Kusal Mendis

කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුරේ ඇති ගැටලුව

ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මුහුණ දුන් රිය අනතුර පිළිබඳ මේ දිනවල කතාබහක් ඇති වී තිබේ. කුසල් මෙන්ඩිස් ප්‍රසිද්ධ පුද්ගලයකු වීම නිසා එම රිය අනතුරු පිළිබඳ දැඩි අවධානයක් යොමු වී තිබේ. එසේ නොවේ නම්, මෙවැනි සිදුවීම් තව බොහොමයක් මේ අන්දමින් ම සිදු වේ. ධනවත් පුද්ගලයන් මුදල් බලය භාවිතා කර, වැරදි කර දඬුවම් නොලබා සිටීම සාමාන්‍ය සංසිද්ධියකි. ඒ සඳහා ඉහළ පෙළේ නීතීඥයන් ඇල්ලීමට, වින්දිතයන් ෂේප් කරගැනීමට ආදී කටයුතු සඳහා හැකියාව තිබිය යුතු ය.

Translations by Creative Content Consultants

එහෙත්, කුසල් මෙන්ඩිස්ගේ රිය අනතුර ඉතා පැහැදිලිව ම ගැටලුකාරී ය. සීසීටීවී කැමරා දර්ශන ආදියෙන් පෙනෙන්නේ ඔහු ඉතා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බවයි. එසේම, අනතුරින් පසු ඔහු පළා යයි. එය කම්පනය නිසා කළ බවට කළ කරුණු දැක්වීම පිළිගත හැකි ද යන්න ගැටලු සහගත ය.

අනතුරට පත් පුද්ගලයා රෝහලට ඇතුළත් කරනු ලබන්නේ දිගු කාලයකට පසු ය. කුසල් මෙන්ඩිස් එහිදී තම වගකීම ඉතා පැහැදිලිව ම නොතකා හැර තිබේ. ඔහු විසින් වින්දිතයා රෝහලට ඇතුළත් කර පොලිසියට යා යුතුව තිබිණි.

කුසල් මෙන්ඩිස් අධික ලෙස විඩාවට පත් වී සිටි බව ඔහුගේ නීතීඥවරයා අධිකරණයට පැවසී ය. විඩාවට පත් වී සිටි බව දැන සිටියා නම්, ඔහු අතින් දැඩි නොසැලකිලිමත්කමක් සිදු වී තිබේ.

එසේම, කුසල් මෙන්ඩිස් පොලිසියට භාර වන්නේ ද සැලකිය යුතු කාලයකට පසුව ය. ඔහු බීමත්ව සිටියා වන්නට පුළුවන. ඔහු මත්බව මගහරවා ගන්නට කල් ලබාගත්තා විය හැකි ය.

ඇප පනත යටතේ ඇප ලබා දෙන විට පොලිසිය විසින් මෙම කරුණු අධිකරණයේ අවධානයට ලක්කළ යුතුව තිබිණි. පොල් ගෙඩියක් සොරකම් කළ සාමාන්‍ය පුද්ගලයකු සම්බන්ධයෙන් පවා මහජන කැළඹිලි ඇති විය හැකි බවට කරුණු ඉදිරිපත් කරන පොලිසිය මෙහිදී හැසිරී තිබෙන ආකාරය ගැටලු සහගත ය.

කුසල් මෙන්ඩිස් වින්දිතයාට රු. ලක්ෂ 10ක් දෙන්නට පොරොන්දු වී තිබේ. එම පුද්ගලයා බස් කොන්දොස්තරවයකු ලෙස රැකියාව කළ, මිනිය තබාගන්නට හෝ සුදුසු නිවසක් නොතිබුණු පුද්ගලයෙකි. ඔහු තව බොහෝ කලක් ජීවත් වුව ද, රු. මිලියනයක් ඉතිරි කරගන්නට බැරි වන්නට පුළුවන. ඒ නිසා එම පවුලේ අය එම වන්දිය භාරගෙන සැනසෙන්නට ඉඩ තිබේ. එසේම, නඩු කීවත්, එවැනි වන්දියක් ඔවුන්ට නොලැබෙන්නට ද බොහෝ දුරට ඉඩ තිබේ.

එහෙත්, මෙහි තිබෙන ගැටලුව වන්නේ මෙයයි. මාර්ග නීති නොතකා, අපරීක්ෂාකාරීව රිය පදවන, අනෙක් අයගේ ජීවිත ගැන සැලකිල්ලකින් තොරව කටයුතු කරන මෙවැනි සෙල්ලක්කාර ධනවතුන්ට මේ අන්දමින් මුදල් විසි කර තම වැරදිවලින් ගැලවෙන්නට හැකියාව ඇති බව තහවුරු වීම අතිශය භයානක තත්වයකි. ශ්‍රී ලංකාවේදී නිතර නිතර මේ හා සමාන සිදුවීම් වාර්තා වේ. සති කීපයකට පෙර රත්වත්ත පවුලේ රගර් ක්‍රීඩක තරුණයකු ද මේ අන්දමින් ම පොලිස් නිලධාරියකු මරාදැමුවේ ය.

මේ වන විට ලංකාවේ මහාමාර්ග අතිශය අනතුරුදායක ය. මෝටර් රථවාහන පොලිස් සංඛ්‍යාලේඛන අනුව, 2020 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ 8,880ක් සිදු වූ අතර, එයින් 886ක් මාරාන්තික ඒවා ද, 2,273ක් බරපතල ඒවා ද විය.

2019 වසරේදී රථවාහන අනතුරු 30,476ක් වාර්තා වූ අතර, එයින් නැති වූ ජීවිත සංඛ්‍යාව 2,851කි.

ශ්‍රී ලංකාවේ විනය ඇති කිරීමේදී මුලින් ම කළ යුතුව තිබෙන කාර්යයක් වන්නේ මාර්ග විනය ඇති කිරීමයි. මාර්ග වැරදි කරන ධනවතුන්ට නීතියේ සිදුරුවලින් රිංගා දණ්ඩමුක්තිය භුක්ති විඳීමට අවස්ථාව ලබාදීමෙන් මේ රටේ මාර්ග විනය ඇති කළ නොහැකි ය.

මහාමාර්ගය ආරක්ෂිත ස්ථානයක් බවට පත් නොකර මේ රට සංවර්ධනය කළ නොහැකි ය.

Translations