Judgment of Cambyses (painting by Gerard David)

අජිත් පැරකුම් ජයසිංහ

ස්වභාවධර්මයට අනුව, කිසිදු මිනිසකුට තවත් මිනිසකුට දඬුවම් කිරීමට, වධහිංසනයට ලක් කිරීමට හෝ ඝාතනය කිරීමට සහජ අයිතියක් නොමැත. එහෙත්, සමාජ විනය පවත්වා ගැනීම සහ නීතියේ ආධිපත්‍යය (Rule of Law) තහවුරු කිරීම උදෙසා, රාජ්‍යය විසින් එම බලහත්කාරය (State Coercion) සහ දඬුවම් කිරීමේ අයිතිය තමන් වෙත පවරාගෙන තිබේ. රාජ්‍යය විසින් පවරා ගත් එම අතිමහත් බලය සහ වගකීම, සමාජය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා පවරා දී ඇත්තේ විනිසුරුවරුන්ට ය.

Creative Content Consultants
Creative Content Consultants 077 1229191/ 077 1734470

මෙහිදී අවධාරණය කළ යුතු සුවිශේෂීම කරුණ නම්, මෙම බලය විනිසුරුවරුන්ට දෙවියන් විසින් ලබා දුන් අදෘශ්‍යමාන දේව වරමක් නොවන බවයි. එය සෘජුවම රාජ්‍යය හෙවත් ‘ජනතා පරමාධිපත්‍යය’ (Popular Sovereignty) විසින් විශ්වාසය මත ලබා දෙන ලද නියෝජිත බලයකි. එබැවින්, එය දෙවියන් විසින් පවරන ලද වගකීමකටත් වඩා අතිශය පාරිශුද්ධ ලෙස, අපක්ෂපාතීව හා ඉහළම වගකීමෙන් යුතුව භාවිත කළ යුතු බලයකි.

මෙම නෛතික සහ සදාචාරාත්මක වගකීම බිඳ දැමීමේ බිහිසුණු ප්‍රතිවිපාක පිළිබඳව ඉතිහාසයෙන් හමුවන කදිම, එහෙත් අතිශය ත්‍රාසජනක උදාහරණයක් ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේ විසූ ප්‍රකට ග්‍රීක ඉතිහාසඥ හෙරොඩෝටස් (Herodotus) සිය ‘Histories’ (ඉතිහාසය) ග්‍රන්ථයේ සටහන් කර ඇත.

සිසාම්නෙස්ගේ අපරාධය සහ රජුගේ බිහිසුණු දඬුවම

මෙම ඓතිහාසික සිදුවීම වාර්තා වන්නේ පුරාණ පර්සියානු අධිරාජ්‍යයේ, දෙවන කැම්බිසස් (King Cambyses II) රජුගේ පාලන සමයෙනි. එකල පර්සියාවේ ප්‍රධාන රාජකීය විනිසුරුවරයෙකු ලෙස ‘සිසාම්නෙස්’ (Sisamnes) කටයුතු කළේය. එහෙත්, ඔහු සිය පාරිශුද්ධ වගකීම පාවා දෙමින්, අල්ලසක් ලබාගෙන අසාධාරණ ලෙස නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. සිසාම්නෙස්ගේ මෙම දූෂිත ක්‍රියාව කැම්බිසස් රජුට දැනගන්නට ලැබුණු විට, රජු ඔහුට ලබා දුන්නේ මනුෂ්‍ය ඉතිහාසයේ විනිසුරුවරයෙකුට ලබා දුන් දරුණුතම සහ සංකේතාත්මකම දඬුවමයි. රජුගේ නියෝගයෙන් සිසාම්නෙස්ව වහාම අත්අඩංගුවට ගෙන, පණපිටින් සම ගසා (flayed alive) ඝාතනය කෙරිණි.

එහෙත් දඬුවම එතෙකින් නිම වූයේ නැත. ශාරීරික වධහිංසනයට එහා ගිය මනෝවිද්‍යාත්මක පාඩමක් සමාජයට දීමට රජුට අවශ්‍ය විය. ඒ අනුව, කැම්බිසස් රජු මීළඟ රාජකීය විනිසුරුවරයා ලෙස පත් කළේ අන් කවරෙකුවත් නොව, මරණයට පත් සිසාම්නෙස්ගේම පුත්‍රයා වූ ‘ඔටානෙස්’ (Otanes) ය. ඔහුට එම තනතුර ලබා දෙන අතරතුර, රජු තවත් අතිශය බිහිසුණු නියෝගයක් නිකුත් කළේය. එනම්, ඔටානෙස් අසුන් ගන්නා විනිසුරු අසුන, ඔහුගේ පියාගේ (සිසාම්නෙස්ගේ) සිරුරෙන් ගැලවූ සමින් ආවරණය කළ යුතු බවයි. ඉන්පසු රජු ඔටානෙස්ට මෙසේ දැඩි අනතුරු ඇඟවීමක් කළේය: “ඔබ නඩු අසන සෑම මොහොතකම, ඔබ වාඩි වී සිටින්නේ කුමක් මතද යන්න නිරන්තරයෙන් සිහි තබා ගන්න. යුක්තිය පසිඳලීමේදී අපක්ෂපාතී නොවුණහොත් අත්වන ඉරණම එයයි.”

