dead body

අජිත් පැරකුම් ජයසිංහ

“මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ. ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න. මගේ අධ්‍යාපන කටයුතු විනාශ කරන්න එපා.”

මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවිය පිහියෙන් ඇන මරා දමන ලද සමන් නමැති සිසුවා ලියූ ලිපියකය. එම ඝාතනයෙන් පසු සමන්ගේ ද අභිප්‍රාය වූයේ සියදිවි නසාගැනීම බව ඔහු ලියූ තවත් ලිපියකින් හෙළිදරව් විය.

එහෙත්, ඔහු සියදිවි නසාගත්තේ නැත. ඇප ලැබුණු පසු අනවසරයෙන් විදේශගත වූයේය.

සමන් නොමැතිව මිනීමැරුම් නඩුව විභාග වූ අතර වරදකරු වූ සමන්ට මරණ දඬුවම නියම විය. අභියාචනාධිකරණයෙන් ද එම දඬුවම තහවුරු විය. දඬුවමට ලක් නොවී සමන් කොහේ හෝ රටක හොඳින් ජීවත් වනවා විය හැකිය.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියක ඊයේ කොළඹ තුරග තරග පිටියේදී ඝාතනයට ලක්වූවාය. ඇගේ පෙම්වතා බව කියන එම පිඨයේම සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උගත්, බලවත් වැරදිකරුවන්ට වෙනත් වැරදිකරුවන්ට නොමැති විශේෂ සමාවන් ශ්‍රී ලංකාව විසින් ප්‍රදානය කර තිබේ. 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙල සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම ලද ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 වසරේදී දෙවන ජනාධිපති සමාව යටතේ සම්පූරණයෙන්ම නිදහස් කරන ලද අතර අතුරලියේ රතන නම් දේශපාලන භික්ෂුවගේ මැදිහත්වීමකින් සිදුවූ මෙම ක්‍රියාව දැන් අධිකරණය හමුවේ විභාග වෙයි. සමාව ලද වැරදිකරු ද වහා රටින් පිටවී ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍ර‍චණ්ඩත්වය හා සම්බන්ධ බව ද, එවැනි සිදුවීම්වලින් 69%ක් ම නිසි පරිදි වාර්තා වන්නේ නැති බව ද ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ (වැළැක්වීම හා යුක්තිය ඉටු කිරීම)’ සම්බන්ධ ප්‍ර‍තිපත්ති සාරාංශයෙහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම අධ්‍යයනය විසින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍ර‍ධාන ම හේතුව ශාරීරික හිංසනයන් බවයි.

අධ්‍යයනය කරන ලද පළාත් පහක කාන්තා මිනීමැරුම් 243කින් 128ක ම අපරාධකරුවා නීත්‍යානුකූල සැමියා ය. ත්‍රෛවාර්ෂික අධ්‍යයනය අවසානයේ සොයා ගත් කරුණක් වන්නේ, අධිකරණ ක්‍රියාවලිය මහාධිකරණය දක්වා ඉදිරියට ගියේ මිනීමැරුම්වලින් 30%ක් සම්බන්ධයෙන් පමණක් බවයි. ඒ සඳහා ගත විය යුතු සාමාන්‍ය කාලය නඩුව ගොනු කළ දින සිට අවුරුදු තුනකි.

1 thought on “විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි

  1. එයා වෙන කෙනෙක් ළඟට යාවි කියා මට බය හිතුණා. මං කියපු දේවල් එයා ඇහුවේ නෑ. ඒ නිසා මට කරන්න දෙයක් තිබ්බේ නෑ”. මේ පෙම්වතා පොලිසිය හමුවේ කළ පාපෝච්චාරණයෙහි උපුටනයකි. අපට වඩාත් වැදගත් වන්නේ පෙම්වතාගේ මේ වදන් තුළින් මතුවන සමාජ ඛේදවාචකයයි. එනම් මේ දෙදෙනාම ජීවිතයේ ප්‍රමුඛ පරමාර්ථ වරද්දාගෙන ඇති බවය. ප්‍රේම සම්බන්ධතාවලදී අනේ‍යාන්‍ය අවබෝධය වැදගත් නමුත් මේ දෙදෙනා අතරෙහි එවැන්නක් සිදුවී නැති බැව් පෙනෙයි. දෙදෙනාම උසස් අධ්‍යාපන පරමාර්ථ වුවද, නිසි පරිදි වටහාගෙන තිබී නැත. ජීවත්වීම යනු හුදු ප්‍රේමය පමණක්ද? ජීවත්වීමේදී අප එකිනෙකා සාධනය කරගත යුතු අරමුණු කොතෙක්ද? සරසවි වරම් ලබා උසස් අධ්‍යාපනය ලබන්නට දෙදෙනාම භාග්‍යය හිමිකරගෙන ඇතත් ජීවිත පරමාර්ථ සම්බන්ධව මේ දෙදෙනාගේම අනවබෝධය ඛේදනීය අවසානයකට මඟ සකසා තිබේ. මෙය වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින බලවත් හිඩැසකි. මෙබඳු සිදුවීම් ආශ්‍රිතව අප අවබෝධ කරගත යුතුව ඇත්තේ අභියෝග ජය ගැනීමට බොහෝ විකල්ප මාර්ග ඇති බව නොවේද?

    බුද්ධිමත්භාවය යනු අධ්‍යාපනය පමණක්ද? අධ්‍යාපනයෙන් පමණක් ආධ්‍යාත්මික සංවර්ධනය සිදුවෙයිද? මේවා අප වහා සාකච්ඡා කළ යුතු, විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයි. නීතියෙන් දඬුවමෙන් පමණක්ම මෙබඳු ප්‍රශ්න ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකිය. ඉටුවිය යුතු තවත් බොහෝ කාරණා තිබේ. තුරඟ තරග පිටියේ ඛේදවාචකය මේ රටේ කාගෙ කාගේත් අවධානයට ලක්විය යුත්තකි. හෙට දවසේ රට තරුණයන්ට භාර දෙන්නට කටයුතු කළ යුතු වන්නේ මේ ගැටලුව වහා විස¼දාගෙනය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: