Kadupul flowers

අසල්වැසියකුට කොවිඩ් නම් ඔබ හැසිරිය යුතු අන්දම

ඔබ ජීවත් වන ප්‍රදේශයේ හෝ ඔබගේ සේවාස්ථානයේ හෝ කොවිඩ්-19 රෝගියකු හෝ ආශ්‍රිතයකු හෝ හඳුනාගෙන එම පුද්ගලයා රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන විට කරුණාකර එය ඡායාරූපයට නැගීමෙන් හෝ වීඩියෝගත කිරීමෙන් වළකින්න.

වීඩියෝ කිරීමෙහි හෝ ඡායාරූප ගැනීමෙහි යෙදෙන කිසියම් පුද්ගලයකු දුටුවොත්, එම පුද්ගලයාට එය නරක වැඩක් බව කියා දී එසේ නොකරන්නැයි ඉල්ලා සිටින්න. කෙසේ වෙතත්, කලහ ඇති කරගන්න එපා.

මාධ්‍ය කැමරාකරුවන් මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටී නම්, ඔවුන්ට ඉවත් වන්නැයි කරුණාවෙන් දැනුම් දෙන්න. අසල්වැසියන් ලෙස ඔබ සාමූහිකව එයට විරුද්ධ බව පෙන්වන්න. මාධ්‍ය ආවරණය වළක්වන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න. මෙවැනි අවස්ථාවක් මාධ්‍ය මගින් වාර්තා කිරීමේ අවශ්‍යතාවක් නැත. එයින් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට බලපෑම් ඇති වෙයි.

ඔබේ සඳලුතලයේ හෝ කවුළුව අසල හෝ ගේට්ටුව අසල හෝ ආරක්ෂිත දුරකින් සිටගෙන නිරෝධායනයට/ රෝහලට යන පුද්ගලයාට ඉක්මන් සුවය පතා ධෛර්යවත් කරන්න.

වයිරසය පැතිරෙන ආකාරය අනුව, ඕනෑම කෙනෙකු එයට ගොදුරු විය හැකිය.

ආසාදිතයකු මුහුණ දෙන තත්වය ගැන සිතන්න.

  1. එම පුද්ගලයාට ගරුකරන්න.
  2. එම පුද්ගලයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න
  3. ඔබ එම පුද්ගලයා ගැන සිතන යහපත් මනුෂ්‍යයකු බව අඟවන්න.
  4. වෙනත් අය කලබලයට හෝ බියට හෝ පත් නොකරන්න.

රෝගියාට අවමන් කරන්න එපා. එම පුද්ගලයාට යම් රෝග තත්වයක් තිබෙනවා. එපමණයි. එය ඉක්මණින් සුවපත් වේවි. එම පුද්ගලයා අපරාධකරුවකු නෙමෙයි.

එම පුද්ගලයාට ඉක්මන් සුවය පතා කෙටි පණිවුඩයක් යවන්න. හදිසියේ දුරකථන ඇමතුම් දී විස්තර විමසීමෙන් වළකින්න. රෝගියා සුවපත් වෙමින් සිටින විට කරදරයක් නොවන පරිදි ඇමතුමක් දෙන්න.

කොවිඩ-19 නිසා රෝහල්ගත වන්නට සිදු වූ හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යන්නට සිදු වූ අයගේ නිවෙස් ගැන සෝදිසියෙන් සිටින්න. සොර සතුරු කරදරවලින් ඒවා ආරක්ෂා කරන්න. ඒත්, නිවසට යන්න එපා.

නිවෙස්වල නිරෝධායනය වන අයට දුරකථනයෙන් කතා කර දුක සැප සොයා බලා, ඔවුන්ට කිසියම් අවශ්‍යතාවක් තිබේ නම් සපයාගැනීමට කළ හැකි උපකාර කරන්න. ඔවුන්ගේ සැපයුම් නිවසේ ගේට්ටුව අසලින් තබා එය ගන්නැයි කියා එන්න.

අසල්වැසියන්, ඥාතීන්, මිතුරන් ලෙස ඔබ එම පුද්ගලයන්ට සැලකූ ආකාරය ඔවුන්ට හැමදාමත් මතක තිබේවි. එම පුද්ගලයා තුළ ඔබ ගැන සොඳුරු මතකයක් ඉතිරි කරන්න.

මෙය ලොව සියලු දෙනා මුහුණ දෙන පොදු ගැටලුවක්. විශ්වාසය ගොඩනගන්න. ආදරය බෙදාගන්න. ගෙදර ඉන්න. මේ පණිවුඩය බෙදාගන්න. (සමාජ මාධ්‍ය පණිවුඩයක් ඇසුරෙනි)