ප්‍රජා උද්දේශන (Praja.lk)
තරුණ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයකු වන අනෝජන් සමාජ මාධ්‍ය ඔස්සේ හැඟීම්බර අදහසක් පළ කළේ ය. නමුත් වහාම ඒ ගැන පසුතැවී ඔහු එය මකා දැමුවේ ය. එසේ තිබියදීත් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කර තිබේ. මෙය දේශසීමා ඉක්මවා යන අන්තවාදී හිරිහැර කිරීම්වල භයානක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම සිදුවීම බරපතළ වන්නේ නූතන අපරාධ නීතිය සහ සෞදි ෂරියා නීතිය අතර ඇති දැඩි වෙනස නිසා පමණක් නොවේ. මෙම තත්ත්වය හිතාමතාම සැලසුම් කළ අන්තවාදී ශ්‍රී ලාංකික කල්ලියකගේ ක්‍රියාකලාපය ද මීට බලපා ඇත. සිංහල හෝ දෙමළ බසින් සමාජ මාධ්‍යවල පළ වූ අදහස් හිතාමතාම පරිවර්තනය කර, සකස් කර, සෞදි ආගමික බලධාරීන්ට යැවීම හරහා මෙම කුමන්ත්රණකරුවන් තම සහෝදර රටවැසියකු අධිකරණය හරහා ඝාතනය කරවීම සඳහා විදේශීය දණ්ඩ නීති පද්ධතියක් ඉතා සූක්ෂම ලෙස යොදා ගෙන තිබේ.
මෙම ඛේදවාචකයට විසඳුම් සෙවීමේදී ජාතිවාදී වෛරය ඇවිස්සීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. එසේම, ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදවලින් බැහැර වන ලෙස කෙරෙන ඉල්ලීම් ද මින් සාධාරණීකරණය කළ නො හැක. ඒ වෙනුවට, ශ්‍රී ලංකා රජය පැහැදිලි ක්‍රියාමාර්ග දෙකක් ඔස්සේ දැඩි තීරණ ගත යුතුය. පළමුවැන්න, අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා වහාම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කිරීමයි. දෙවැන්න, ඉන් අනතුරුව දේශීය නීතිය යටතේ අදාළ කුමන්ත්රණකරුවන්ට එරෙහිව කිසිදු ලිහිල් කිරීමකින් තොරව අපරාධ නඩු පැවරීමයි.
පළමු අදියර: පුරවැසියකුගේ ජීවිතය බේරා ගැනීමේ හදිසි අවශ්‍යතාව
මෙහිදී වඩාත්ම හදිසි අවශ්‍යතාව වන්නේ අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමයි. විදේශ රටවල මරණ දඬුවම සම්බන්ධ නඩුවලදී අධිකරණමය කාලසීමා ඉතා දැඩි ය. එහිදී කිසිදු සමාවක් බලාපොරොත්තු විය නො හැක. නීතිඥයන් විසින් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති නීත්‍යානුකූල අභියාචනා කාලසීමා උපරිමයෙන්ම භාවිත කළ යුතුය. එහෙත්, ආගමකට අපහාස කළේ යැයි කියන චෝදනාවක් මෙවැනි අවසන් අදියරකට පැමිණි පසු, හුදෙක් නීතිමය කරුණු මත පමණක් රැඳී සිටීම බොහෝ විට ප්‍රමාණවත් වන්නේ නැත.
සෞදි අරාබියේ අධිකරණ පද්ධතියේ ඉහළින්ම ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඉන් අදහස් වන්නේ එහි තීන්දු අවසන් තීන්දු බව ය. ඊට ඉහළ අධිකරණයකට අභියාචනයක් (ඇපෑලක්) ඉදිරිපත් කළ නො හැකි බව ද ඉන් පැහැදිලි වේ. එහෙත්, ව්‍යාජ ලේඛන සොයා ගැනීම, ප්‍රතිවාදියකුගේ වංචාවක් ඔප්පු වීම හෝ නව තීරණාත්මක සාක්ෂි හමු වීම වැනි සුවිශේෂී තත්ත්ව යටතේ, “නැවත සලකා බැලීමේ පෙත්සමක්” (Iltimas al-I’adah) හරහා අවසන් තීන්දුව අභියෝගයට ලක් කළ හැකිය. මරණ දඬුවමට අදාළ නඩුවලදී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව මරණ දඬුවම තහවුරු කළ පසු අධිකරණ ක්‍රියාවලිය එතෙකින් අවසන් වේ. ඉන්පසු දඬුවම ක්‍රියාත්මක කිරීම නැවැත්විය හැකි එකම විකල්පය වන්නේ සෞදි රජුගෙන් ලැබෙන ‘රාජකීය සමාවකි’. දඬුවම අනුමත කිරීමේ හෝ ලිහිල් කිරීමේ තනි බලය ඇත්තේ රජුට පමණි.
ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙය හුදු සාමාන්‍ය තානාපති කාර්යාල මැදිහත්වීමකට සීමා නො කර, රාජ්‍ය නායක මට්ටමේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් දක්වා ගෙන යා යුතුය. ඕනෑම ස්වාධීන ජනරජයක මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වගකීම වන්නේ තම පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමයි. ආගමික වැරදි සඳහා මරණ දඬුවම ලබා දෙන විදේශීය රටවලදී, මෙවැනි අවස්ථාවලට ඇති ප්‍රායෝගිකම විසඳුම වන්නේ සෞදි අරාබියේ රජුට සහ කිරුළ හිමි කුමරුට ‘රාජකීය සමාවක්’ ලබා දෙන ලෙස ඍජුවම ඉල්ලීමක් ඉදිරිපත් කිරීමයි.
මෙහිදී ශ්‍රී ලංකාව පහත දැක්වෙන කරුණු දැඩිව අවධාරණය කළ යුතුය:
- අදාළ තරුණයා තම මතභේදාත්මක ප්‍රකාශය පළ කළ වහාම එය ඉවත් කර ගත් බවත්, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගත් බවත්.
- සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් (ICCPR) පිළිබිඹු වන විශ්වීය මානව හිමිකම් මූලධර්මවලට අනුව, මරණ දඬුවම ලබා දිය යුත්තේ චේතනාන්විතව සිදු කරන මනුෂ්‍ය ඝාතන වැනි “වඩාත් බරපතළ අපරාධ” සඳහා මිස, අදහස් ප්‍රකාශ කිරීමක් මත පදනම් වූ වැරදි සඳහා නො වන බව.
- ශ්‍රී ලංකාවේ විවිධත්වයෙන් යුත් (diverse) මුස්ලිම් නායකයන්, සිවිල් සමාජය සහ ආගමික පූජකවරුන් ද මෙම තරුණයාට කරුණාව සහ සමාව ලබා දෙන ලෙස දැඩිව ඉල්ලා සිටින බව. මෙය සමාව දීම, Afw (عفو – Forgiveness/Pardon) සහ දයාව/කරුණාව, Rahmah (رحمة – Mercy/Compassion) යන මූලික ඉස්ලාමීය වටිනාකම් සමඟ ද මනාව ගැළපෙන බව.
රටවල් දෙක අතර ඇති මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ සංක්‍රමණික සුබසාධන යාන්ත්‍රණ හරහා ක්‍රියාත්මක වන මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම, වෙනත් ඕනෑම ක්‍රියාමාර්ගයකට වඩා පෙරමුණ ගත යුතුය.
දෙවැනි අදියර: කුමන්ත්රණකරුවන්ට එරෙහි දේශීය නීතිමය පදනම
තවද, මෙම ගැටලුව මුස්ලිම් විරෝධී වෛරයක් දක්වා දුරදිග යාමට කිසිසේත් ඉඩ නො දිය යුතුය. සාමකාමීව ජීවත් වෙමින් ජාතික ආර්ථිකයට අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් සහ සිවිල් නායකත්වයක් (civic leadership) ලබා දෙන පුළුල් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව, සුළුතර, දැඩි මතධාරී වහාබි (dogmatic Wahhabi) / අන්තවාදී කණ්ඩායම් සමඟ පටලවා ගැනීම අසාධාරණ මෙන්ම භයානක ක්‍රියාවකි. රජයේ ක්‍රියාමාර්ගවල ඉලක්කය විය යුත්තේ සමස්ත ආගමික ප්රජාවකට පහර දීම නො ව, මෙම සිදුවීම පිටුපස සිටින නිශ්චිත අන්තවාදී පුද්ගලයන්ගේ අපරාධමය හැසිරීමට දඬුවම් කිරීමයි.
රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් ආරම්භ කළ වහාම, රජය තම විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග මෙම ඛේදවාචකය නිර්මාණය කළ ශ්‍රී ලාංකික කුමන්ත්රණකරුවන් වෙත යොමු කළ යුතුය. හිතාමතාම කරුණු විකෘති කර දක්වමින් විදේශ රටකදී තවත් අයකුට මරණ දඬුවම ලබා දීමට කුමන්ත්‍රණය කරන පුද්ගලයන්ට ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට’ හෝ සාමාන්‍ය පුරවැසි වාර්තාකරණයට (standard citizen reporting) මුවා වී කිසිසේත්ම ගැලවී යාමට ඉඩ දිය නො හැක.
මෙහිදී පැහැදිලි නීතිමය ගැටලු දෙකක් මතු වේ:
- සෞදි අරාබියට අදාළ ගැටලුව: අනෝජන් කුමක් කර ඇති බවට සෞදි අධිකරණය තීරණය කළේ ද? එමෙන්ම, ඔවුන් ඒ සඳහා කුමන සාක්ෂි මත පදනම් වූයේ ද?
- ශ්‍රී ලංකාවට අදාළ ගැටලුව: මෙම සෞදි නඩු විභාගය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, ඒවා විකෘති කිරීම, යැවීම හෝ වෙනත් ආකාරයකින් භාවිත කිරීම හරහා ශ්‍රී ලංකාව තුළ සිටින කිසියම් පුද්ගලයකු ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් කර තිබේ ද?
මෙහිදී දෙවැනි ගැටලුව සෘජුවම ශ්‍රී ලංකාවේ බලධාරීන්ට සහ අධිකරණයට අදාළ වේ.
සෞදි අධිකරණ තීන්දුව මගින් අවසාන ප්‍රතිඵලය කුමක් දැයි පෙන්වා දෙයි. විමර්ශනයක් ඇරඹීමට අවශ්‍ය සාක්ෂි ද ඉන් සපයයි. එහෙත්, එම මරණ දඬුවම ලබා දීමේ තත්ත්වයට පත් කිරීම සඳහා ඊට පෙර මෙරටදී සිදු වූ ක්‍රියාකාරකම් පිළිබඳව ශ්‍රී ලංකා රජය අනිවාර්යයෙන්ම විමර්ශනය කළ යුතුය.
මෙම කුමන්ත්රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ පහත සඳහන් ප්‍රතිපාදන භාවිත කළ හැකිය:
ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම (දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 වගන්ති) අධිකරණ කටයුත්තක් සඳහා යොදා ගැනීමේ අරමුණින්, කිසියම් පිරිසක් හිතාමතාම අනෝජන්ගේ ප්‍රකාශ විකෘති කර, වෙනස් කර හෝ වැරදි අර්ථකථනයක් ලබා දී ඇති බව සාක්ෂි මගින් තහවුරු වන්නේ නම්, දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 190 වගන්ති යටතේ ඔවුන්ට එරෙහිව විමර්ශනයක් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙහිදී ප්‍රධාන ගැටලුව වන්නේ හුදෙක් ප්‍රකාශයක් පරිවර්තනය කිරීම හෝ වාර්තා කිරීම නොවේ. අධිකරණ තීරණයකට බලපෑමක් කිරීමේ චේතනාවෙන් හිතාමතාම ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළේ ද හෝ ඉදිරිපත් කළේ ද (presented) යන්න මෙහිදී වැදගත් වේ.
අපරාධ කුමන්ත්‍රණය සහ අනුබල දීම (දණ්ඩ නීති සංග්‍රහයේ 100 සහ 113A වගන්ති) ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් දෙදෙනකු හෝ වැඩි ගණනක් එක්ව කිසියම් වරදක් කිරීමට හෝ ඊට අනුබල දීමට එකඟ වී ඇති බව, හෝ එසේ කිරීම සඳහා පොදු අරමුණක් මත ක්‍රියා කර ඇති බව (acted pursuant to a common purpose to do so) තහවුරු වන්නේ නම්, අපරාධ කුමන්ත්‍රණය පිළිබඳ 113A වගන්තිය සහ අනුබල දීම පිළිබඳ 100 වගන්තිය යටතේ නඩු පැවරිය හැකිය. යම් ක්‍රියාවක් ශ්‍රී ලංකාව තුළ සිදු කළේ නම් එය වරදක් වන විට, එම ක්‍රියාවම ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදු කිරීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් 101A වගන්තිය යටතේ ක්‍රියාමාර්ග ගත හැකිය. එබැවින්, මෙම විමර්ශනය හරහා අදාළ සැකකරුවන්, ඔවුන්ගේ සන්නිවේදනයන් (communications), පොදු අරමුණ, පුද්ගලික චේතනාවන් (individual intentions), සහ ඔවුන්ගේ හැසිරීම හා අදාළ අපරාධය අතර ඇති හේතුඵල සම්බන්ධතාව (causal connection) තහවුරු කළ යුතුය.
