සාමාන්‍යයෙන් බන්ධනාගාරයක් තුළ මෙවැනි සිදුවීමක් වූ පසු සිදු වූ සියල්ල අකුරට ම දැන ගත හැකිය. වධහිංසනය හමුවේ සිරකරුවෝ එකිනෙකා පාවා දෙති. එහෙත්, වධහිංසනය නිසා ම මේ සාක්ෂිවලින් අවසානයේ නීතිමය ප්‍රයෝජනයක් නැති වන්නට ද පුළුවන.

මෙසේ වධහිංසනයට ලක් වන, ඝාතනයට ලක් වන සිරකරුවන් අතර මත්ද්‍රව්‍ය අපරාධ ජාලයේ සාමාජිකයන් සිටින බව මේ මොහොතේ බන්ධනාගාර නිලධාරීන්ට මතක් වන්නේ නැත. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු ඉතා ඉක්මනින් විදේශ රටවල සිටින අපරාධ කල්ලි නායකයන් අතට ලැබේ. බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් පිටින් අනාරක්ෂිත තත්වයට පත් වේ. සිරකරුවන්ට මෙන් ම බන්ධනාගාර නිලධාරීන්ට ද ආරක්ෂාව සැපයීමට ආණ්ඩුව අසමත් ය.

අරගලය අවස්ථාවේදී වාමාංශික නීතිඥවරයකු ප්‍රසිද්ධියේ උසස් පොලිස් නිලධාරීන්ගේ නිවෙස් තිබෙන තැන් ඔවුන් දන්නා බව කියමින් සිදු කළ තර්ජනය ඔබට මතක ද? නීතිඥ අලි සබ්‍රිගේ චේම්බරයේ සිට රැකවරණය ලබමින් මේ වාමාංශිකයාට එම තර්ජනය කිරීමට අනුප්‍රාණය ලැබුණේ 1993 නිෂ්පාදිත In the Name of the Father චිත්‍රපටයෙන් යැයි මම සිතමි. ලංකාවේ වාමාංශික කල්ලි මෙම චිත්‍රපටය පිළිබඳ සාකච්ඡා කරන විට බන්ධනාගාරය තුළ පවතින නිලධාරීන්ගේ වධහිංසනය මැඩ පැවැත්වීම සඳහා අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාවේ සිරකරුවකු වධහිංසනය කරන නිලධාරීන්ට කරන තර්ජනය මහත් අභිරුචියෙන් යුතුව උපුටා දක්වයි. එම සිරකරුවා කියන්නේ ද අදාළ නිලධාරියාගේ අසවල් තැන ඇති නිවස සහ එහි වෙසෙන අය පිළිබඳ සියලු තොරතුරු තම සංවිධානය දන්නා බවයි. ඒ සමග ම නිලධාරියා මෙල්ල වේ. වධහිංසනය ද අඩු වේ. මේ මෝඩ නීතිඥවරයා තමන් චිත්‍රපටයක නළුවකු යැයි සිතා ගොන් කතාවක් කී මුත්, අපට එයින් ඉගෙන ගත හැකි පාඩමක් ඇත. ඔය වාමාංශික චිත්‍රපටය බලා නැති වුව ද, අපරාධ කල්ලි නායකයන් ඔය පාඩම ඉගෙන ගෙන ඇත්තේ වාමාංශිකයන්ට කලිනි.

කවුරු කැමති වුවත්, නැතත්, බන්ධනාගාරවල කලින් පැවති බල තුලනය නැවත ස්ථාපිත කර ගැනීම හැර වෙනත් ක්ෂණික විසඳුමක් නැත. ආණ්ඩුව අසමත් වන තරම් පාතාල නායකයන් අසමත් වනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකිය.

සිරකරුවන් ඝාතනයට පක්ෂපාතීව සමාජ මාධ්‍යවල කැම්පේන් කරන ජවිපෙ ක්‍රියාකාරිකයන් ද ගැඹුරින් සිතන්න. අප සෑම දෙනෙකු ම පහසුවෙන් සිරකරුවන් බවට පත් විය හැකිය. එපමණක් නො ව, රට තුළ ගොඩ නැගෙමින් ඇති දරුණු අරාජිකත්වය තුළ කිසිවකු ආරක්ෂිත නැත.

දැන් සිරකරුවන් ඝාතනය අනුමත කරන අයට බන්ධනාගාර නිලධාරීන්ට පාතාලයෙන් ආරක්ෂාව දීමට ද වගකීමක් ඇති බව මතක තබා ගන්න. එසේ ම, දැන් සිරකරුවන් ඝාතනය අනුමත කරන ආණ්ඩුවට කඩේ යන අය ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් සදාකාලික වී නැති බව ද, ආණ්ඩු පෙරළුණු කාලයක තමන් සිරකරුවන් විය හැකි බව ද මතක තබා ගන්න. දුක සැප නිති පෙරළේ – රිය සක ලෙස ලෝකේ.

බන්ධනාගාරවල තත්වය උසස් කිරීම වෙනුවෙන් හා සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අප උද්දේශනය කළ යුත්තේ අන් කිසිවක් නිසා නො ව, අප ද සිරකරුවන් නිසාය.

“අප කිසිවෙකුට බන්ධනාගාරයෙන් ගැලවිය හැකි බව සහතික කළ නො හැකිය. අද දවසේදී ඊට ඇති ඉඩකඩ අන් කවරදාටත් වඩා අඩුය.”

  • 1971 වසරේදී මිෂෙල් ෆූකෝ සම-කර්තෘත්වය දැරූ බන්ධනාගාර තොරතුරු සමූහයේ (Groupe d’Information sur les Prisons) ප්‍රකාශනය

“None of us is sure to escape prison. Today less than ever.” -⁠ Michel Foucault co-authored Manifesto of the Groupe d’Information sur les Prisons (Prisons Information Group), 1971.

Arunodakaruwo novel by Ajith Perakum Jayasinghe
2022 මැයි 9 අරගලය දවස්වල වෙච්ච මරණයක්. ආනන්ද බඹරැන්ද මන්ත්‍රීවරයා මරාදැමුවේ කවුරුද? ආරණ්‍යා බඹරැන්දට ඝාතකයා සොයාගන්නට පුළුවන් වෙයිද? මාක් ට්වේන් කවුරුද? #dawnbreakersට මොකක්ද වුණේ? කියවා දැනගන්න. පොත ගෙදරටම ගෙන්වා ගන්න අමතන්න: 077 1734470

Leave a Reply

Your email address will not be published. Required fields are marked *