In honour or Prince Gunasekara

– අජිත් පැරකුම් ජයසිංහ විසිනි (Read the English Translation Here)

අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මට කිසිදා හමු වී නැත. 1989න් පසු ඔහු ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ ය. ඒ එවකට පැවති ආණ්ඩුවෙන්, රාජ්‍ය ආරක්ෂක අංශවලින් හා අතුරු හමුදාවලින් එල්ල වූ තර්ජන නිසා ය.

Sinhala Tamil English Translations and Content Writing

ඔහු සිය දිවියේ අවසන් වසර 30 ගෙවන්නේ බ්‍රිතාන්‍යයේ ය. මහ රැජින යටතේ ය. එහෙත්, අදීන දේශප්‍රේමියකු වූ ඔහු 1970දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස හබරාදූව ආසනයට තේරී පත් වී මහ රැජිනට පක්ෂපාතීව කටයුතු කරන බවට ප්‍රතිඥා දීම ප්‍රතික්ෂේප කළ අයෙකි. එවන් මිනිසකුට දිවි බේරාගැනීමට ඒ මහ රැජිනගේ ම පිහිට පතන්නට සිදු වීම ලංකාවේ ගැටලුවක් මිස ඔහුගේ ප්‍රශ්නයක් නොවේ. දේශපාලන සරණාගතයකු ලෙස වෛද්‍යවරියක වූ සිය බිරිය හා දියණියන් තිදෙනා සමග බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ප්‍රින්ස් ගුණසේකර නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවක් දැනගන්නට නැත.

ලංකාවට පූර්ණ නිදහසක් වෙනුවට අර්ධ නිදහස් ඩොමීනියන් තත්වයක් ප්‍රදානය කළ 1947 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඔහු අරගල කළේ 1956ටත් පෙර සිට ය. 1956දී මහජන එක්සත් පෙරමුණේ සම ලේකම්වරයකු වූ ඔහු එතෙක් ඉංග්‍රීසි බසින් පමණක් තිබූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පළමු වරට සිංහලට පරිවර්තනය කළේ ය.

සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු පසුව පිලිප් ගුණවර්ධන නායකත්වය දුන් විප්ලවකාරී සමසමාජ පක්ෂය හරහා මහජන එක්සත් පෙරමුණේ ද ක්‍රියාකාරිකයකු විය. 1960 මාර්තු මහ මැතිවරණයෙන් හබරාදූව ආසනය ජය ගෙන පළමු වරට පාර්ලිමේන්තුවට පත් වූ ප්‍රින්ස් ගුණසේකර පිලිප් ගුණවර්ධන හා තවත් මන්ත්‍රීන් හතරක් සමග එක්ව අගමැති ඩඩ්ලි සේනානායකගේ රාජාසන කතාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව බිඳ වැටී නැවත පවත්වන ලද 1960 ජුලි මහ මැතිවරණයෙන් ප්‍රින්ස් ගුණසේකර පරාජයට පත් විය. 1965දී ඔහු වැඩි ඡන්ද 93කින් එජාප අපේක්ෂකයා හා හිටපු ශ්‍රීලනිප මන්ත්‍රීවරයා පරාජය කර යළි හබරාදූව ජයගත්තේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ය.

ප්‍රින්ස් ගුණසේකර සිංහල ජාතිකවාදී නැඹුරුවක් තිබුණු අයෙකු වන අතර ඔහු ජාතිවාදය සමග පැටලුණු අවස්ථා ද තිබේ. එජාප, ෆෙඩරල් පක්ෂ හත් හවුල් ආණ්ඩුව විසින් භාෂා ගැටලුව විසඳීම සඳහා ගත් ප්‍රගතිශීලී පියවරක් වන 1966 ජනවාරි 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දෙමළ භාෂා, විශේෂ විධි විධාන පනතට එරෙහිව ජාතිවාදී පදනමින් සටන් කළ ශ්‍රීලනිපය හා වමේ පක්ෂ අතර ප්‍රින්ස් ගුණසේකර ද සිටියේ ය. පනතට විරුද්ධව විපක්‍ෂය මගින් මෙහෙයවන ලද උද්ඝෝෂණය අතරතුර වාහන අනතුරකින් දඹරාවේ රතනසාර හිමි බරපතළ තුවාල ලබා අපවත් වූහ. දඹරාවේ රතනසාර හිමියන්ගේ ලේ තැවරුණු සිවුර මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කරමින් ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රින්ස් ගුණසේකර වේගවත් කතාවක් පැවැත්වී ය.

