මිනිස් ශරීරයට නැතුවම බැරි අයඩින් මිශ්‍ර ලුණු නිසා පොල් පැළ මැරෙන හැටි

නිශාන් පෙරේරා, පානදුර (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේදී සංවර්ධනය කරන ලද ලිපියකි)

ලංකාවෙ අපට පොල් කිරි යෙදූ ව්‍යංජන නැතුව බැහැ. ඒ වුණත්, කාලෙකට පොල් මිළ නිසා අපට එලොව පොල් පෙනෙනවා. ඒ කාලෙට හිතෙනවා වත්තෙන් පොල් කඩාගන්නට පුළුවන් නම් කොච්චර හොඳ ද කියලා. හැබැයි, දැන් අප වැඩිදෙනෙකුට ලොකු ගෙවතු නැහැ. ඒත්, දැන් තිබෙන දෙමුහුන්, වැඩිදියුණු කළ පොල් වර්ගයක ගහක් පර්චස් කීපයක කුඩා ගෙවත්තක වුණත් වගා කරගන්නට බැරිකමකුත් නැහැ. හොඳුන් සාත්තු කර, පොහොර යෙදුවොත් හොඳ ඵලදාවකුත් ගන්නට පුළුවන්. වත්තත් ලස්සනයි. සෙවණයි. සිසිලයි. ඒ නිසා පොල් පැළයක් වත්තක සිටුවාගන්න.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

“මේ එදා ගෙනාපු පොල් පැළේ නේද? මොකෝ මේ මැරෙන්න ගිහිල්ලා වගේ

“අනේ දන්නෑ. මම පොහොර එහෙමත් දාලා හිටෙව්වේ. පොහොර වැඩිවුනාද මංදා. හිටවන්න ඉස්සෙල්ලා ලුණුත් දැම්මා.”

“ලුණු? මොන ලුණු ද දැම්මේ?”

“ආයේ ඕකට කියලා අමුතුවෙන් ලුණු ගෙනාවේ නෑ ඔය ගෙදර කෑමට ගේන ලුණු දැම්මේ.”

“ඒ කියන්නේ අයඩීන් දාපු ලුණු?  ඒක තමයි ප්‍රශ්නෙ”

නාගරික කුඩා ගෙවත්තක වුවත් පහසුවෙන් වගා කළ හැකි අවුරුදු තුන හතරකින් ඵල දරන දෙමුහුම් පොල් විශේෂ තිබේ. කුන්දිරා උස දෙමුහුම් ප්‍රභේදය (සී.ආර්.අයි.සී.65) වැනි පොල් පැළ ගෙවත්තට අළංකාරයකුත් එක් කරයි. මේ දෙමුහුම් පොල් පැළ පොල් වගාකිරීමේ මණ්ඩලයේ තවාන්වලින් මිළ දී ගත හැකිය. පොල් පැළයක් පැළ කිරීමේදී වැඩි අවධානයක් යොමු නොකරන කරුණක් ගැනයි මේ සටහන .

පොල් පැළයක් පැළකීරීමට පෙර පසට ලුණු එකතු කලයුතුයි. ඒ පොල් පැළය සාර්ථකව වැඩීමට  පසේ ලවණ ගතිය අවශ්‍ය නිසයි. ඉස්සර කෑමට ගන්නා සාමාන්‍ය ලුණු ඒ සඳහා භාවිතා කළත්, දැන් වෙළඳපොලේ ඇති අයඩීන් මිශ්‍රකල ලුණු පොල් පැළවලට යෙදීමට සුදුසු වන්නේ නැහැ. පොල් පැළයට ලුණුවල ඇති අයඩීන් අහිතකර ලෙස බලපෑම ඊට හේතුවයි. කොළ කහපැහැවීම , මළානික වීම, වර්ධනය බාලවීම වගේම ඇතැම් විට පොල් පැළය මැරීයාම පවා ඒ නිසා සිදුවෙන්න පුළුවන්. වැඩුණු පොල් ගස්වලටත් අයඩීන් මිශ්‍ර ලුණු අහිත කරයි. ඵලදාව නැති වීම, අතු පහළට කඩා වැටීම වගේ නොයෙකුත් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකියි.


පොල් වගාවට යෙදීමට සුදුසු ලුණු මොනවාද?

අප මේ පිළිබඳව ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටලුවලට ක්ෂණික උපදෙස් ලබාදීම වෙනුවෙන් ඇති කෘෂි උපදේශන සේවාවේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ තාක්ෂණික නිලධාරිනියකගෙන් විමසීමක් කළා. ඇය ප්‍රකාශකර සිටියේ පොල් පැළයකට පැළකරන මුල් අවස්ථාවේදී, වැඩෙන අවස්ථාවේදී අයඩීන් මිශ්‍ර කෑමට ගන්නා සාමාන්‍ය ලුණු යෙදීම නුසුදුසු බවය. ඇය සඳහන් කල ආකාරයට පොල් පැළ සඳහා යෙදීමට නිර්දේශ කරනුයේ අයඩීන් අඩංගු නොවන කැට ලුණු  හෝ මඩ ලුණු ය. මේවා පොහොර අලෙවිසැල්වලින් හා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ඇති අලවිසැල් වලින් ලබා ගැනීමට හැකිය. යෙදිය යුතු මාත්‍රාව වන්නේ පැළකරන අවස්ථාවේදී එක් පැළයකට ලුණු කිලෝ එකකි.

මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ඕනෑම දුරකථනයකින් කෘෂි උපදේශන සේවාවේ 1920 කෙටි දුරකතන අංකයට ඇමතීමෙන් ලබා ගැනීමට පුළුවන.

අපත් එක්ක එකතු වන්න පහත බොත්තම ඔබා ලයික් කරන්න.