A team of social innovators from University of Ruhuna

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ ජනතාව අතර ව්‍යවසායකත්වය කෙරෙහි තිබෙන නැඹුරුව ප්‍රමාණවත් නැහැ. පිරිමින් අතර ව්‍යවසායකයන් ප්‍ර‍තිශතය 4%ක් පමණ වෙනවා. කාන්තාවන් අතර නම් එය 1%කටත් අඩුයි. සමස්ත ජනගහනයෙන් 3%ක් පමණයි, ව්‍යවසායක් ලෙස හඳුන්වන්නට පුළුවන් ව්‍යාපාරයක නියැලී සිටින්නේ. මෙය ආසියානු කලාපයේ තායිලන්තය වැනි රටක් සමග සන්සන්දනය කළ විට ඉතා පහත් මට්ටමක්. තායිලන්තයේ ජනගහනයෙන් 30%ක් පමණ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බව වාර්තා වෙනවා. අලුත්, උගත් තරුණ පරපුර ව්‍යවසායකයන් බවට පත් වීම ලංකාවේ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යයි. ත්‍රිරෝද රියක්, ටැක්සියක් පාරට දැමීමට වඩා නිර්මාණාත්මක ව්‍යවසායන් එහිදී ඉතා වැදගත්.

Sinhala Tamil English Translations and Content Writing

ව්‍යවසායකත්වය ලංකාවේ සංවර්ධන ගැටලුවක්. ඇයි අප ව්‍යවසායකත්වයට අකැමැති? ව්‍යවසායකයකු ය කියන්නේ ලාභය වෙනුවෙන් මුල්‍ය අවදානම් ගනිමින් ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යන්නෙක්. ලාභ ලැබීම වැරදි ක්‍රියාවක් ද? ලාභය සාධාරණ ලාභ හා අසාධාරණ ලාභ ලෙස වර්ගීකරණය කරන්නට පුළුවන්. ලාභය අසාධාරණ ලාභයක් නොවන පරිදි නියාමනය කරන්නට රජයකට පුළුවන්. බදු, මිළ පාලනය වැනි පියවර ඔස්සේ එසේ කරන්නට පුළුවන්. කුමන අන්දමක ලාභයක් වුවත්, පරිභෝජනය නිසා නැවත සමාජය වෙත සංසරණය වෙනවා. ඉහළ පෙළෙ හෝටලයකින් කෑම කන ධනපතියෙකු ඒ හෝටලයේ සේවයේ රැකියාවල නියුතු අයගේ වැටුපට දායක වෙනවා. එක් රැස් කරගන්නා ලාභය නැවත ආයෝජන බවට පත් වෙනවා. හැබැයි, ධනවාදයට විෂමතා නැති කිරීමේ හැකියාව අඩුයි. සමාජයේ සුළු පිරිසක් විශාල දේපල ප්‍රමාණයක හිමිකරුවන් බවට පත් වෙනවා. අති බහුතරයකට හිමි වන්නේ දේපලවලින් සුළු ප්‍රමාණයක්. හැබැයි, කොයි තරම් හිමි කරගත්තත්, පුද්ගලයකුට පරිභෝජනය කරන්නට තිබෙන හැකියාවේ සීමාවක් තිබෙනවා. ඒ වුණත්, හිමිකාරිත්වය නිසා විශාල බලයක් ලැබෙනවා. බලය පරිභෝජනයට වඩා ප්‍රබලයි. බලය ඇති අයට කළ හැකි දේවල සීමාවක් නැහැ.

කෙසේ වෙතත්, අප මෙම ලිපියේ අවධානය යොමු කරන්නේ ලංකාවේ තිබෙන සමාජ ගැටලුවක් දෙසයි. රජය පැත්තෙන් ගත්තත් තරුණයන්ට වැඩි පෙළඹවීමක් ඇති කරන්නේ ව්‍යවසායකත්වයට නොවෙයි, රැකියා කිරීමටයි. රැකියා කරන අයට වඩා බෙහෙවින් අඩු ආදායමකදීත් කුඩා ව්‍යාපාර කරන අය රජයට බදු ගෙවිය යුතු තත්වයක් ඇති කර තිබෙන්නේ ඒ නිසායි. රැකියා පැත්තෙන් ගත්තත්, බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ රජයේ රැකියාවලට. පෞද්ගලික අංශයේ රැකියාවලින් වැඩි වැටුපක් ලැබෙද්දීත්, ඒවායේ වැඩි ශ්‍රම ඵලදායිතාවකට ඉඩ ලැබෙද්දීත්, බොහෝ උගත් තරුණයන් රජයේ රැකියා සොයා යන ආකාරය දැකිය හැකියි.

ලංකාවේ තරුණයන් නවෝත්පාදන එළිදැක්වීමට උනන්දුවක් දක්වනවා. මෙවැනි නවෝත්පාදකයන් පිළිබඳ නිරතුරුව ම ජනමාධ්‍යවල වාර්තා වෙනවා. නවෝත්පාදන තරග ආදිය නිරතුරුව ම පැවැත්වෙනවා. එහෙත්, ගැටලුවක් තිබෙනවා. මේ නවෝත්පාදනවලට සිදු වන්නේ කුමක් ද? ඇතැම් ඒවා වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර පවා ලබා ගන්නවා. එහෙත්, නිෂ්පාදන ලෙස වෙළඳපොළට පැමිණෙන්නේ නව නිර්මාණ කීයෙන් කීය ද? එයට හේතුව කුමක් ද?

නවෝත්පාදන තරග පැවැත්වූ පළියට නවෝත්පාදක ව්‍යවසායකයන් බිහි වන්නේ නැති බව පැහැදිලියි. නවෝත්පාදක තරුණයන් කිසියම් උගුලක හසු කිරීමක් ද මේ තරගවලින් සිදු වෙනවා. තරග ජයග්‍රහණ පසුපස හඹා යාම හා ඒ ඔස්සේ වැඩිදුර පුහුණු අවස්ථා, විදේශ චාරිකා ආදිය පසුපස හඹා යාමත්, ඉන් අනතුරුව ව්‍යවසායකත්වය පැත්තක දමා රජයේ හෝ රාජ්‍ය නොවන අංශයේ රැකියා වෙත යොමු වීමත් සුලබව දැකිය හැකියි.

තරුණ සමාජ නවෝත්පාදක ව්‍යවසායකයන්ගේ වැඩමුළුවක් සමග දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව මාස කීපයකට ඉහතදී මට ලැබුණා. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍ර‍හයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ජාතික තරුණ සේවා සභාව සමග එක්ව සංවිධානය කර තිබුණු මෙම වැඩසටහනට විශේෂඥ දායකත්වය හා පහසුකාරකත්වය සැපයුවේ මැලේසියානු ගෝලීය නවෝත්පාදන හා නිර්මාණ මධ්‍යස්ථානය නම් ආයතනයයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධ තේමාත්මක විශේෂඥ දායකත්වය සැපයුවා. 

මානව කේන්ද්‍රීය සැලසුම් ක්‍රියාවලිය සමාජ නවෝත්පාදනයේදී ඉතා වැදගත්. මානව කේන්ද්‍රීය සැලසුම් ක්‍රියාවලිය කියන්නේ නවෝත්පාදනය අවශ්‍ය වන ගැටලුව සම්බන්ධයෙන් නිර්මාණකරුවා සහකම්පනයෙන් යුක්ත වීම සහ විසඳුම නැවත නැවත අත්හදා බැලීම මත පදනම් වූ ගැටලු විසඳීමේ ක්‍රියාවලියකටයි. මෙහිදී සමාජයෙන් ලබාගන්නා ප්‍රතිපෝෂණය ඉතා වැදගත්. විවිධ පසුබිම්වලින් එන ජනයා සහ විසඳුම් යෝජනාවලිය අතර බැඳීම් ඇති කිරීම සඳහා සහ අදහස් ක්‍රියාකාරකම් බවට පත් කිරීම සඳහා ද මානව කේන්ද්‍රීය සැලසුම් ක්‍රියාවලිය ඉවහල් වෙනවා. එහි පියවර මෙසේයි:

රාමුගත කිරීම (framing): පිළිතුරු සොයාගත යුතු හා ජනතාව සම්බන්ධ කර ගත යුතු ප්‍ර‍ශ්නය අර්ථ නිරූපණය කරගැනීම

පර්යේෂණ (research): නවෝත්පාදකයා තම අවශ්‍යතා සහ වටිනාකම් පිළිබඳව ජනතාවගෙන් ඉගෙනීම

සංස්ලේෂණය (synthesis): විසඳුමක් නිර්මාණය කරගැනීම හා සම්බන්ධ වන රටා සහ අවස්ථා ඇති කලාප සොයාගැනීම

සංකල්පගත කිරීම (concepting): අලුත් අදහස් රැසක් නිර්මාණය කරගැනීම

ප්‍ර‍තිරූපක සැකසීම (prototyping): ප්‍රායෝගික ආදර්ශන සැකසීම හා ඒවා ක්‍රියාත්මක කර ප්‍ර‍තිපෝෂණය ලබාගැනීම. එසේ ලබා ගන්නා ප්‍රතිපෝෂණය ඇසුරෙන් වඩා දියුණු ප්‍රතිරූපක සකසා අත්හදා බැලීම

