අජිත් පැරකුම් ජයසිංහ (2017 පෙබරවාරි W3Lanka බ්ලොගයේ පළ කරන ලද ලිපියකි)

විමුක්ති ජයසුන්දරගේ චත්‍රක් (බිම්මල / හත්ත) අගනා චිත්‍රපටයකි. එය කතාවක් ලෙස කදිමට ගොඩනගා තිබේ. එහි සෞන්දර්යාත්මක සියුම් තැන් එමට ය. ඒවා රසබර ය. වෙන වෙන ම කතා කරන්නට බොහෝ දේ එහි තිබේ. චත්‍රක් සිනමාත්මක අතින් ද උසස් ය. 

චත්‍රක් චිත්‍රපටයේ වස්තු විෂය වන්නේ සංවර්ධනයයි. සංවර්ධනය හේතුවෙන් ජීවිතයෙන් අවතැන් වන ජනයාගේ පරාරෝපණයේ කතාව එහි කදිමට නිරූපණය කර තිබේ. 

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ද වර්තමානයේ එක්තරා ජනප්‍රිය හා ප්‍රබුද්ධ විලාසිතාවකි. චත්‍රක් චිත්‍රපටයේ මුල් අර්ධය තුළ නිරූපණය වන සුදු සමැති දේශ සීමාරක්ෂක සෙබළා එවැනි අධි යථාර්ථවාදී රංගනයකි. එය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නාගරික ජීවිතයෙන් පළා ගොස් වනගත ජීවිතයක් ගෙවන මානසික රෝගියාගේ මනසේ නිර්මිත භ්‍රාන්තියක් විය හැකි ය. එහෙත්, අධි යථාර්ථවාදය කලාත්මක වන්නේ කතා සංදර්භය තුළින් නිරායාසයෙන් පැන නැගි විටයි. එවැනි අවස්ථාවකට උදාහරණයක් ද චිත්‍රපටයේ අවසානයේ තිබේ. ඒ ගොඩනැගිල්ලේ ඉහළ සිට පහළට වැටී මිය ගිය ගෘහ නිර්මාන ශිල්පියා ඔහුගේ සේවකයා කියන කතාවක් අසා ‘බොරුකාරයා’ යි කියන ජවනිකාව තුළයි. මෙම අවසානය දුටු මට මජීඩ් මජිඩිගේ කලර් ඔෆ් පැරඩයිස් චිත්‍රපටයේ අවසන් රූප රාමුව සිහිපත් විය. එහි ගඟේ ගිලී ගිය අන්ධ දරුවාගේ අතට රන් පැහැ එළියක් වැටෙන හා එය චලනය වනවා සේ පෙනෙන දර්ශනය වැනි ප්‍රබල අවසානයක් චත්‍රක් චිත්‍රපටයේ ද තිබේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ගෘහ නිර්මාන ශිල්පියා වනයේ ප්‍රාථමික ගෙයක් හැදීමට කණු ඉන්දන, ඒ කණු කඩා වැටෙන අපූරු සිහිනයක් ද චිත්‍රපටයේ අඩංගු වේ. 

චත්‍රක් චිත්‍රපටය සොබාදහම, ගැමි දිවිය හා පැරණි නගර මත සංවර්ධනය ක්‍රියාත්මක වන කෘර, අධිවේගී ස්වභාවය ඉතා මැනැවින් චිත්‍රණය කරන චිත්‍රපටයකි. ගැමියන්ගේ ගොවිබිම් කර්මාන්ත කලාපයක් ඉදි කිරීමට යයි බොරු කියා පවරාගෙන එහි නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. ගොවි බිම් අහිමි වූ ගැමියන් බලාපොරොත්තු වන රැකියා එයින් උත්පාදනය වන්නේ නැත. ඔවුන්ට ලැබී තිබෙන්නේ ඉදි කිරීම් ව්‍යාපෘතියෙහි අනාරක්ෂිත, අනතුරුදායක කුලී රැකියා හා ගැහැනුන්ට අනාගතයේ ලැබෙන ගෘහ සේවිකා රැකියා පිළිබඳ වැඩකට නැති බලාපොරොත්තුවක් පමණි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වන ගෘහ නිර්මාන ශිල්පියා හා ඔහුගේ බිරිය ජීවත් වන පැරණි නගරය ද අතීතයේ නතර වී තිබේ. පැරණි නාගරිකයන්ගේ ගරා වැටුණු ගොඩනැගිලි, දූවිල්ල, කසල, දරිද්‍රතාව, කාලකණ්ණිකම, ආගමික උන්මාදයන් හා උතුරා යන ජනගහණය මතින් නව අගනගර ඉදි වෙමින් තිබේ. 

සමස්තයක් ලෙස මිනිස් කසලින් පිරුණු දරිද්‍රතාවේ මහා සාගර මැදින් සමෘද්ධියේ දූපත් මතු වෙමින් තිබේ. කොංක්‍රීට් සහ යකඩවලින් පෙට්ටි හා කූඩු ඉදි වෙමින් තිබේ. එහෙත්, ඒ කා වෙනුවෙන් ද?

මේ ප්‍රශ්නය කොළඹදී ද මතු වේ. කොළඹ නගරයේ හැම තැන ම ඉදි වෙමින් තිබෙන කෝටි ගණන් වටිනා කොන්ඩොමිනියම් වාසස්ථාන පද්ධති කා වෙනුවෙන් ද? කොළඹ නගරයේ වැඩ කරන සාමාන්‍ය මධ්‍යම පංතිකයන්ට ඒවා මිළ දී ගැනීමේ හැකියාව නැත. ඒවා හිමි කර ගන්නේ කවුරු ද? නගරයේ උපන්, එහි ජීවත් වන හා වැඩ කරන ජනයාට අයිති නො වන සංවර්ධනයේ අරුත කුමක් ද?