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 3 වැනි වගන්තිය වෙනස් කොට සැලකීමට (discrimination), සතුරුකම්වලට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය උද්දේශනය කිරීම (advocacy) තහනම් කිරීම සඳහා ICCPR පනතේ 3 වැනි වගන්තිය යටතේ නීතිමය බලයක් ඇත. අනෝජන්ට හෝ ඔහුගේ පවුලේ අයට එරෙහිව සතුරුකම් හෝ ප්රචණ්ඩත්වය ඇති කිරීමේ අරමුණින් හිතාමතාම තොරතුරු සමාජගත කර ඇති බවට ඔප්පු වන්නේ නම්, බලධාරීන් මෙම පනත යටතේ නඩු පැවරීම පිළිබඳව සලකා බැලිය යුතුය. මෙම 3 වැනි වගන්තිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ද පැහැදිලි මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
පරිගණක අපරාධ පනත සහ ඩිජිටල් තාක්ෂණික විමර්ශන අනුන්ගේ පරිගණක හෝ සමාජ මාධ්‍ය ගිණුම්වලට නීතිවිරෝධී ලෙස ඇතුළු වීම, අනවසරයෙන් දත්ත ලබා ගැනීම, ඒවා වෙනස් කිරීම, නීතිවිරෝධී ලෙස අතරමැදදී ග්‍රහණය කර ගැනීම (illegal interception) හෝ නීතිවිරෝධී දත්ත පරිහරණය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ විමර්ශනය කර නඩු පැවරිය හැකිය. අදාළ පරිගණකය හෝ සිදු වූ හානිය ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සිදු වූව ද, එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් මෙම පනතට ඇත. එබැවින්, නීත්‍යානුකූල ක්‍රමවේදවලට යටත්ව, අදාළ උපාංග, පාරදත්ත (metadata), සන්නිවේදනයන්, ගිණුම්, දත්ත සලකුණු (data trails) සහ රටවල් අතර සිදු වූ සන්නිවේදන පිළිබඳව පුළුල් ඩිජිටල් තාක්ෂණික විමර්ශනයක් (Digital forensic investigation) සිදු කළ යුතුය.
රටේ ගෞරවය සහ සංක්‍රමණික ශ්‍රමිකයන් ආරක්ෂා කිරීම
ජාතික ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ඩොලර් බිලියන ගණනක විදේශ විනිමය ලංකාවට එවමින්, ශ්‍රී ලාංකිකයන් මිලියනයකට වැඩි පිරිසක් මැදපෙරදිග සේවය කරති. ඔවුන් සේවය කරන්නේ ඉතා දැඩි විදේශීය නීති රාමුවලට යටත්ව ය. ශ්‍රී ලංකාව තුළ පවතින ගැටුම් සහ වාදවිවාද පදනම් කර ගෙන, අන්තවාදී කණ්ඩායම් අවදානමට ලක්විය හැකි ශ්‍රමිකයන් (vulnerable workers) ඉලක්ක කර ඔවුන් සේවය කරන රටේ නීතියම ඔවුන්ට එරෙහි ආයුධයක් ලෙස භාවිත කරන විට, එයින් සමස්ත විදෙස්ගත ලාංකික ප්‍රජාවටම භයානක අවදානමක් මතු වේ.
එබැවින්, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් හරහා අනෝජන් මරණ දඬුවමෙන් මුදා ගැනීම සඳහා රජය වහාම ක්‍රියාත්මක විය යුතුය. ඊට සමගාමීව, මෙම ඛේදවාචකය නිර්මාණය කළ අන්තවාදී කල්ලිය හෙළිදරව් කිරීමට (expose), බිඳ දැමීමට (dismantle) සහ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට (prosecute) ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. කිසිදු පක්ෂපාතීත්වයකින් හෝ නීතිවිරෝධී කෙටි මාර්ගවලින් තොරව යුක්තිය ඉටු කිරීම යනු, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පාලනය (constitutional rule) සුරකින, ජාතික ආරක්ෂාව තහවුරු කරන සහ විදේශයන්හි සිටින අපගේ පුරවැසියන් ආරක්ෂා කරන එකම මාර්ගයයි.










