– අජිත් පැරකුම් ජයසිංහ,
මං රනිල් එක්ක හෝ එක්සත් ජාතික පක්ෂය එක්ක කිසිදු බැඳීමක් තියෙන කෙනෙකු නෙමෙයි. මං වාමාංශිකයෙකුත් නෙමෙයි. මං විප්ලවවාදියෙක්.
විප්ලවයක් කියන්නෙ රතු කොඩි උස්සගෙන නටන ජවුසමක් කියල තමයි ලංකාවෙ වම්මු හිතාගෙන ඉන්නෙ. විප්ලවවාදීන් වන අපට විප්ලවය කියන්නෙ කෙටි කාලයක් තුළ වේගයෙන් සිදු වන ප්‍රතිසංස්කරණ මාලාවක්. එහිදී රාජ්‍ය බලය ඉතා වැදගත්. ඊට වඩා වැදගත් වෙන්නෙ දැක්ම. මොකක් ද කරන්න යන්නෙ කියන එක ගැන තියෙන දිශානතිය.
ලංකාවෙ සමාජවාදී විප්ලවයක් ගැන හිතන්නට පුළුවන්කමක් නැහැ. ඒත්, ලංකාව සුබසාධනවාදී රාජ්‍යයක් ලෙස ජනතාවට සාපේක්ෂව හොඳ ජීවන මට්ටමක් උදා කර දී තිබෙන රටක්. ඒ වුණත්, රාජ්‍ය අංශයේ තිබෙන ඒකාධිකාරී ස්වභාවය, අකාර්යක්ෂමතාව හා විශාලත්වය නිසා රාජ්‍ය අංශය රටට විශාල බරක්. ඒ බර දරාගන්නට නම්, ශක්තිමත් ආර්ථිකයක් හැදෙන්නට ඕනැ. ඒ සඳහා වේගවත් ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. රාජ්‍ය අංශයට එවැනි ආර්ථික වර්ධනයක් කරන්නට කිසිදු හැකියාවක් නැහැ. ඔව්, ‘අවංක’ කියල මිනිසුන් ජාතියක් ඉන්නවා නම්, ඔවුන් නායකත්වය ගත්තත්, රජයට ඒ අවශ්‍යතාව සපුරන්නට බැහැ. ඊනියා අවංකකමට වඩා රටට අවශ්‍ය දැක්මක් සහිත, වෘත්තීය නායකත්වයක්.
ලංකාවට ඉදිරියට යන්නට තිබෙන්නේ එක මාර්ගයයි. ඒ පෞද්ගලික අංශයට මූලිකත්වය දෙන වර්ධනයක්. ඒ වෙනුවෙන් කළ යුතු ප්‍රතිසංස්කරණ රාශියක් තියෙනවා. බලශක්ති සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්. ඒවා රනිල්ගෙ ආණ්ඩුව කළා. වත්මන් ආණ්ඩුව නැවත පනත් ගෙනත් ඒවා අවුල් කළා. කම්කරු පනතක් කෙටුම්පත් කරලායි තිබුණෙ. ඉඩම්, ජලය ආදිය සම්බන්ධයෙන් පවා අලුත් නීති අවශ්‍යයි. ඒ ආණ්ඩුව ඉතා කාර්යක්ෂම ඇමති මණ්ඩලයක් එක්ක ඒ ප්‍රතිසංස්කරණ වේගයෙන් කළා.
රට වෙනුවෙන්, ඒ ජනප්‍රිය නොවන ආණ්ඩුව තව අවුරුදු පහක් තබාගත යුතුව තිබුණෙ මේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ ශක්තිමත් කරන්නටයි. ඒක කළා නම්, නැවත තිරසර විදියට සුබසාධනවාදය ශක්තිමත් කරන්නට තිබුණා. ඒ ගැන අවබෝධයක් අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ පිරිසකටත් තිබුණා කියලා මම දන්නවා.
ඒත්, ඔවුන් දිගින් දිගටම බොරු කිව්වා. රටේ ජනතාව උසිගැන්වූවා. බොරු පොරොන්දු දුන්නා. රනිල්ට එජාප බලවේගය කළමනාකරණය කරගන්නට බැරි වුණා. සජිත් ප්‍රේමදාස සුපුරුදු විදියට අඩයක් වගේ හිටියා. අවසානයේදී ඒ ආණ්ඩුව පෙරළී ජවිපෙට බලය ලැබුණා.

ජවිපෙට මේ ධනේශ්වර ප්‍රතිසංස්කරණය කරන්නට බැහැ. ඒ සඳහා ජන වරමකුත් නැහැ. ඔවුන් එය කළ යුතුත් නැහැ. ඔවුන් සමාජවාදී සළු පිළි සියල්ල උනා දමා මේ තරම් දැක්මක් නැති විදියට නිරුවත් විය යුතුත් නැහැ. ඒ වුණාට එහෙම වුණා. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය බලයත් එක්ක දූෂණයට, තණ්හාවට, අධි පාරිභෝජනවාදයට පවා ගොදුරු වෙලා පරම්පරා දෙක තුනක්, ලේ කඳුළු දහදියෙන් ගොඩනැගී සමාජවාදී සිහිනයක සංකේතයක් නිකම් කොම්පැනියක් බවට පත් කළා. ඒ සියල්ලට ගියේ ඉතා කෙටි කාලයයි.
දැන් අපි රටක් විදියට හැකි ඉක්මනින් මේ උගුලෙන් ගැලවෙන්නට ඕනැ. නැතිනම්, අපට මේ රට නැවත ගොඩනගන්නට බැරි වෙන විදියට ඇෆ්ගනිස්තානය, ලෙබනනය වගේ කාටවත් වැඩක් නැති හුචක්කුවක් වෙන්නට පුළුවන්.