කලාව තුළින් යුක්තියේ පරමාදර්ශයක් ලෙස

මධ්‍යතන යුගයේ සහ පුනරුද සමයේ යුරෝපය තුළ, මෙම ඛේදනීය සිදුවීම යුක්තියේ පරමාදර්ශයක් (exemplum iustitiae) ලෙස පුළුල්ව භාවිතයට ගැණිනි. මෙහි වඩාත්ම ප්‍රකට කලාත්මක නිරූපණය වන්නේ 1498 වසරේදී මුල්කාලීන නෙදර්ලන්ත චිත්‍ර ශිල්පියෙකු වූ ජෙරාඩ් ඩේවිඩ් (Gerard David) විසින් අඳින ලද ‘The Judgment of Cambyses’ (කැම්බිසස්ගේ විනිශ්චය) නමැති සිතුවමයි.

මෙම සිතුවම බෲජස් (Bruges) නගරයේ බලධාරීන්ගේ විශේෂ කොන්ත්‍රාත්තුවක් මත නිර්මාණය කර, නගර ශාලාවේ මහේස්ත්‍රාත්වරයන් රැස්වන කාමරයේ ප්‍රදර්ශනය කර තිබිණි. එහි අරමුණ වූයේ, දූෂණයේ බරපතළකම සහ අපක්ෂපාතීත්වයේ වැදගත්කම පිළිබඳව නගරයේ විනිසුරුවරුන්ට දිනපතා සිහිපත් කර දෙන දැඩි අනතුරු ඇඟවීමක් ලෙස එය භාවිත කිරීමයි.

ජනතා පරමාධිපත්‍යය සහ අනාගත නීති ප්‍රතිසංස්කරණයක්

වර්තමාන සමාජය දෙස බලන විටද අපට පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය සුරැකීමේදී විනිසුරුවරයෙකුගේ භූමිකාව කොතරම් තීරණාත්මකද යන්නයි. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘හුණු වටයේ කතාවේ’ එන අසඩක්, කිසියම් අහඹු සිදුවීමකින් (වැරදීමකින්) විනිසුරු අසුනට පත් වූවා සේ, දේශපාලන පොරපිටියේ කිසියම් වැරදීමකින් මා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුවහොත්, මා විසින් හඳුන්වා දෙනු ලබන ප්‍රබලතම නීතිමය සංශෝධනයක් ඇත.

එනම්, අල්ලස, දේශපාලන පක්ෂපාතිත්වය, වෘත්තීය නොසැලකිල්ල හෝ පෞද්ගලික ද්වේෂය මත පදනම්ව යම් විනිසුරුවරයකු විසින් කිසිවෙකුට හෝ අසාධාරණ දඬුවමක් පනවා ඇති බව නීතිය ඉදිරියේ සැකයෙන් තොරව ඔප්පු වුවහොත්, එම වරදට අදාළව නීති පොතේ පවතින උපරිම දණ්ඩනය (Maximum Penalty) කිසිදු සමාවකින් තොරව එම විනිසුරුවරයාටම පැනවිය හැකි පරිදි නීති ප්‍රතිසංස්කරණය කිරීමයි. අනාගත රජයක් විසින් එය කළ යුතුව ඇති බවට මම උද්දේශනය කරමි.

සාමාන්‍ය පුරවැසියෙකු අතින් සිදුවන වරදකට වඩා, යුක්තිය පසිඳලීමේ පාරිශුද්ධ වගකීම භාරගත් නීතියේ නියමුවකු අතින් සිදුවන අසාධාරණය, සමස්ත රාජ්‍ය පද්ධතියම ඛාදනය කරන පිළිකාවකි. යුක්තිය පසිඳලීම යනු හුදු රැකියාවක් හෝ වරප්‍රසාදයක් නොවේ. එය මුළුමනින්ම මහජනතාවගේ විශ්වාසය සහ පරමාධිපත්‍යය මත පදනම් වූ භාරකාරත්වයකි.

පර්සියානු විනිසුරු සිසාම්නෙස්ගේ කතාවෙන් අපට උගත හැකි විශාලතම පාඩම නම්, විනිසුරුවරයාගේ පෑන් තුඩින් ලියැවෙන වචනයකට මිනිසෙකුගේ ජීවිතයක්, නිදහසක් හෝ ගෞරවයක් සදහටම අහිමි කළ හැකි බැවින්, එම පෑන හසුරුවන දෑත් සහ මනස කිසිදු කැලලකින් තොරව අතිශය පිරිසිදු විය යුතු බවයි. දූෂිත විනිශ්චයකින් සිදුවන හානිය, සාමාන්‍ය අපරාධකරුවෙකු කරන හානියට වඩා දහස් ගුණයකින් සමාජයට සහ රාජ්‍යයේ පැවැත්මට භයානක ය. එබැවින් විනිසුරු අසුන යනු බලයේ කිරුළක් නොව, ඉහළම වගවීමේ සහ යුක්තියේ සංකේතය විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *