ceylon tea

ශ්‍රී ලංකාව නැවත සිලෝන් කරමු

අජිත් පැරකුම් ජයසිංහ

බුද්ධිමය දේපල පනත මගින් සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) , සිලෝන් පෙපර් ( Ceylon Pepper), සිලෝන් කැෂු ( Ceylon Cashew) වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන අතර මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක්ද ස්ථාපනය කර තිබෙනවා.
ලංකාවේ නම ඇත්තටම ශ්‍රී ලංකාවද? සිලෝන්ද? ලංකාවට ලෝකයේ පිළිගැනීමක් ඇත්තේ ශ්‍රී ලංකාව ලෙස නොව සිලෝන් ලෙස බව පැහැදිලියි.

ශ්‍රී ලංකාව යනු ඇත්තෙන්ම සිංහල බෞද්ධ ආධිපත්‍යවාදයේ ප්‍රචණ්ඩ ප්‍රකාශනයක්. ලංකාව ශ්‍රී ලංකාව වුණේ 1972 තරම් මෑතකදීයි. එතෙක් මෙරට නිල රාජ්‍ය නාමය සිංහලෙන් ලංකා, දෙමළෙන් ඉලංකෛ හා ඉංග්‍රීසියෙන් සිලෝන් වුණා. ලංකා කියන්නේ ඔස්ට්‍රො ආසියාතික මූල භාෂාමය වචනයක් බවත්, එහි අරුත දූපත බවත් විකිපීඩියාහි දැක්වෙනවා. ඩොමීනියන් තත්වයේ සිටි ලංකාව නිල වශයෙන් පූර්ණ නිදහස්භාවය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ජනරජය බවට පත් වුණේ 1972දීයි. 1972දී තමයි ලංකාව රාජ්‍ය ආගමක් සහිත රටක් බවට පත්වුණේ. වසර 1978දී එය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජය නමින් ලිබරල් ධනවාදයට වැඩි නැඹුරුවක් සහිත රාජ්‍යයක් බවට පත් වුණා.

1976 මැයි 14දාත් ලාංකික ජාතික රාජ්‍යය සම්බන්ධයෙන් වැදගත් දිනයක්. වඩුක්කොඩෙයි යෝජනාව සම්මත වුණේ එදායි. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය මත ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ස්වයං නිර්ණ හිමිකම මත පදනම් වූ අරගලයට සුජාතභාවය ලැබුණේ වඩුක්කොඩෙයි සමුළුවේදීයි. ඉංග්‍රීසීන් විසින් අර්ධ වශයෙන් ගොඩනගන ලද ලංකා රාජ්‍යය සුළුතර ජාතීන්ට සමාන අවස්ථා ලැබෙන ආකාරයට ප්‍රතිසංස්කරණය කරගැනීමට දෙමළ ජනතාව දීර්ඝකාලීනව අරගල කළා. බොහෝ සිංහලයන් විසින් ජාතිවාදී ඉල්ලීමක් ලෙස හෙළා දකිනු ලබන පනහට පනහ ඉල්ලීමෙන් අපේක්ෂා කළේ මහජන නියෝජනයෙන් සියයට 50ක් සහ සෙසු සියලු සුළු ජාතීන්ට සියයට පනහක් ලෙසයි. එහෙත්, වාර්ගික නියෝජනය වෙනුවට භූගෝලීය මහජන නියෝජනය තෝරාගැනීම ප්‍රගතිශීලී තීරණයක් ලෙස සැලකිය හැකියි. එහෙත්, කොළඹ කේන්ද්‍රීය ශ්‍රී ලාංකික රාජ්‍යයේ සිංහල මූලිකත්වය විසින් ප්‍රචණ්ඩ ලෙස සෙසු ජාතීන් රාජ්‍ය කටයුතුවලින් බැහැරකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතික ගැටලුවක් නිර්මාණය වුණා.

සිලෝන් ලංකාව වී ශ්‍රී ලංකාව ලෙස දෙවරක් ම නාමකරණය වුණත්, ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගාගැනීමට අප සමත් වුණේ නැහැ. ගුවන් ගමන් බලපත්‍රයේ ශ්‍රී ලාංකික ලෙස සඳහන් වූවාට අප තවමත් සිංහල, දෙමළ, මුස්ලිම්, වැදි, බර්ගර්, මැලේ ආදී ජනවර්ගයි. දියුණු වන විට වාර්ගික අනන්‍යතාවන් මුළුමනින් ම අහෝසි විය යුතු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. මා අදහස් කරන්නේ අප දියුණු ජාතියක් වන්නේ ජනවාර්ගික අනන්‍යතාවන් රැකගන්නා ගමන් ම වඩා පුළුල් දේශපාලන ප්‍රජාවක් ගොඩනගාගැනීමට සමත් වන්නේ නම් පමණයි. අවාසනාවට එය සිදු වී නැහැ.

ශ්‍රී ලංකාව රාජ්‍ය නාමයක් ලෙස දේශපාලන ලෝකයේ තහවුරු වී තිබෙන්නේ බොහෝ පැතිවලින් අසාර්ථක රාජ්‍යයක් ලෙසයි. ආර්ථික ලෝකයේ ශ්‍රී ලංකා සන්නාමය ඉහළින් තිබෙන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් සම්බන්ධයෙනුයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ යම් දුරකට ශ්‍රී ලංකා සන්නාමයට ගරුත්වයක් තිබෙනවා.

ඒත්, ලංකාවේ ගරුත්වය තවමත් රැඳී තිබෙන්නේ සිලෝන් නාමය තුළයි. සිලෝන් ටී, සිලෝන් සිනමන්, සිලෝන් පෙපර් එවැනි ගෞරවනීය සම්මාන කීපයක්.

“මදූරාසි විශ්වවිද්‍යාල ශබ්දකෝෂයට අනුව ඊලාම්හි නිරුක්තිය සිංහලාම්. ඊළම කියන්නේ සිංහලේට. සෙයිලාන් සිලෝන් ආදී වචන සිංහල යන්න විවිධ භාෂාවලට බිඳී ගිය ආකාරය” යයි මහාචාර්ය නලින් ද සිල්වා පවා පවසා තිබෙනවා (මූලාශ්‍රය: කාලය වෙබ් අඩවිය). සිලෝන් නාමය ලංකාවේ සියලු ජාතීන් ප්‍රතික්ෂේප නොකරන රාජ්‍ය නාමයක්. ඉතින් අපි ශ්‍රී ලංකාව වෙනුවට සිලෝන් යයි භාවිතා කරන්නට බිය විය යුත්තේ ඇයි?