එහෙත්, ඉහත කී ආකාරයේ වාසස්ථාන හිමි කර ගන්නා සමාජ ස්ථරයක් ද තිබේ. ඔවුන් කවුරු ද? පිට සක්වළින් පැමිණි පිරිසක් ද? 

චත්‍රක් චිත්‍රපටයෙහි හරය තරමක් දුරට ව්‍යාජ වන්නේ මෙතැනදී ය. එමගින් ප්‍රවර්ධනය වන්නේ සමස්ත කතාවේ එක් පාර්ශ්වයක් පමණි. එම පාර්ශ්වය වනාහි රාජ්‍ය නොවන සංවිධාන ගෝලීයකරණ විරෝධයේ සීමාව තුළ හිරවුණු, සංවර්ධනය පිළිබඳ නොගැඹුරු, ජනප්‍රිය මිථ්‍යාවක් බව මගේ අදහසයි. 

එය පීඩිතයන්ගේ නො දන්නාකමේ සීමාව තුළ සිරගත වේ. පීඩිතයන් දන්නා දේ පමණක් ඔවුන්ට කියා දී, නව ඥානයකින් ඔවුන් පෝෂණය නො කර, ජීවිතයේ කාලකණ්ණිකම ගැන කලකිරීමක් පමණක් ඉතිරි කර අවසන් වේ.

නවීන සංවර්ධනය යනු පිටසක්වළ ජීවීන් පිරිසක් වෙනුවෙන් සිදු වන්නක් නො වේ. පහළ පංතික ජනයා දිව විකාගෙන එම ජීවිතය අත්පත් කර ගන්නට කරන අරගලයක් ද මේ කතාව තුළ තිබේ. අධ්‍යක්ෂවරයා සිතා මතා එම කතාව මග හරියි. ඒ ඔස්සේ ඔහු පීඩිත පංතික ජනයා ගතානුගතික වාමාංශිකයන්ගේ පැසසුමට ලක් විය හැකි විදියේ භාවාතිශකරණයකට ලක් කරයි. 

එය පීඩිත පංති කෙරෙහි ගතානුගතික වාමාංශිකයන්ගේ ඊනියා රොමැන්තික් අනුකම්පාව සමග කදිමට පෑහේ. එහෙත්, එය දේශපාලනිකව අමු ම අමු ව්‍යාජයකි. 

පීඩිතයන් යනු ඉසුරු සොයා සංවර්ධිත රටවලට යන්නට ගොස්, සංවර්ධිත ජාතීන්ගේ ජාතිවාදය නිසා එය කර ගන්නට බැරි වූ විට පිස්සු වට්ටා ගන්නා තරම් අහිංසක, අසරණයෝ පිරිසක් නො වෙති. එසේම, පරිසර අන්තවාදීන් හා සංවර්ධන විරෝධී අන්තවාදීන් පතන ආකාරයට උත්කර්ෂයට නගන ලද ෆැන්ටසික පැරණි ගමට ආපසු යාමේ හෝ වනගත වීමේ අතීතකාමී කාංසාවක් ද පීඩිතයන්ට නැත. ඔවුන් වනාහි සංවර්ධනය හා ධනවාදය තුළ ජීවිතය සමග පොර බදන, අරගලකාරී ජනතාවක් මිස ජීවිතය අතහැර දැමූ අසරණයන් පිරිසක් නො වේ. 

පීඩිතයන්ගේ ජීවිත ද ඇත්තේ චලනයක ය. ලංකාවේ උදාහරණයකින් ගත්තොත්, මැද පෙරදිග ගොස් හෝ කුඩු විකුණා හෝ කුලියට මිනී මරා හෝ උපයා ගත් මුදලින් කොළඹ පැල්පත් නිවාසවල සිදු වී තිබෙන විපර්යාසය නිරීක්ෂණය කරන්න. ඇත්ත ජීවිතය න්‍යායික රාමුවලින් දකින ලෝකයට වඩා හාත්පසින් ම වෙනස් ය.

චත්‍රක් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය කොළඹ තරංගනී සිනමා ශාලාවේ පෙන්වද්දී එය බලන්නට පැමිණි ආරාධිත ජනයා කවුරු ද? ඔවුන් කොළඹ සිදු වන සංවර්ධනය නිසා අවතැන් වූ පීඩිතයෝ ද? නැතිනම් කොළඹ සංවර්ධනය අත්පත් කර ගන්නට පිටසක්වළින් පැමිණි ජීවීන් පිරිසක් ද? නැත. ඒත් මිනිස්සු ය. ඔවුන්ගේ ජීවිත සමස්ත කතාව තුළ නිශ්චිත තැනක තිබේ. එවැන්නක් නැතැයි කියා හැසිරීම ප්‍රෝඩාවකි. නාගරීකරණය තුළ මිනිස් ජීවිතවල කතාව සංවර්ධනය පිළිබඳ ජනප්‍රිය මිථ්‍යාවන්ට වඩා සංකීර්ණ ය. 

2011දී නිෂ්පාදිත චත්‍රක් යනු ලාංකික සිනමාකරුවකු වන විමුක්ති ජයසුන්දර විසින් නිර්මානය කරන ලද, ජාත්‍යන්තරව ප්‍රදර්ශනය කරන ලද, බෙංගාලි චිත්‍රපටයකි. දූපත්වාසී මනස් ඇති ලාංකික කලාකරුවන්ට විමුක්ති ආදර්ශයකි. 

Leave comment

Your email address will not be published. Required fields are marked with *.