Mother suffering from malnutrition

නිසි රිසි අහර නැති – මෙහි ළදරුවෝ මිය යති

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ, විජයපුර, ගෝනගමුවේ මාස 11ක් වයස දරුවකු මන්දපෝෂණයෙන් මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර‍ මහතා පවසයි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

මෙම පුවත වාර්තා කළ දෙරණ මාධ්‍යකරුවාගේ කැමරාවේ සටහන් වී තිබෙන ආකාරයට මෙම පවුල ඉතා දිළිඳු බව පැහැදිලි ය. එම දරුවාගේ මව ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පෙනේ.

ජාතිය වෙනුවෙන් දරුවන් හැදිය යුතු කතාවක් මෙම පියා කියා තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ජාතිය ගොඩනගන්නට දරුවන් වැඩි වැඩියෙන් හදන්නැයි මිනිසුන්ට කියන ජාතිවාදීන්ට මෙම සිංහල සිව් දරු පවුල නොපෙනුණේත්, ඔවුන්ට කිසිදු උපකාරයක් නොකළේත් ඇයි?

දේශපාලකයන්ට රු. කෝටි හතර පහ වටිනා වාහන මිළ දී ගන්නට අතුරු සම්මත ගිනුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ ද මෙම දරුවා සාගින්නෙන් මිය ගිය පුවත මාධ්‍යවල වාර්තා වූ දිනවල ම ය. දරුවා මියගොස් තිබෙන්නේ පසුගිය මැයි 14දා ය.

එමෙන්ම, මෙම දරුවා මන්දපෝෂණයෙන් මිය යනතුරු එම දරුවා සම්බන්ධයෙන් ඍජුව ම වගකිව යුතු පවුල් සෞඛ්‍ය නිලධාරිනිය, ඇගේ සුපරීක්ෂකවරිය, පවුල් සෞඛ්‍ය හෙද සොහොයුරිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හා ඔහු යටතේ සිටින සෙසු නිලධාරීන්, රෝහල් කාර්යමණ්ඩල, ග්‍රාමසේවා නිලධාරිවරයා, සමාජ සේවා නිලධාරි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින විශාල ගණනක් නිලධාරීන් ද ප්‍රදේශයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා ලෝක සෞඛ්‍ය සංවිධානය ද කළේ කුමක් ද යන්න ප්‍ර‍ශ්නයකි.

ලංකාවේ දිළිඳුකම නැතිකිරීම, මාතෘ සෞඛ්‍යය, ළමා රැකවරණය, පවුල් සැලසුම් කිරීම හා වෙනත් සංවර්ධන ගැටලු වෙනුවෙන් ක්‍රියා කරන බව කියන ජාත්‍යන්තර සංවිධානවල, රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවල උත්සවවලදී සුපිරි හෝටල්වල රස ආහාර නිතිපතා කුණු බක්කිවලට වැටෙන රටක දරුවකු මන්දපෝෂණයෙන් මිය යාම කොයි තරම් අපරාධයක් ද?

මෙම මරණය සම්බන්ධයෙන් මෙම මව හා පියා ද වැරදිකරුවෝ ය. දරුවන් හැදීම කළ යුත්තේ දරුවන්ට අවශ්‍ය පෝෂණය හා රැකවරණය සැපයීමට තමන්ට තිබෙන හැකියාව අනුව ය. මෝඩකම අයිතිවාසිකමක් නොවේ. උපත් පාලන ක්‍ර‍ම භාවිතා කරමින් තමන්ට අවශ්‍ය කලට, අවශ්‍ය ප්‍ර‍මාණයට, තමන්ගේ හැකියාව අනුව දරුවන් හැදිය යුතු ය. රජයෙන් නොමිළේ දෙන ත්‍රිපෝෂ ටික රැගෙන එන්නට හෝ මේ මව ගොස් නැත. රජයෙන් සපයන පෝෂණ මල්ල ලබාගැනීමට අවශ්‍ය අයදුම්පත පුරවා දීමට හෝ මෙම මව්පියන් උනන්දු වී නැත. මෙම පවුලට නිවසක් තනාගැනීම සඳහා රජයෙන් රු. ලක්ෂ පහක් ලබා දී තිබෙන මුත් ඔවුන් කර තිබෙන්නේ අත්තිවාරම දැමීම පමණි. මෙහි තිබෙන්නේ ඉතා පැහැදිලි නොසැලකිල්ලකි. මේ ගමේ අසල්වැසියන් දන්නවා නම් මේ දරුවාට අහර ටිකක් දෙන්නට ඉදිරිපත් නොවී ඉන්නේ නැත.

නූගත් දිළිඳු පවුල්වලට පවුල් සැලසුම වැනි කාරණා සම්බන්ධ දැනුම ලබාදීම ගැන වගකිව යුතු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මූලික වශයෙන් මෙම අවාසනාවන්ත තත්වයෙහි වගකීම භාරගත යුතු ය. රටක් ලෙස අප යමින් සිටින්නේ කොතැනට ද?

සාගින්නේ දරුවන් මිය යන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුවන් යානා නොඑන ගුවන් තොටුපළක් ද, එතරම් නැවි නොඑන වරායක් ද, රැස්වීම් නැති ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවක් ද, එතරම් වාහන ධාවනය නොවන දැවැන්ත මහාමාර්ග ද, දිස්ත්‍රික්කය ආසන්නයේ ක්‍රිකට් තරග නැති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ද කලින් පැවති ආණ්ඩුව විසින් ඉදි කර තිබේ. ඒ වෙනුවෙන් මේ මිය ගිය දරුවා පවා ණය වී තිබිණි. ඔහු දැන් නිදහස් ය.

නිසි රිසි අහර නැති
මෙහි ළදරුවෝ මියයති
හිමි සඳුනි සැදැහැති
දනෝ බෝ ගස්‌ කිරෙන් නහවති
– වීදාගම මෛත්‍රී හිමි