සමාජ නවෝත්පාදනයේදී පළමුව ප්‍ර‍ශ්නය පිළිබඳ ගැඹුරු සහකම්පනයක් ඇති කරගැනීම වැදගත්. සහකම්පනය යනු ප්‍ර‍ශ්නයට මුහුණ දෙන අය එය විඳින ආකාරය පිළිබඳ ඇති කරගන්නා ගැඹුරු අවබෝධයයි. එහිදී ප්‍ර‍ශ්නය හා අභියෝග පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගත යුතුයි. විසඳා ගත යුතු ප්‍ර‍ශ්නය පැහැදිලිව විග්‍ර‍හ කරගෙන වචනගත කරගත යුතුයි. ලබා දිය හැකි විසඳුම් පිළිබඳ ගැඹුරු සාකච්ඡා අවශ්‍යයි. විසඳුමක් තෝරාගත හැක්කේ සහ එය සංවර්ධනය කරගත හැක්කේ එමගිනුයි. ඊළඟට විසඳුම මුළුමනින් ම හෝ කොටස් වශයෙන් පරීක්ෂා කිරීම සඳහා ආදර්ශනයක් හෙවත් ප්‍ර‍තිරූපකයක් සකසා භාවිතා කර බැලිය යුතුයි. ක්‍රියාත්මක කරමින්, පරීක්ෂා කරමින්, සංවර්ධනය කරමින් කෙටි කාල චක්‍ර‍යන් තුළ දිගින් දිගට ම මෙම විසඳුම සංවර්ධනය කර ගත යුතුයි. 

කෙසේ වෙතත් විසඳුමක් තිරසර ලෙස ක්‍රියාත්මක කිරීමට නම් එය ව්‍යාපාරික වශයෙන් සාර්ථක විය යුතුයි. සමාජ නවෝත්පාදක අදහස් බොහොමයක් අසාර්ථක වන්නේ ඒවා තිරසරව ක්‍රියාත්මක කිරීමේදී අසමත් වීම නිසායි. සමාජ නවෝත්පාදකයන්ට හැම විට ම තම සමාජ ව්‍යවසායන්ට අනුග්‍ර‍හය සම්බන්ධයෙන් රජය ගැන විශ්වාසය තබා කටයුතු කළ නොහැකියි. ව්‍යාපාරික ආදර්ශකයක් සැකසීම වැදගත් වන්නේ එතැනදීයි. නවෝත්පාදක අදහස් ව්‍යාපාරික ලෝකයක් තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවා ගන්නේ කෙසේදැයි තේරුම් ගන්නට එයින් අවස්ථාව ලැබෙනවා.  

අපේ තරුණයන්ට අලුත් සමාජ නවෝත්පාදන අදහස් තිබෙනවා. එහෙත්, හැම අදහසක් ම යථාර්ථයක් වෙන්නෙ නැහැ. අදහසක් ඇත්ත ව්‍යාපෘතියක් බවට පත් කරගන්නට නම් එය ලෝකයට විවෘත කර, බාහිර ලෝකයෙන් ලැබෙන ප්‍ර‍තිපෝෂණයෙන් සංවර්ධනය කරගත යුතුයි. එය කෙසේ කරන්නේ ද යන්න ඉගෙන ගැනීම ඉතා වැදගත්. මනස යනු පැරෂූටයක් වැනි දෙයක්. එය ක්‍රියාත්මක වන්නේ එය විවෘත වූ විටයි.

කෙසේ වෙතත්, අවසානයේදී නවෝත්පාදන ලෝකයා වෙත සමීප වන්නේ මුල්‍ය අවදානම් සහිත ව්‍යවසායකට අතගැසීමේ එඩිතරකම හා කුසලතා නවෝත්පාදකයාට තිබේ නම් පමණයි. අපට හුරුපුරුදු නවෝත්පාදන සාර්ථකත්වයේ කතා වන ඇපල්, ෆේස්බුක්, අලිබබා ආදී කොයි දේ පසුපස වුණත් ඉන්නේ සාර්ථක ව්‍යවසායකයෙක්. ලංකාවටත් ඉදිරියට යන්නට නම් එවැනි ව්‍යවසායකයන් අවශ්‍යයි. ඔවුන්ට පුහුණුව, ණය, දිරිගැන්වීම් ආදිය අවශ්‍යයි.

මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න: සුවිසල් ජංගම ග්‍රහලෝකාගාරයක් හැදූ තරංගගේ කතාව හා ලාංකික තරුණයන්ගේ පොදු කතාව >>>

(කවරයේ ඡායාරූපය රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ නවෝත්පාදක කණ්ඩායමක්. ඡායාරූපය UNFPA)

2019 පෙබරවාරි 17 දින ලංකා පුවත්පතෙහි පළ විය. මෙම ලිපියෙහි ඇතැම් කරුණු මීට පෙර ලේඛකයා විසින් www.ivoice.lk වෙබ් අඩවියට ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලද බව කරුණාවෙන් සලකන්න.

අරුත්බර, රසවත් තොරතුරු නිරතුරු දැනගන්න අපේ සමාජ මාධ්‍ය පිටු එක්ක එක් වන්න.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.