– අජිත් පැරකුම් ජයසිංහ,
කලාව, සාහිත්‍යය අහිංසක නැත. ඒ පසුපස දේශපාලන අරමුණුවල සිට දේශපාලන රැකවරණ ලබා ගැනීම දක්වා විවිධ අරමුණු තිබිය හැකිය.
කෙසේ වෙතත්, කලාවට, සාහිත්‍යයට අදාළ ප්‍රකාශනයේ නිදහසක් තිබේ. එය නිර්වචනය කිරීම පහසු නැත. එයට හේතුව, කලාව හා සාහිත්‍යය පරිකල්පනය මත රඳා පවතින්නක් බැවිනි. පරිකල්පනයට කිසිදු සීමාවක් නැත. පරිකල්පනය ඇසුරෙන් කරන කලාත්මක ප්‍රකාශනයක සීමාව සලකුණු කිරීම පහසු නැත්තේ එහෙයිනි.
ලිංගිකත්වය නිරූපණය සම්බන්ධයෙන් සමාජ සම්මතයන් තිබේ. එහෙත්, එහිදී ද පරිකල්පනය අසීමිතය. එකී අසීමිත පරිකල්පනයෙන් ඔබ කැමති පොදක් ඔබට පෝන් වෙබ් අඩවියකින් සොයාගත හැකිය. එහෙත්, ලංකාවේ නීතිය අනුව, ඒවා බැලීම පවා නීති විරෝධීය. ඒ වුණාට ඔබ හොරෙන් පෝන් බලනවා දැයි බලන්නට තරම් ලංකාවේ පොලිසිය ශක්තිමත් නැත.
කලාව, සාහිත්‍යය හා සම්බන්ධ පරිකල්පනයේ සීමාව තේරුම් ගැනීම ප්‍රධාන වශයෙන් ම නිර්මාණකරුවාගේ වගකීමකි. එහෙත්, නිර්මාණකරුවාගේ අරමුණු ද අහිංසක නො විය හැකිය. එසේම, කිසියම් සන්දර්භයකදී හානිකර නො වන අරමුණක් තවත් සන්දර්භයකදී හානිකර විය හැකි ය. සමහර චිත්‍රපට වැඩිහිටියන්ට පමණක් සීමා කිරීම ද එවැනි තත්වයකි. එහෙත්, ඒවා සමහර වැඩිහිටියන්ට ද ඔෆෙන්සිව් හෙවත් වරදකාරී වේ.
ඔබ කලාකරුවකු නම්, ඔබ හැසිරිය යුත්තේ කලාකරුවකු සේ ය. ඔබ පොලිස් නිලධාරියෙකු නම්, ඔබ හැසිරිය යුත්තේ පොලිස් නිලධාරියකු සේ ය. කවියකු වන ඉලක්ෂ ජයවර්ධන පොලිස් නිලධාරියෙකි. එහෙත්, පොලිස් රාජකාරියකට ගිය විට ඔහු කළ යුත්තේ කවි ලිවීම නොව, පිළිවෙල පවත්වා ගැනීම සඳහා අවශ්‍ය නම්, මිනිසකු මැරීමට වෙඩි වුව තැබීමයි.
මාලිමා කලාකරුවන්ට වුණ හුට්ටප්පරය වන්නේ ඔවුන් කලාකරුවන් වන ගමන්ම පොලිස්කාරයන් ද වන්නට වීමයි. මාලිමා ආණ්ඩුවෙන් ලැබෙන කටු සූප්පු කරන එකට හිලව් ලෙස ඔවුන්ට එසේ කරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශයෙන් කියා ඇත. ඒ නිසා ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ, රවී සිරිවර්ධන, කෞශල්‍ය කුමාරසිංහ, සිවගුරුනාදන් වැනි ‘ප්‍රවීණ’ කලාකරුවෝ පිරිසක් ජනාධිපති මාධ්‍ය අංශයට කලා පොලිස් වීඩියෝ වගයක් ලබා දී තිබේ. ඒවා ජෝක් වීම නිසා ජෝක් වීමට නියමිතව සිටි තව බොහෝ පිරිසක් පණ බේරාගෙන තිබේ.
ජාතික ප්‍රශ්නය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක්, දෙමළාගේ ප්‍රශ්නය හඳුනා ගැනීමක්, දෙමළාගේ හඬට සවන් දීමක් ආදිය වෙනුවෙන් ජීවිත කාලය පුරාම පෙනී සිටි වැඩිහිටි සමාජ ක්‍රියාකාරිකයකු වන සිවගුරුනාදන් පවා කලා පොලිස් වීඩියෝවක් නිකුත් කර තිබිණි.
දීපචෙල්වන්ගේ කෘති සම්බන්ධ දේශපාලනික හා නීතිමය ගැටලු තිබිය හැකි ය. එය මේ වෙලාවේදී ඇද ගැනීම ද දේශපාලනික ය. ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීම දේශපාලකයන් සහ පොලිසිය කර ගත යුතු ය. තමන්ට අදාළ නැති පොලිස්කාරකම් කරන්නට කලාකරුවන් යා යුතු නැත.
බල්ලාගේ වැඩේ කරන්නට ගිය බූරුවාගේ කතාව කොයි තරම් අසා තිබුණත්, මේ ඊනියා කලාකරුවන්ට එහි අර්ථය වැටහී නැත. බලය ඔවුන් අන්ධ කර ඇත.
ඔබ කලාව කරන විට ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්න. දේශපාලනය කරනවා නම් කලාව අතහැර දමා කලා පොලිසිය සමග එක් වන්න.
දොන් නම් දොන් ය. සිමන් නම් සිමන් ය. දොන් සිමන් දෙකක් බැරි ය. හාවුන් සමග දුවන ගමන් වෘකයන් සමග දඩයම් කිරීම කළ නො හැකි ය. දැන්වත් තේරුණා ද දන්නෙ නැහැ.












මේක අහඹු සිදුවීමක් ලෙස බැලිය නොහැක. වෙනත් රටක සිට එකම වර්ගයේ පොත් 350ක් වැනි ප්‍රමාණයක් ලංකාවට ගෙන එන විට, රේගු අධිකාරිය විසින් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන්ම සාධාරණය. “මෙතරම් ප්‍රමාණයක් කුමන අරමුණක් සඳහාද?” යන්න විමසීම ඔවුන්ගේ වෘත්තීය වගකීමක් වන අතර, එය විවේචනයට ලක් කළ යුතු ක්‍රියාවක් නොවේ.
එහෙත්, මෙහි සැබෑ ගැටලුව තවත් තැනක පවතී. ඇතැම් පුද්ගලයින් මෙම ස්වාභාවික පරීක්ෂණ ක්‍රියාවලියම තමන්ගේ පොත් සඳහා ප්‍රචාරණ උපායක් බවට පරිවර්තනය කරගෙන ඇත. රේගු පරීක්ෂාවක්—එවැනි සාමාන්‍ය ක්‍රියාවලියක්—විවාදයක් බවට, එතැනින් ප්‍රචාරණයක් බවට, අවසානයේ ජනතා අවධානය දිනා ගැනීමට භාවිතා කිරීම මෙහි පැහැදිලිව දක්නට ලැබේ. මෙය අහඹු හෝ එක්වරක් සිදුවන ක්‍රියාවක් නොව, කාලයෙන් කාලයට නැවත නැවත සිදුකරන සැලසුම්ගත ක්‍රමවේදයක් බවට සැකයක් නැත.
විශේෂයෙන්ම, “ත්‍රස්තවාදී”, “සයනයිඩ්”, “උතුර-දකුණ වෙන්කරන්නේ කොහොමද?” වැනි සංවේදී හා අවධානය ආකර්ෂණය කරන මාතෘකා යොදා ගැනීම, රේගු අධිකාරියේ අවධානය ඉබේම කැඳවයි. එවැනි මාතෘකා සහිත පොත් රටට ගෙන එන විට, ඒවා පරීක්ෂා කිරීම අසාමාන්‍ය දෙයක් නොව, සෑම රටකම අනුගමනය කරන සම්මත ක්‍රියාවලියකි. එය නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහි ක්‍රියාවක් ලෙස පෙන්වාදීම හෝ විවේචනය කිරීම, තත්ත්වය වක්‍ර කර පෙන්වීමක් පමණි.
තවද, මෙවැනි “විවාදයන්” හරහා විදේශීය වෙළඳපොළ—විශේෂයෙන් UK සහ Canada වැනි රටවල්—ඉලක්ක කරමින් අවධානය දිනා ගැනීමේ උත්සාහයක් ද පැහැදිලි වේ. විවාදය ප්‍රචාරණයක් බවට, ප්‍රචාරණය වෙළඳපොළ ප්‍රවේශයක් බවට පරිවර්තනය කරන මෙම ක්‍රමවේදය, සරල වශයෙන් කිවහොත්, සංවේදීත්වය වාණිජිකරණය කිරීමකි.
එබැවින්, මෙහිදී ප්‍රශ්නය රේගු අධිකාරිය ගැන නොවේ. ප්‍රශ්නය වන්නේ, සාමාන්‍ය රාජකාරි ක්‍රියාවලියක් හිතාමතාම විවාදයක් බවට පත් කර, ඒ තුළින් ලාභ ලබා ගැනීමට උත්සාහ කිරීම පිළිබඳවය. අපි විවේචනය කළ යුත්තේ එයයි.
සාමාන්‍ය වචන වළින් කියනවනම්,
මේක අහඹු සිදුවීමක් ලෙස බැලිය නොහැක.
නිකමට හිතන්නකෝ…
ඔයා වෙන රටක ඉඳලා එකම වර්ගයේ පොත් 350ක් ලංකාවට ගෙන්නනවා කියලා. එතකොට රේගුවෙන් “මෙච්චර පොත් ගෙනාවේ මොනවටද?” කියලා අහන එක අමුතු දෙයක්ද? “ත්‍රස්තවාදී”, “සයනයිඩ්”, “උතුර-දකුණ වෙන්කරන්නේ කොහොමද?” වගේ titles දාලා පොත් ගෙනාවොත්, රේගුවෙන් ඒවා check කරන එක අමුතු දෙයක්ද? ඒක ඔවුන්ගේ රාජකාරියක් නෙ. ඒකම තමයි මෙතැන වෙලා තියෙන්නේ.
හැබැයි මෙතැන තවත් දෙයක් වෙලා තියනවා.. ඒ තත්ත්වය දීපචෙල්වන් තමන්ගේ පොත්වල marketing එකට හරවගන්න එක. ඒක එක වරක් නෙවෙයි… කාලෙන් කාලෙට එයා ඒකම කරන එක Google එකේ search කරලා බලාගන්න පුළුවන්. ඒ හින්දයි දෙමළ සාහිත්‍යවාදීන් මේ ගැන නිහඬව ඉන්නේ. Marketing එකත් එක්ක UK, Canada වගේ රටවල් වලට පැනගන්නත් මේ වගේ දේවල් උදව් වෙනවා නේ.
දීපචේලවන්ගේ උපක්‍රමයට සිංහල සාහිත්‍යවාදීන් කීප දෙනෙක්ම අහුවෙලා.