හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි, තානාපති කානා කනනාදන් විසිනි.
ආර්ථික ස්ථායීකරණය මගින් ආර්ථිකය බේරා ගන්නා ලදි. දැන්, පුළුල් පරිවර්තනයක් හරහා එය වර්ධනය කළ යුතුව තිබේ. ණය ශ්‍රේණිගත කිරීම් ද දැන් ඉහළ ගොස් ඇත. මේ මොහොතේ ශ්‍රී ලංකාව කළ යුත්තේ, එම ස්ථායීතාව, ආයෝජන, අපනයන, රැකියා සහ ආර්ථික ස්වාධීනත්වය බවට පරිවර්තනය කිරීමයි.
සැබෑ ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තවත් වැඩසටහනක් අවශ්‍ය ද යන්න නොවේ. සැබෑ ප්‍රශ්නය වන්නේ, නැවතත් විදේශ මූල්‍ය හිඟයක් නිර්මාණය නො කරමින්, සංචිත ගොඩනගා ගැනීමට සහ ණය වගකීම් පියවීමට 2027 මාර්තු මාසය වන විට අපේ ආර්ථිකයට හැකි වේවි ද යන්නයි. මේ සඳහා ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක්, රාජ්‍ය ආදායමක්, අපනයන, සෘජු විදේශ ආයෝජන සහ විදේශ විනිමය ඉපැයීම් ජනනය කිරීමට ආර්ථිකයට හැකි විය යුතුය. මෙම මූලිකාංග ප්‍රමාණවත් ලෙස වර්ධනය වුවහොත්, විස්තෘත අරමුදල් පහසුකම (Extended Fund Facility) අවසන් කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාමාන්‍ය සබඳතාව පමණක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. එහෙත්, ආර්ථික වර්ධනය 4%ක පමණ මට්ටමක පැවතුණහොත්, දේශීය සහ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණවත් නො වුවහොත්, අපනයන ආදායම් වේගවත් කර ගැනීමට අසමත් වුවහොත් සහ බාහිර මූල්‍ය පීඩන දැඩි වුවහොත්, IMFහි මීළඟ වැඩපිළිවෙළකට යෑම ප්‍රායෝගික මූල්‍ය සහ ප්‍රතිපත්තිමය විකල්පයක් බවට පත් විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සාර්ථකව ඉවත් වීම යනු හුදෙක් ආර්ථික ශක්තියේම ප්‍රතිඵලයක් පමණක් විය යුතුය.
පසුගිය සතියේදී ෆිච් රේටිංස් (Fitch Ratings) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම, ස්ථාවර ඉදිරි දැක්මක් සමග CCC+ සිට B- දක්වා ඉහළ නංවන ලදි. 2022 වසරේ සිදුවූ ස්වෛරී ණය පැහැර හැරීමේ සිට මේ දක්වා ආර්ථිකය කොතරම් දුරක් පැමිණ ඇත් ද යන්න පිළිගන්නා වැදගත් සලකුණක් ලෙස මෙය දැක්විය හැකිය.
එහෙත්, මෙලෙස ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑම යනු, රට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමක් ලෙස ශ්‍රී ලංකාව පටලවා නො ගත යුතුය.
B- යනු අවසන් ජයග්‍රහණය නොවේ. එයින් අදහස් වන්නේ රෝගියා දැඩි සත්කාර ඒකකයෙන් පිටව ගොස් ඇති බව පමණි. ඉන් රෝගියා සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවක් අදහස් නොවේ.
පසුගිය සතියේදී සිය සංචාරය නිම කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය, ආර්ථිකය ස්ථාවර වීමේ ක්‍රියාවලිය නිසි මාවතේ පවතින බව තහවුරු කළේය. 4.2%ක දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය, ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක පමණ විදේශ සංචිත සහ වඩාත් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය වෙත ඔවුහු අවධානය යොමු කළහ. කෙසේ වෙතත්, මෙම සාකච්ඡා හුදෙක් විස්තෘත අරමුදල් පහසුකමේ හත්වැනි සමාලෝචනයට පෙර පැවති තාක්ෂණික උපදේශන පමණි. මෙතෙක් අවසන් මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට එළඹ නොමැත. අදාළ අරමුදල් නිදහස් කිරීමට පෙර, ඕනෑම එකඟතාවක් සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය තවදුරටත් ලබා ගත යුතුව තිබේ.
එහෙත්, මීළඟ සමාලෝචනයට වඩා විශාල ගැටලුවක් මින් ඔබ්බෙහි පවතී.
වත්මන් IMF වැඩසටහන අවසන් වන විට, කිසිවකුගේ උදව්වකින් තොරව ස්වාධීනව නැගී සිටීමට තරම් ශ්‍රී ලංකාව සැබැවින්ම ශක්තිමත් වනු ඇද්ද?
එම ගැටලුවට දේශපාලනිකව හෝ හැඟීම්බරව පිළිතුරු ලබා නො දිය යුතුය.
එබැවින්, වැඩසටහනේ කාල සීමාව අවසන් වූ පමණින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් නො විය යුතුය. අප ඉන් ඉවත් විය යුත්තේ ආර්ථිකය ඊට ප්‍රමාණවත් තරම් ශක්තිමත් වූ විට පමණි.
විදේශ සංචිත, වෙළඳපොළ ප්‍රවේශය, ආයෝජන, අපනයන සහ විදේශ විනිමය ඉපැයීම් මගින් එම ආර්ථික ශක්තිය සපයන තුරු, IMFහි මීළඟ වැඩපිළිවෙළකට යෑම වඩාත් ආරක්ෂිත වනු ඇත. එය ආර්ථික ස්ථායීතාවෙහි සිට සැබෑ ආර්ථික ස්වාධීනත්වයට ගමන් කිරීම සඳහා වන ආරක්ෂිත පාලමක් විය හැකිය.
තවත් IMF වැඩසටහනකට යෑමෙන් රට අසාර්ථක වී ඇති බවක් ඉබේටම අදහස් වන්නේ නැත. එහෙත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත ස්ථිරවම යැපීම ද සාර්ථකත්වයක් ලෙස කිසිසේත්ම හැඳින්විය නො හැකිය.
ශ්‍රී ලංකාව 2022 වසරේ සිට මේ දක්වා බොහෝ දේ අත්පත් කර ගෙන ඇත. උද්ධමනය පහත වැටී ඇත. මූල්‍ය කාර්යසාධනය වර්ධනය වී තිබේ. එසේම විදේශ සංචිත යථා තත්ත්වයට පත්ව ඇත. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු ද ඉදිරියට ගොස් ඇත. අපගේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකින් පසුව, රටේ විශ්වසනීයත්වය සහ මූල්‍ය විනය යළි ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන උපකාරී විය. එහෙත්, ආර්ථිකයක් යථා තත්ත්වයට පත්වන්නේ එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන සමත් වන නිසාම නොවේ.
සැබැවින්ම ආර්ථිකය යථා තත්ත්වයට පත්වන්නේ කර්මාන්ත පුළුල් වන විටය. ව්‍යාපාරිකයන් ආයෝජනය කරන විටය. අපනයන වර්ධනය වී ඵලදායීතාව ඉහළ යන විටය. එසේම වඩා යහපත් රැකියා නිර්මාණය වන විටය. ඊට අමතරව, නැවත නැවතත් හදිසි මූල්‍ය පහසුකම් ඉල්ලා සිටීමකින් තොරව, ආනයන සඳහා ගෙවීමට සහ සිය ණය වගකීම් පියවීමට තරම් ප්‍රමාණවත් විදේශ විනිමය රට උපයන විට පමණක් ආර්ථිකය සැබැවින්ම යථා තත්ත්වයට පත් වේ.
එම ආර්ථික පරිවර්තනය තවමත් අවසන් වී නොමැත.
ශ්‍රී ලංකාව තවමත් බාහිර කම්පනවලට, විශේෂයෙන්ම ගෝලීය බලශක්ති මිල ගණන් වෙනස් වීම්වලට ගොදුරු වීමේ දැඩි අවදානමක පසු වේ. ඊට අමතරව 2027 වසරේ සිට අපගේ ණය වාරික ගෙවීමේ වගකීම් විශාල වශයෙන් වැඩි වනු ඇත.
Fitch ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම යන කරුණ අප රුචි පරිදි නොව, ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු වන්නේ එබැවිනි. ඉන් රටේ ප්‍රගතියක් පෙන්නුම් කරන බව සැබෑවකි. එහෙත්, ආර්ථික අවදානම් තවදුරටත් එලෙසම පවතී.
ණය ශ්‍රේණිගත කිරීම වර්ධනය වී ඇත. දැන් ආර්ථික එන්ජිම ද ඒ සමගම ක්‍රියාත්මක වී වර්ධනය විය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සැබෑ ලෙසම ඉවත් වීමේ මාවත වන්නේ ආයෝජනයයි.
නැවත නැවතත් ඇති වන ගෙවුම් ශේෂ අර්බුදවලින් (balance-of-payments crises) මිදීම සඳහා පවතින එකම තිරසර මාර්ගය මෙයයි. එනම්, ශ්‍රී ලංකාව නැවත නැවතත් ඩොලර් ණයට ගැනීම වෙනුවට වැඩි වශයෙන් ඩොලර් ඉපයීමට සහ ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ යුතුය.
මෙයින් අදහස් වන්නේ අපනයන, සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ සහ වඩාත් තීරණාත්මක සාධකය වන සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීමයි. CCC+ සිට B- දක්වා ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමෙන් ආයෝජකයන්ගේ විශ්වාසය වර්ධනය විය හැකිය. එහෙත්, ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනවලට ආයෝජන නිර්මාණය කළ නො හැකිය. ශ්‍රී ලංකාව ම එය සිදු කර ගත යුතුය.
ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ පුරෝකථනය කළ හැකි ස්ථාවර බදු ක්‍රමයක්, නො වෙනස් වන ප්‍රතිපත්ති, වේගවත් අනුමත කිරීම්, පහසුවෙන් ලබා ගත හැකි ඉඩම්, කාර්යක්ෂම රේගුවක්, තරගකාරී බලශක්තියක් සහ නීතියෙන් බලාත්මක කළ හැකි ගිවිසුම්ය. එසේම, තම මුදල් ආයෝජනය කළ පසු නීතිරීති වෙනස් නො වන බවට වන ස්ථිර විශ්වාසයක් ද ඔවුහු අපේක්ෂා කරති.
එබැවින්, හුදෙක් ආයෝජන ව්‍යාපෘති අනුමත කිරීම් ගැන පමණක් උදම් අනනවා වෙනුවට, සැබැවින්ම රටට ලැබුණු ආයෝජන කොපමණ දැයි මැන බැලීම ශ්‍රී ලංකාව ආරම්භ කළ යුතුය.
අප අපෙන්ම අසන ප්‍රශ්න මීට වඩා දැඩි විය යුතුය.
සැබැවින්ම රට තුළට කොපමණ මුදලක් පැමිණියේ ද? ඵලදායී රැකියා කොපමණ ප්‍රමාණයක් නිර්මාණය වූයේ ද? කොපමණ ප්‍රමාණයක් අපනයනය කළේ ද? අලුතින් කොතරම් තාක්ෂණයක් ලැබුණේ ද? එම ආයෝජන මගින් අඛණ්ඩව කොතරම් විදේශ විනිමයක් රටට ජනනය කරනු ඇත් ද?
වාර්තා වන අන්දමට මේ වසරේ මුල් මාස හය තුළදී ශ්‍රී ලංකාව ලබා ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ සැබෑ ආයෝජනයක් පමණි. මෙය අපට බරපතළ අනතුරු ඇඟවීමක් විය යුතුය.
මෙහිදී වඩාත් වැදගත් කරුණ වන්නේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබීමයි. මේ වසරේ ජූලි මාසයේදී ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, ප්‍රතිපත්තිවල අස්ථාවරත්වය, නියාමන ප්‍රමාද, ඉඩම් ලබා ගැනීමේ දුෂ්කරතා සහ කුසලතා හිඟය ආයෝජන සඳහා ප්‍රධාන බාධා බවයි. මේ අතර, පසුගිය සතියේදී IMF දූත මණ්ඩලය ද මෙවැනිම කරුණක් අවධාරණය කළේය. අධි නියාමනය සහ සංකීර්ණ බලපත්‍ර ලබා දීමේ පටිපාටි මගහැරීමට කටයුතු කිරීම ඇතුළුව, ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක අවශ්‍යතාව ඔවුහු පෙන්වා දුන්හ.
ආයෝජන ගෙන ඒමට වගකිව යුතු ආයතනයත්, ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරී වන ආයතනයත් එකම දුර්වලතා හඳුනා ගන්නා විට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට එය නො සලකා හැරිය නො හැකිය. ප්‍රාග්ධන ආයෝජනයක් සඳහා අවශ්‍ය වන්නේ වේගය, නිශ්චිතභාවය, අඛණ්ඩතාව සහ විශ්වාසයයි. ඊට හිස් පොරොන්දු, අනවශ්‍ය ලේඛන කටයුතු සහ දිගුකාලීන අනුමත කිරීමේ ක්‍රියාවලි අවශ්‍ය නොවේ.
රජය ශ්‍රී ලංකාව දෙස බැලිය යුත්තේ ආයෝජකයකුගේ කෝණයෙනි. ව්‍යාපාරයක් සඳහා රටට ප්‍රවේශ වීම පහසු ද? ආයෝජනය කිරීම පහසු ද? ව්‍යාපාරික මෙහෙයුම් බාධාවකින් තොරව කර ගෙන යෑමට හැකි වේ යැයි විශ්වාස කළ හැකි ද? දිගුකාලීන ප්‍රාග්ධනයක් යෙදවීමට තරම් රට තුළ තරගකාරී පරිසරයක් තිබේ ද?
මේ සඳහා ලැබෙන පිළිතුර පැහැදිලි ‘ඔව්’ යන්නක් නොවේ නම්, එම මුදල් වෙනත් රටකට ගමන් කරනු ඇත. ගෝලීය ආයෝජකයන් රටවල් ප්‍රතිසංස්කරණය වන තෙක් බලා සිටින්නේ නැත. ඔවුන්ගේ ප්‍රාග්ධනය ගමන් කරන්නේ දැනටමත් ඒවා ලබා ගැනීමට සූදානම්ව සිටින රටවල් කරාය.
2022 වසරේ සිට ශ්‍රී ලංකාව අර්බුද කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බව අපට තේරුම් ගත හැකිය. ඒ යටතේ බදුකරණය, මූල්‍ය ස්ථාවරත්වය, ණය තිරසරභාවය, විදේශ සංචිත, මූල්‍ය විනය, බලශක්ති මිල ගණන් නියම කිරීම සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළේය.
එම මූල්‍ය විනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. පාලනයකින් තොර අයවැය හිඟ, දරාගත නො හැකි සහනාධාර හෝ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පාඩු ලබන ආයතන ශ්‍රී ලංකාවට තව දුරටත් දරා ගත නො හැකිය.
එහෙත්, මූල්‍ය විනය මගින් කළ හැක්කේ ආර්ථිකයක් ස්ථාවර කිරීම පමණි. එයට පමණක් තනිවම රටක් සමෘද්ධිමත් කළ නො හැකිය. දැන් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාවලිය, ආයෝජන, අපනයන, ඵලදායීතාව, නිෂ්පාදනය සහ පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය ඉලක්ක කරගත් ප්‍රබල ජාතික උපායමාර්ගයක් සමග ගැළපිය යුතුය.
එබැවින්, අනාගත IMF සාකච්ඡාවලදී අවධානය යොමු කළ යුත්තේ අප ඊයේ පැවති අර්බුදයේ ඉලක්ක සපුරා ඇත් ද යන්න ගැන පමණක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායකින් තොරව සිය ණය ආපසු ගෙවීමේ ශක්‍යතාව හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලංකාව ගොඩනගා ගන්නේ ද යන්න කෙරෙහි ද එහිදී අවධානය යොමු කළ යුතුය.
අවසාන වශයෙන් කිව යුත්තේ, අපට ඇති ශක්තිමත්ම ණය තිරසර කිරීමේ උපායමාර්ගය තවත් බද්දක් පැනවීම නො වන බවයි. එය නම් වඩාත් විශාල, වඩාත් ඵලදායී, අපනයන මත පදනම් වූ සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ආර්ථිකයක් ගොඩනැගීමයි.
පෝලිම්, බඩු හිඟතා, විදුලි කප්පාදු, විදේශ විනිමය හිඟය සහ 2022 වසරේ සිදුවූ ස්වෛරී ණය පැහැර හැරීමේ අඳුරු යුගයේ සිට ශ්‍රී ලංකාව අද බොහෝ දුරක් පැමිණ තිබේ.
එම ප්‍රගතිය අනිවාර්යයෙන්ම අගය කළ යුතුය. එහෙත්, මේ මොහොතේ පවතින විශාලතම අනතුර වන්නේ, හුදෙක් ආර්ථිකය ස්ථායී වීම යනු රට යථා තත්ත්වයට පත්වීම ලෙසත්, රට යථා තත්ත්වයට පත්වීම යනු සමස්ත පරිවර්තනයක් ලෙසත් වරදවා වටහා ගනිමින් අප සෑහීමකට පත්වීමයි. මේ වන විට ශ්‍රී ලංකාව සිය ණය ශ්‍රේණිගත කිරීම වර්ධනය කර ගෙන ඇත. දැන් කළ යුත්තේ රටේ ආර්ථික ශක්‍යතාව වර්ධනය කර ගැනීමයි. රටක් සැබැවින්ම යථා තත්ත්වයට පත්වීමේ අවසාන මිනුම් දණ්ඩ වන්නේ IMF වෙතින් ලැබෙන තවත් ණය වාරිකයක් හෝ ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමේ තවත් නිවේදනයක් නොවේ.
එය සැබැවින්ම මැනිය හැක්කේ, ශ්‍රී ලංකාවට තමන්ගේම අනාගතය වෙනුවෙන් මුදල් යෙදවීමට හැකි වන දවසටය. කිසිවකුට අත නො පා සිය ණය වගකීම් පියවීමට හැකි වන දවසටය. මීළඟ බාහිර කම්පනයට සාර්ථකව ඔරොත්තු දෙමින්, වෙනත් පාර්ශ්වයක මුදා ගැනීමක් අවශ්‍ය නො වන අයුරින් ආර්ථිකය ස්වාධීනව වර්ධනය වන දවසටය.
(ලිපියේ රචකයා වන කානා කනනාදන්, අප්‍රිකානු මහාද්වීපය තුළ දශක හතරකට වැඩි අත්දැකීම් සහිත හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකි. ඔහු තානාපතිවරයකු, ව්‍යාපාරිකයකු, ලොබිකරුවකු (lobbyist) මෙන්ම අප්‍රිකානු කටයුතු පිළිබඳ විශේෂඥයකි. අප්‍රිකාවේ දිගුකාලීන පදිංචිකරුවකු වන ඔහු, අප්‍රිකානු ජාතීන් 22ක් සඳහා සමගාමී අක්තපත්‍ර සහිතව උගන්ඩාවේ සහ කෙන්යාවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කළේය. ඔහු එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN Habitat) සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) නිත්‍ය නියෝජිතවරයා ලෙස ද කටයුතු කළේය. වසර ගණනාවක් පුරා අප්‍රිකානු රජයන් සමග සමීපව කටයුතු කර ඇති ඔහු, මහාද්වීපය පුරා මැතිවරණ නිරීක්ෂකවරයකු ලෙස කටයුතු කරමින් අප්‍රිකානු නායකයන් සමග කල්පවත්නා හවුල්කාරිත්ව ගොඩනගා ගෙන ඇත. ගිනියා ජනරජයේ හිටපු ජනාධිපති මහාචාර්ය ඇල්ෆා කොන්ඩේගේ ආර්ථික සහ ආයෝජන උපදේශකවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබේ.)











