Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ

කකුල් දෙකෙන් එල්ලලා, ඔලුව යටින් මිරිස් කුඩු පුච්චලා, නියපොතු ගලවලා, හම ගහලා කටඋත්තර ගනිද්දි ඒ සියල්ල විඳදරාගෙන කටඋත්තර දීම ප්‍රතික්ෂේප කරපු වීරයෙක් ගැන කියවන්න ආසාවෙන් ආවා නම් ආපහු යන්න. මේක එහෙම මයිල් කෙළින් වෙන කතාවක් නෙමෙයි. මං එහෙම වීරයෙක් නෙමෙයි.

1989 මැයි මාසෙ මාව හමුදාව විසින් අත්අඩංගුවට අරගෙන එළියකන්ද වධකාගාරයට අරන් යනකොට හදිසි නීතිය තිබුණෙ නැහැ. මාත් එක්ක අත්අඩංගුවට ගත් කණ්ඩායමේ රුහුණු විශ්වවිද්‍යාලෙ සමාජවාදී ශිෂ්‍ය සංගම් නායකයා වුණ තිස්සත් හිටියා. ඔහු නිදහස් කරන්නය කියලා ලොකු උද්ඝෝෂණයක් පැවැත්වුණ නිසා ඔහු නිදහස් කළා. ඔහු එළියට ගියාට පස්සෙ පක්ෂෙන් අනෙක් තුන්දෙනා වෙනුවෙන් හෙබයාස්කෝපුස් ගොනු කළා. ඒ අප අසවල් තැන රඳවා තබාගෙන ඉන්න නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නය කියලා.

ඒ අනුව අප මාතර පොලිසිය භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින බවට පවසා රැඳවුම් නියෝග ගත්තා. හැබැයි ඇත්තටම හිටියෙ එළියකන්දෙ. මට මතක විදියට, 1989 අගෝස්තු මාසෙ හදිසි නීතිය නැවත පැනවූවා. එළියකන්ද නැවතත් පරිපූර්ණ වධකාගාරයක් බවට පත්වුණා. සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගියා.

හතරවන පාබල හමුදාවෙ කැප්ටන් රත්නායකගෙ යටතෙ තිබුණ දකුණු පළාතෙ හා මාතර හමුදා බුද්ධි අංශය පස්සෙ කාලෙක කොටින්ට ඔත්තු දීම නිසා සිරභාරයට ගන්නා ලද හයවන කාලතුවක්කු හමුදා‍ෙ මේජර් දසනායක යටතට පත් කළා. ඉන් පස්සෙ එළියකන්දට ආවෙ කලින් හිටපු පිරිසට වඩා කෘර වධකයන් පිරිසක්. ඒ කාලෙ විස්තර මගේ කේපොයින්ට් කතාවේ තිබෙනවා.

විවිධ හැලහැප්පීම් මැද්දෙ එළියකන්දෙ තරුණයන් රැසක් මරාදමද්දි මාත්, දැන් ඩලස්ගෙ ලේකම් කෙනෙකු වන සුමිත් චන්දනත් පණ බේරගත්තා. මාත් එක්ක අත්අඩංගුවට ගත් අනෙක් සහෝදරයා වන ආනන්දෙ ශිෂ්‍යයකු වන චම්ලිව රැඳවුම් නියෝග, හෙබයාස්කෝපුස් තියෙද්දිම මරාදැම්මා.

මාතර පොලිසියෙන් ඇවිත් මගෙන් කටඋත්තර ගන්න ඕනැ බව කිව්වෙ ඔය ආසන්න වකවානුවක. සාජන් කෙනෙක් තමයි ආවෙ. මුලින් මං දීපු ප්‍රකාශය අතින් ලියාගෙන මට කියවන්නත් දීලා අත්සන් ගත්තා. ඒක හරිම සාමකාමී විදියටයි වුණේ. හැබැයි දවස් කීපයකට පස්සෙ අර සාජන්ම ඇවිත් මාව අරගත්තා. යතුරුලියනය කරපු කටඋත්තරයක් පෙන්නලා අපි මේක ටයිප් කරලා ගෙනාවා අත්සන් කරන්න කිව්වා. මං මුල් වාක්‍ය දෙක තුන යන්තම් බලනකොටම මට තේරුණා ඒකෙ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙ නම තියෙනවා, ඒ වගේම අත්අඩංගුවට ගත් දින වකවානු වෙනස් බව. ඒක වෙනස් බව මං කීවා. ‘එතකොට මේක අත්සන් කරන්න බැරිද?’ කියලා පොලිස් නිලධාරියා ඇසුවා. ඒ අසල සිටි වධකයකු වන කස්තුරි ඇවිත් ‘ඕකෙ කියවන්න දෙයක් නැහැ. අස්සං කරපං.’ කිව්වා. ඒක ඒ විදියට තමයි සෙට්කරලා තිබුණෙ.

තත්වය ගැන අවබෝධයක් තිබුණු නිසා මං ඒක අත්සන් කළා. එදා ඒක අත්සන් නොකළා නම් මේ කතාව කියන්න මං අද මෙතන නොඉන්න පුළුවන්.

ඒ කටඋත්තරය ඉන් පසුව මට විරුද්ධව සාක්ෂියක් විදියට භාවිතා කළා. ඒ විස්තර දැනට මං කියන්නෙ නැහැ.

කටඋත්තරය ගැනීම කියන නිශ්චිත කාර්යය වෙනුවෙන් මාව කිසිම වධහිංසනයකට ලක්කළේ නැහැ කියලා තර්ක කරන්න පුළුවන්. ඇත්තෙන්ම ඒ කටඋත්තරය මගෙන් ගත්තෙත් නැහැ. ඒ සහකාර පොලිස් නිලධාරියා ඉදිරිපිට මං අත්සන් කළෙත් නැහැ. මං ඒ පුද්ගලයා දැකලාත් නැහැ.

ඒත්, මං ඒක අත්සන් කළා. ඒකට හේතුව, ඒ වනවිට මං හිටපු පරිසරය. මං ලියපු කේපොයින්ට් කතාව කියවපු අය කියන්න මං ඒක අත්සන් කරපු එක වැරදිද කියලා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.

Creative Content Consultants

කේපොයින්ට් නවකතාවෙන් පිටුවක් මෙතැනින්

කේපොයින්ට් පොත ගැන විස්තර මෙතැනින්

2 thoughts on “එළියකන්ද වධකාගාරයේදී පොලිසිය මගෙන් කටඋත්තර ගත් හැටි

  1. Aandu meheyawana boho noogaththu , Annduwa haa Rajaya yanu dekak nowa ekak yai salakathi .
    Thawada aandu balaya genmata pera paakshikayan bada benda gaththath , balaya dehegeniemen pasuwada paalakayo salakanna uthsuka wanne paakshikayange balaaporoththu itukiriemayayai parasidhdhiye andahera paameni . Eya prajathanthrika nowana bawa owhoo nodanithi .
    Thrasthawaade athiwana wasthu beija pelawena ek awasthawaki oya hutapate .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: