Quarantine cartoon

එකම අත්වැරැද්ද දෙවෙනි වරටත් කරන්නේ නම්, එය අත්වැරැද්දක් නොව තෝරාගැනීමකි

අජිත් පැරකුම් ජයසිංහ

කොවිඩ්-19 මුල් සමයේදී පසුගිය මාර්තුවේ සිට මාස ගණනක් ඇඳිරි නීති දමාගෙන ආර්ථිකය කඩාබිඳ දමද්දී අපි එදා ද එය මුග්ධ වැඩක් බව පැවසුවෙමු. එහෙත්, ඒ වන විට, ආණ්ඩුව සිටියේ මැතිවරණ උණක හා දේශපාලන බලයෙන් ඔලුව ඉදිමුණු අධික මුග්ධකමක ය. කොවිඩ්-19 පාවිච්චි කර ඡන්දයෙන් තුනෙන් දෙකේ ජනවරමක් ලබාගැනීමට ආණ්ඩුවට තිබූ උවමනාව නම් ඉටු වූ බව පෙනේ. එහෙත්, රටට ලැබුණේ කුමක්ද?

එදා එසේ ඇඳිරි නීති දමා රටේ ම ආර්ථිකය විනාශ කර දැමුවේ නැතිනම්, මේ මොහොත වන විට ලංකාවට ඇත්ත ලොක්ඩවුන් එකකට යාමට හැකියාව තිබිණි. දැන් ආර්ථික වශයෙන් එසේ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැත. එදා ඇඳිරි නීතිය දැන් උගත් පාඩමකැයි එය උත්කර්ෂයට නැගූ නිලධාරීහු දැන් කියති. හේතුව ඒ වීරෝදාර විසඳුම දැන් දෙන්නට බැරි වීමයි.

සැබෑ කොරෝනා වයිරස අභියෝගයකට ලංකාව මුහුණ දී සිටින්නේ දැන් ය. වයිරසය කොහෙන් ආවාදැයි සොයාගැනීම ඉතා දුෂ්කර තත්වයක් තිබේ. කොහෙන් ආවත්, දැන් එය බෙහෙවින් පැතිර තිබේ.

එය ආ පාර සෙවිය යුතුය. එහෙත්, මේ ටිකත් දැනගත යුතුය. එය කොහෙන් හෝ ලංකාවට එන එක වළක්වාගැනීම පහසු නැත. ගුවන් තොටුපළ වසා දැමුව ද, මුහුදු මාර්ගවලින් එය ලංකාවට පැමිණීමට ඇති ඉඩකඩ මුළුමනින් ම ආවරණය කළ නොහැකිය. ලෝකය ම වයිරසයට ගොදුරු වෙද්දී, ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලංකාවට එයින් පූර්ණව ගැලවිය නොහැකිය. අප කළ යුත්තේ එය පාලනය කරගැනීමයි.

කොවිඩ්-19 සම්බන්ධයෙන් අප මුල සිට ම කියා සිටියේ පාලකයන් කොරෝනා සීරෝ කළ හීරෝලා වෙන්නට යාම මුග්ධකමක් බවයි. කොරෝනා වයිරසය පවතින ලෝකයක ජීවත් වීමේ අභියෝගය මහජනයා භාරගත යුතුය. මහජනයා ලෙස අප වයිරසය සමග සටනට හුරු විය යුතුය.

පසුගිය කාලයේ අපගේ නායකයන් හැසිරුණ ආකාරය සිහිපත් කර බලන්න. මහජනතාව ලෙස අප ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටියේ නැද්ද? දෛනික ජීවන අරගලය වෙනුවෙන් කරන්නට සිදු වූ දේ මිස අප කවුරුවත් දෛනික පදනමින් මහජනයා ඒකරාශී කරමින් සංදර්ශන පවත්වන්නට ගියේ නැත. නායකයන් ආදර්ශවත් වූයේ නැත. දැන් පාලිතයන්ට බැනලා වැඩක් නැත. ඔවුහු පාලකයන් අනුගමනය කරති.

රජය කළ යුත්තේ මහජනයාට කොරෝනා වයිරසය සමග ජීවත් වීම පහසු කිරීමයි. කොවිඩ්-19 ව්‍යාප්ති ප්‍රස්ථාරයේ වක්‍රය පැතලිව පවත්වාගන්නට අවශ්‍ය සෞඛ්‍ය හා වෛද්‍ය පහසුකම් සැපයිය යුතුය. වැඩිපුර පීසීආර් පරීක්ෂණ සිදුකළ යුතුය. අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුය. කොවිඩ්-19 තරමට ම ආර්ථිකය කෙරෙහි ද අවධානයෙන් කටයුතු කළ යුතුය. පටු ජනප්‍රියවාදයන් අතහැර යථාර්ථවාදීව කටයුතු කළ යුතුය.

මේ මොහොතේ සියලු තීරණ, තීන්දු, ක්‍රියාමාර්ගවලදී ජනාධිපතිතුමා, එතුමාගේ යාළු හමුදා නිලධාරීන්, බැසිල්තුමා, රාජපක්ෂ පවුලේ සෙසු අය, පාර්ලිමේන්තුව, දැනට අක්‍රිය පළාත් සභා, පළාත් පාලන ආයතන, රජයේ ආයතන, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන, ජනමාධ්‍ය හා මහජනතාව පාර්ශ්වකරුවන් විය යුතු ය.

මෙය සර්ගේත්, ශවේන්ද්‍රගේත්, අජිත් රෝහණගේත් වැඩක් නොව අප සැමගේම වැඩකි. කොරෝනා වයිරසය පාලනය කරගෙන ජීවත් වීමට ලාංකික සමාජයට හැකි වන්නේ එවිට ය.

කොවිඩ්-19 මර්දනය මිලිටරි වැඩක් නොව, සෞඛ්‍ය කාර්යයකි. ඒ නිසා එහි ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය අංශවලටයි. හමුදාව, පොලිසිය ආශ්‍රිතයන් හඳුනාගැනීම, නිරෝධායනය වැනි කාර්යයන් දැනට සිදුකරන ආකාරය හොඳය. ඒ සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය. එහෙත්, කොවිඩ්-19 මර්දන මෙහෙයුම තිරසර අන්දමින් සාර්ථක වන්නේ ප්‍රජාතාන්ත්‍රික මහජන වගකීමෙන් මිස අධිකාරිවාදයෙන් නොවේ.

එක වරක් සිදු වූ දෙයින් හෝ නායකයන් පාඩමක් ඉගෙන ගත යුතුය.

ඔබ එකම අත්වැරැද්ද දෙවෙනි වරටත් කරන්නේ නම්, එය අත්වැරැද්දක් නොව තෝරාගැනීමකි.

(කාටුනය තරමක් පරණ එකකි.)