memorialization

සාමය වෙනුවෙන් අනුස්මරණය

අජිත් පැරකුම් ජයසිංහ

සමූලඝාතනය (massacre) යනු අහිංසක, නිරායුධ සිවිල් වැසියන් හිතාමතා මරා දැමීමයි.

ජන සංහාරය (genocide) යන්නෙන් අදහස් කරන්නේ එම ජාතිය හෝ කණ්ඩායම විනාශ කිරීමේ අරමුණින් යම් ජාතියක හෝ ජනවාර්ගික කණ්ඩායමක විශාල පිරිසක් හිතාමතා මරා දැමීමයි.

ඝාතනය (killing) යනු ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු හෝ දේශපාලන චරිතයක් සාමාන්‍යයෙන් හදිසි හෝ රහසිගත ප්‍රහාරයකින්, බොහෝ විට දේශපාලන හේතූන් මත ඝාතනය කිරීමයි.

අනුස්මරණය (memorialization) එය කරන අයගේ සහ ශෝකයට පත් වූවන්ගේ විශ්වීය අවශ්‍යතාවයකි. එය මූලික මානව අයිතිවාසිකමක් ලෙස සැලකේ.

සංහිඳියාව (reconciliation) යනු ගැටුමක පාර්ශ්ව දෙකක් ගැටුමට හේතු වූ ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රතිසංස්කරණ සඳහා එකඟ වීමේ ක්‍රියාවලියයි.

පසුගිය මැයි 18 ලංකාවේ යුද්ධය අවසන් වීම අනුස්මරණය කරන ලදී. මෙහි අනුස්මරණය සිදුවන්නේ යුද්ධය නිසා මියගිය, තුවාල ලද, පීඩාවට පත් වූ පාර්ශ්ව වෙතිනි. යුද්ධය අවුරුදු 30ක් පැවති නිසා පීඩාවට පත් පාර්ශ්ව සංඛ්‍යාව අති විශාලය. ශ්‍රී ලංකා හමුදා, අතුරු හමුදා, දෙමළ ඊලාම් විමුක්ති කොටි, වෙනත් දෙමළ කැරැලිකාර කණ්ඩායම් යන ඒවායේ සිටි සටන්කරුවන්, ඒවා මෙහෙයවූ දේශපාලකයන් හා නිලධාරීන් සහ ඉහත කී පාර්ශ්ව අතින් මරණයට, හිංසනයට හා පීඩාවට පත්වූව සාමාන්‍ය ජනතාව සහ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් අනුස්මරණයෙහිදී ප්‍රධාන පාර්ශ්ව වෙති. ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුය. එය මානව අයිතිවාසිකමකි.

කෙසේ වෙතත්, මෙම මානව අයිතිවාසිකම භුක්ති විඳීමේදී එය සංහිඳියාවට හා සාමයට ඉවහල් වන පරිදි සිදුකළ යුතුය.

දෙමළ ජාතිවාදී දේශපාලනය විසින් මැයි 18 සැමරීමේදී ජන සංහාරය යන වචනය භාවිතා කරනු ලැබේ. එය අතිශයෝක්තියකි. යුද්ධයේදී සිංහල පාර්ශ්වය ලෙස සැලකිය හැකි රජයට එවැනි උවමනාවක් තිබූ බව යුද්ධයේ අවසානයෙන් පසු දේශපාලනය විසින් ප්‍රදර්ශනය කරන්නේ නැත.

එබැවින්, අනුස්මරණයන් සිදුකරන විට එය සංහාර අනුස්මරණයක් ලෙස සිදු නොකිරීමට වගබලාගත යුතුය. එසේ කිරීම සිංහල ජනතාව කුපිත කිරීමකි.

එසේම, රජය විසින් යුද ජයග්‍රහණය සැමරීම ද මතභේදාත්මකය. යුද්ධයෙන් පරාජිත වූ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යනු ලංකාවේ දෙමළ ජනයා අතරින් සැලකිය යුතු පිරිසක් තම විමුක්ති ව්‍යාපාරය ලෙස සලකන ලද ව්‍යාපාරයක් බව ද එහි පරාජය දෙමළ ජාතිය විසින් පසුබෑමක් ලෙස සැලකීමට ඉඩ තිබෙන බව ද අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම, යුද්ධයේ අවසානයෙන් පසුව, ඒ සම්බන්ධයෙන් මතුවන යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා විමර්ශනය කර නොමැති හා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් බලය බෙදීමේ විසඳුමක් සම්බන්ධයෙන් කටයුතු කර නොමැති සංදර්භයක් තුළ අතීත යුද මතකයන් නැවත අවධි කරමින් දෙමළ ජාතියේ සිත් පෑරීම නොකළ යුතු දෙයකි.

එසේම, සංහිඳියාවකට ළඟාවීමේදී බහුතරවාදී රජයක් හා මර්දනයට ලක්වූ සුළුතරයක් සමාන පාර්ශ්ව ලෙස සැලකිය නොහැකි බව ද අප මතක තබාගත යුතුය. බොහෝවිට මර්දනය සිදුකරනු ලබන්නේ විශාල බහුතර බලවේගයක් විසින් වන අතර එම බහුතරය විසින් අඩු වැඩි වශයෙන් රටේ සියලු බලවත් තනතුරු හොබවනු ලැබේ. ගැටුමේ දෙපාර්ශ්වයට සමාන ලෙස සැලකීමේ සාමාන්‍ය ප්‍රවේශය සාකච්ඡා මේසයට ගෙන ඒම මෙම සංදර්භය තුළදී ප්‍රායෝගික නැත. දීර්ඝ කාලීනව මර්දනයට ලක්වී අයිතිවාසිකම් අහිමිව ජීවත් වූ ප්‍රජාවක් සමග සාමය ගොඩනැගීමේදී ඇතැම්විට සුවිශේෂ වෙනස්කොට සැලකීම් පවා අවශ්‍ය වේ. ඒවා ධනාත්මක වෙනස්කොට සැලකීම් ලෙස සැලකේ.