Premalal Jayasekara addressing parliament after coming from the death row

චොකාමල්ලිලාට තියෙන, අනෙක් මල්ලිලාට නැති දේ: ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’

අජිත් පැරකුම් ජයසිංහ

2015 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කර තිබෙන ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අභියාචනාධිකරණය විසින් අවසර දී තිබේ.

Translations by Creative Content Consultants

අප මූලධර්මයක් ලෙස ම මරණීය දණ්ඩනයට විරුද්ධ අතර, මරණ දඬුවම නියම කරන ලද සියලු සිරකරුවන්ගේ දඬුවම සිර දඬුවම් බවට පත් කළ යුතු බව කියන්නෙමු.

අධිකරණය ප්‍රේමලාල් ජයසේකරට එසේ අවසර ලබාදුන්නේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජයසේකර විසින් අභියාචනාධිකරණයේ ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය. රීට් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන්නේ අතුරු නියෝගයකි.

අභියාචනාධිකරණයේ සභාපති ඒ.එච්.එම්.ඞී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල විසින් නිකුත් කරන ලද නියෝගය අනුව පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු අතුරු නියෝගය බලපැවැත්වේ.

මෙම නඩු විභාගයේදී ජයසේකර වෙනුවෙන්ද පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා විසින් තර්ක කරන ලද කාරණයක් වූයේ ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’යි.

වරදකරුවෙකු බව ඔප්පු වීමට පෙර සෑම කෙනෙකුටම ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’ අදාල විය යුතු ය යන විධිවිධානය ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ පදනම් මූලධර්මයක් ලෙස සැලකිය හැකි ය.

ප්‍රේමලාල් ජයසේකර මරණීය දණ්ඩනයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින්
‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’ මූලධර්මය අනුව ඔහු තවදුරටත් නිවැරදිකරුවකු බව ඔහුගේ පාර්ශ්වයේ තර්කයේ මූලධර්මයයි. ඒ පිළිබඳ තර්ක කිරීම හා නිගමනවලට එළැඹීම නීති විශාරදයන්ට භාර ය.

තවත් ප්‍රධාන නීතිමය හා මානව හිමිකම් මූලධර්මයක් වන්නේ ‘සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතියයි’.

අප මතු කරන කාරණය මෙයයි. චොකා මල්ලි වැනි නම් ඇති, චොකා මල්ලිලා මෙන් පාර්ලිමේන්තු යාමට හැකි මට්ටමට දේශපාලනය ගොඩනගා නොගත් මේ රටේ තවත් පිරිසකට මේ වන විට සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතියවත් නොලැබේ.

එය නොලැබෙන අය අතර මේ දිනවල වැඩි කතාබහට ලක්වන පිරිස පාතාල කල්ලි සාමාජිකයන් යයි කියන අයයි.

පොලිසිය නම් කියන්නේ ඔවුන් සැඟවූ ආයුධ ආදිය පෙන්නන්ට රැගෙන ගොස් සිටියදී පොලිසියට පහරදී පළායාමට උත්සාහ කිරීමේදී වෙඩිවැදීමෙන් මිය යන බවයි.

එහෙත්, එය එසේ නොවන බව ඊයේ උදෑසන ලක්හඬ ගුවන්විදුලියේ විකාශය වූ වැඩසටහනක් සාක්ෂි දරයි. හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන එම වැඩසටහනට සවන් දී තබන ලද ට්විටර් පණිවුඩයක් අනුව, යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී විග්නේශ්වරන් ද ආයුධ පෙන්නන්නට රැගෙන යා යුතු බව නිවේදකයා පවසා තිබේ. සුදර්ශන ගුණවර්ධන පවසන්නේ එයින් අදහස් කරන්නේ ඝාතනය බවයි.

ආයුධ පෙන්නන්නට රැගෙන යාම යනු පොලිසිය විසින් සැකකරුවන් මරාදැමීමට ගොතන බොරු කතාවක් බවට සමාජයේ පිළිගැනීමක් තිබේ.

ආයුධ පෙන්නන්නට රැගෙන ගොස් හෝ නැතුව හෝ මේ රටේ අතිවිශාල පිරිසක් 2005-2015 රාජපක්ෂ පාලනය තුළදී හා ඉන් පෙරත් අතුරුදහන් වූ හ. ඔවුන්ගේ ප්‍රශ්න තවමත් විසඳී නැත. සාධාරණ නඩු විභාග නැතුව දීර්ඝ කාලීන රිමාන්ඩ් භාරයේ සිටින පිරිස් මෙන්ම සාධාරණ නඩු විභාගයකින් තොරව පොලිසිය ලබාගත් පාපොච්චාරණ ආදිය මගින් සිරගත කරන ලද දේශපාලන සිරකරුවෝ ද විශාල පිරිසක් සිටිති.

චොකා මල්ලි වැනි බලවත් පුද්ගලයකුට හිමි වන ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’ පීඩිත පංතියේ අනෙකුත් මල්ලිලාට ද හිමි වන සමාජයක නීතියේ ආධිපත්‍යය තිබේ යයි සිතිය හැකි ය.

චොකා මල්ලිලා හා අනෙක් මල්ලිලා ශිෂ්ටයන් නොවන්නට පුළුවන. ඔවුන් ශිෂ්ට කිරීම සඳහා විශෝධන ක්‍රම අවශ්‍ය ය. ඔවුන් හැර සෙසු සමාජය ශිෂ්ට සමාජයක් නම් එහි ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’ හා ‘සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය’ වැනි මූලධර්ම ක්‍රියාත්මක විය යුතු ය.

Translations