1970දී ශ්‍රීලනිපය නියෝජනය කරමින් වැඩි ඡන්ද 9000කට වඩා ලබා ගනිමින් අති විශිෂ්ට අන්දමින් හබරාදූව අසුන ජයගත් ප්‍රින්ස් ගුණසේකර 1971දී ශ්‍රීලනිපයෙන් ඉවත්ව ස්වාධීන වූයේ ය. 1971 කැරැල්ලෙහි සැකකරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කළ ප්‍රින්ස් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නියෝජිත ඇවබරි සාමිවරයා සැකකරුවන් හමු වීම සඳහා කැටුව ගියේ ය. ප්‍රින්ස් ගුණසේකර පසු කලෙක බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ විට ඔහුට ඇවබරි සාමිවරයාගේ නිවසේ ම නවාතැන් හිමි විය.

1977 මහ මැතිවරණයේදී ප්‍රින්ස් ගුණසේකර තරග කළේ නැත. 1983 අතුරු මැතිවරණයේදී ඔහු ස්වාධීනව තරග කළමුත් ලබාගත හැකි වූයේ ඡන්ද 1000කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණි. හිටපු එජාප මන්ත්‍රී ජී.වී.එස්. ද සිල්වා ජයගත් මෙම මැතිවරණයේදී දෙවන තැනට පත් වූයේ ශ්‍රීලනිපයෙන් තරග කළ ඔසී අබේගුණසේකරයි.

1956 මහ මැතිවරණය සමය වන විටත් ප්‍රින්ස් ගුණසේකර ඩී.බී. ධනපාල මහතා යටතේ ලංකාදීප පුවත්පතේ ජනමාධ්‍යකරුවකු විය.

1983 ජාතිවාදී ප්‍රහාරවලින් පසුව අත්අඩංගුවට ගෙන පසුව කිසිදු චෝදනාවක් නොනගා නිදහස් කරන ලද ප්‍රගතිශීලීන් පිරිස අතර ප්‍රින්ස් ගුණසේකර ද සිටියේ ය.

1987න් පසු යුගයේ ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ මානව හිමිකම් නීතිඥවරයකු ලෙස ය. ඔහුගේ ජීවිතවලට තර්ජන එල්ල වූයේ ද ඒ හේතුවෙනි. ඔහුගේ සොයුරියගේ පුත්‍රයා වන නීතිඥ කාංචන අබේපාල මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් 1989දී ඝාතනයට ලක් විය.

මෙම සටහන තබන මා ද ජීවිතය බේරා ගත්තේ එසමයෙහි මානව හිමිකම් වෙනුවෙන් අරගල කර තම දිවි අහිමි කරගත් හා රට හැර යන්නට සිදු වූ නීතිඥවරුන් නිසා ය. මා වෙනුවෙන් වූ හෙබයාස්කෝපුස් පෙත්සම කවුරුන් විසින් ගොනු කර තිබිණි ද යන්න මට සොයාගැනීමට බැරි විය. ආරක්ෂක අංශ මා ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින බව පිළිගත් හෙයින් පසු කලෙක මගේ පියා විසින් එම පෙත්සම ඉවත් කරගන්නා ලදී.

2 thoughts on “සිංහල කැරැලිකරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ සැම වෙනුවෙන් ප්‍රින්ස් ඔබට උපහාරය

  1. ඔහු ආපසු ලංකාවට නොපැමිණීමට හේතුව බ්‍රිතාන්‍යය විසින් ඔහුට දී දේපාලන රැකවරණය එමගින් අවසන් වන නිසාය .
    දඹරාවේ හිම අපවත් වුයේ පොලිසිය තැබූ වෙඩිල්ලක් වැදීම නිසාය ,එකළ ආණ්ඩුව කිවේ තැබූ උණ්ඩයක් යමක වැදී ආපසු ඇවිත් දම්රාවේ හිමිට වැදුණු බවය .
    ඔය පෙළපාලියේ විජේවීරද ගොස් තිබේ.ඒ බව චීන කොමියුනිස්ට් පක්ෂයට ඔහු පෙළපාලියේ යනු දුටු අය පැමිණිලි කළ බව ජෝ සෙනෙවිරත්න විසින් ලිපියක සදහන් කර තිබෙනු මා දුටිමි.
    විජේවීර මා ද සහභාගිවූ රැස්වීමකදී කිවේ කොල්ලුපිටිය හන්දියේ සිට ඔහු ඒම පෙළපාලිය බලා සිටි බවය

  2. අජිත්ලගෙ කාලෙ ගෙවී එකට සහය දක්වපු බොහෝ දෙනකු තරමක් දුරට හෝ ජාතිවාදීන් තමයි. අවම වශයෙන් උතුරේ අරගලයට සහ ඉන්දියානු මැදිහත්වීමට විරුද්ධ අය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.