ගෝ්ල්ෆේස් අරගලය මාසයක් ඇදිලාත් ඇයි අපට අඟල් කීපයකට වඩා ඉස්සරහට යන්නට බැරිවුණේ? ඒකට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. විශේෂයෙන්ම විධායක ජනාධිපති බලතලත් එක්ක පවතින දේශපාලන ගැටලුවට විසඳුම් සොයන්නට බැරි බව පැහැදිලියි.

ඒත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක ආර්ථික, දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරනවාටත් වඩා අමාරුයි. දැන් වෙලා තියෙන්නෙ ඒක. නීතීඥ සංගමය වගේ ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත් කරපු පාර්ශ්වවලට පවා ව්‍යවස්ථා උගුලෙන් ගැලවෙන ක්‍රමවේදයක් නැහැ.

අද මේ මොහොත වන විට පවතින්නේ කාටහරි ආසාවට ජනාධිපතිකම්, අගමැතිකම් කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අති බලගතු වී සිටින ජනාධිපති පවා මහජන බලය හමුවේ සිකනලෙකු වී හමාරයි. ඒ විතරක් නෙමෙයි, පැරණි පරම්පරාවම පවා දැන් යල්පැනගොස් ඉවරයි. ඔවුන් අතර මහජන විශ්වාසය දිනාගත හැකි කිසිවෙකු සිටින බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අලුත් නායකත්වයක් ගොඩනගාගන්නට වැඩකරන එක හොඳයි.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවෙන් ටික කලකට පිටවෙලා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එක්ක ආයෙ එන එකත් දැන් තියෙන ප්‍රශ්නයට විසඳුමක්. ඒකට මාර්ග දෙකක් තියෙනවා. එකක් විප්ලවය. අපි දැන් ඒකෙ සෑහෙන දුරක් ඇවිත්.

තාවකාලික විප්ලවීය සභාවක නායකත්වය යටතේ අන්තර්වාර පාලනයක් ඇතිකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ හැකි ඉක්මණින් මැතිවරණ පැවැත්විය යුතුයි. එවැනි අන්තර්වාර පාලනයක් යටතෙ වුණත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය, ජාත්‍යන්තර සහාය ආදිය ගැන සාකච්ඡා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම, ඉන්දියාව වැනි රටක උපකාරය ලබාගත්තොත් මෙය සාර්ථක කරගන්නට පුළුවන්. තාවකාලික විප්ලවීය සභාව ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන, ආන්තික දෘෂ්ටිවාදී නොවන, දේශප්‍රේමී එකක් වීම අවශ්‍යයි. ඒ සඳහා විප්ලවීය සමාජ සම්මුතියක් නිර්මාණය කරගත යුතු වෙනවා. මතක තබාගත යුතු කාරණය වන්නේ එය එතරම් ප්‍රජාතාන්ත්‍රික පියවරක් නොවන නිසා පූර්වාදර්ශයක් නොවිය යුතු බවයි. මෙතනදී අධිකරණය, හමුදාව වැනි ආයතන සමග සම්මුතිය නිර්මාණය කරගන්නේ කෙසේද කියන එක අතිශය වැදගත්.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවෙන් ටික කලකට පිටවෙලා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එක්ක ආයෙ එන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ හමුදා ආණ්ඩුවක්. ඒකට මං පෞද්ගලිකව කැමති නැති නිසා මං ඒ ගැන ලියන්නෙ නැහැ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: