– අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
රටකට අනාගතය කරා ගමන් කළ හැක්කේ අතීත වැරදිවලට දඬුවම් කර හෝ සමාව දී හෝ නිවැරදි කරගෙන ඉදිරියට යාමෙනි. වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබා දිය යුත්තේ හුදෙක් දේශපාලනිකවම නොවේ. සමාජමය මානුෂිකත්වයකිනි.
ජවිපෙ රටකට දරා ගත නො හැකි තරම් වැරදි කළේය. එහෙත්, ප්රකාශිතව හා අප්රකාශිතව සමාජ සමාව ලැබිණි. නිදසුනක් ලෙස 1989 සියලු ඝාතන සම්බන්ධයෙන් වගකිව යුතු ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහට ලංකාවට පැමිණ දේශපාලනය කිරීමේ අවස්ථාව ලැබිණි.
අද වන විට රාජ්‍ය නායකයාව සිටින්නේ එම ජවිපෙ කැරැල්ල සමයේ කිසියම් අප්රකාශිත ත්‍රස්ත මෙහෙයුමකදී තම සමීපතම මිතුරා වූ ඥාති සොයුරා මිය යද්දී පණ බේරා ගත් අයෙකි. සමාව දීමේ සංස්කෘතිය එතරම් දුරට පවා යා හැකිය.
පසුගිය දිනෙක උතුරේ උත්කර්ෂවත් තිලීපන් සමරුවක් පැවැත්විණි. එය කොටින්ගේ දේශපාලනය යළි නඟා සිටුවීම සඳහා තැබූ මුල් පියවරක් බව නො තේරෙන්නේ බබෙකුටය. ආණ්ඩුව එයට ඉඩ දුන් බව පෙනේ. එය හොඳය. එය ද සමාව දීමේ සංස්කෘතියෙහි ප්රකාශනයකි.
මේ වන විට ප්‍රධාන රාජ්‍ය විමර්ශක තනතුරු සඳහා මාලිමා හා ජවිපෙ ක්රියාකාරිකයන් පත් කර තිබේ. විමර්ශන සිදු කරන්නේ තෝරා බේරාගෙනය. රජයට අභියෝගාත්මක දේශපාලනඥයන් විමර්ශනවල විශේෂ ඉලක්ක වී තිබේ.
ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව ඔප්පු විය. ඒ නඩු පිටුපස ද ජවිපෙ සිටියේය. දැන් ඔහුට දුන් ජනාධිපති සමාව අධිකරණය විසින් අවලංගු කර තිබේ. ඥානසාර හිමියන් ඉල්ලා සිටින්නේ ජනාධිපති සමාව දුන් ආකාරය වැරදි නම්, දැන් ජනාධිපතිවරයාට නිවැරදි ලෙස එය ප්රදානය කළ හැකි බවයි.
නඩු තීන්දුවට සති දෙකක් ගත වී ඇතත්, ආණ්ඩුවේ දේශපාලනිකකරණය වී ඇති පොලීසිය ප්‍රසිද්ධියේ පෙනී සිටින ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට අසමත් වී ඇත. එපමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නොමැති බවට බොළඳ තර්කයක් ද නැගෙයි.
ප්රශ්නය එය නොවේ. රටේ ඉහළම තැන් දක්වා බෝන් අගේන් ආක්‍රමණය විහිදී තිබෙන සනදර්භය තුළ හා පාස්කු ප්‍රහාරය එල්ල කළ අන්තවාදය පෝෂණය කළ මුස්ලිම් සමාජය එයින් ප්‍රධාන වින්දිතයන් වූ ක්‍රිස්තියානි ජනතාවගෙන් කොටසකගේ නායකයා වූ කාදිනල් සමග එක්ව එම ප්‍රහාරයේ වගකීම සාක්ෂි විරහිතව සිංහල බෞද්ධයන් පිට පැටවීමට කුමන්ත්‍රණ කරමින් තිබෙන සන්දර්භය තුළ තව තවත් සිංහල බෞද්ධයන් කුපිත කර ගැනීමට ආණ්ඩුව තෙපර බෑමයි.
එයට හේතුව, ජවිපෙ දැන් ජවිපෙ සමග පවුල් කන සිංහල බෞද්ධ විරෝධීන්ට කලියෙන් පවුල් කෑවේ සිංහල ජාතිවාදීන් සමග වීමයි. ඒ නිසා අර සිංහල බෞද්ධ විරෝධීන්ට නො තේරෙන සිංහල සමාජයේ නාඩි ජවිපෙට දැනේ.
දැන් මේ බෝන් අගේන් සහ ජවිපෙ විමර්ශක බුවාලා හොට පටලවා ගෙන හමාරය.
මේ අතර, ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනින්නා සේ ගාමිනී වියන්ගොඩ සූරීන් මතු වී ඥානසාර හිමියන්ටත් ආණ්ඩුවටත් දෙහි කපාගෙන කපාගෙන යයි. මෙවැනි දුෂ්කර ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමේදී ආණ්ඩුවෙන් මස් රාත්තලම ඉල්ලමින් කරදර නො කළ යුතුය.
එසේ නැති නම්, තම දූෂණ විමර්ශක රංගධරයා යොදවා යහපාලන කාලේ අගමැති කාර්යාලයේ ලැගගෙන නැටූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නාඩගම ගැන සොයන බවට තර්ජනය කර හෝ එය තේරුම් ගැනීමට සලස්වා ලාල් විජේනායක සහෝදරයා නිහඬ කළ පරිද්දෙන් අවශ්‍ය නම් ගාමිනී වියන්ගොඩ සම්බන්ධයෙන් ද පරණ ස්ටෝරිබුක් කේස් අවුස්සන්නට බැරි නැත.
අප කියන්නේ සරල කාරණයකි. මේ අතීත අන්කොන් ඔක්කොම හොය හොයා හිරේ දැමිය හැකි හැම එකාම තෝර තෝරා මේ ආණ්ඩුවෙනුත්, අනාගත ආණ්ඩුවකිනුත් හිරේ දමනවා වෙනුවට කළ යුත්තේ අනාගතය දෙස බලා කටයුතු කිරීමයි.
ඥානසාර හිමිගේ සියලු වැරදි ක්‍රියාවලට සමාව දිය හැකි එක් හේතුවක් තිබේ. එනම්, ගහන බව දැනගෙන සිටියත්, මෙහෙම ගහයි කියා දැන නො සිටි ආරක්ෂක බලධාරීන් අතර, මුස්ලිම් සමාජයේ මුල් බැස ගනිමින් තිබුණු අන්තවාදයෙන් මතු වූ පිරිසක් මෙහෙම ගහනු ඇතැයි කෙසේ හෝ දැනගෙන එයට ප්‍රතිචාර දැක්වූ එකම ‘මිනිහා’ (ගාමිනී වියන්ගොඩ කියන්නා සේ මා ද හිමියන් කියන්නේ නැත) ඔහු පමණි.
පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ පිරිස් දැන් මියගොසිනි. දැනට සියවස් ගණනකට සිරගත කර සිටින පිරිස් ද පුනරුත්ථාපනය කර පොදු සමාවක් දී නිදහස් වීමට හැකි වන පරිදි කටයුතු සැලසිය යුතුය. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හේතුවෙන් සිරගත වී සිටින පිරිස් ද පුනරුත්ථාපනය කර පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතුය.
විප්ලවවාදියකු ලෙස මා බලයට පත් වූවා නම්, මා කියන්නේ මෙපමණය. අතීත කතා අවසන් කර, එයින් උගත් පාඩම් මතකයේ රඳවා ගනිමින්, මෙතැන සිට අලුතෙන් පටන් ගනිමු.
දේශපාලනයේදී වැරදි නො කළ කිසිවකු නැත. දේශපාලන වැරදි වෙනුවෙන් දේශපාලන සමාවන් අවශ්‍යය.










