Crocodiles at Panama

කිඹුලන් සිය ගණනක් බලන්න කැමති නම් පානම එන්න

අජිත් පැරකුම් ජයසිංහ

යන්නේ කොහේද කියා විධිමත් සැලැස්මක් නැතුව ගල්ඔය ගිහින්, එතනදී තීරණය කර, සවස අරුගම්බේ වෙරළේ විනෝද වී එහි හෝටලයක රැය පහන් කළ අපි පහුවෙනිදා උදේ පාරට බැස්සේ පානම යන්නටයි. ගමන පිටත් වෙන්නට කලින් පොතුවිල් ගොස්, මුහුදු මහා විහාරයත් දැක බලාගෙන, පොතුවිල් නගරයේ මුස්ලිම් හෝටලයකින් උණු උණුවේ පරාටා, පරිප්පු සහ කුකුළු මස් සමග පාතරාසය අරගෙන කහට වැඩි කිරි තේ කෝප්පයකිනුත් සප්පායම් වුණා. ඉන් පස්සේ පානම පාර දිගට සිරි විඳ විඳ හෙමින් හෙමින් ඉදිරියට ගියා.

Translations by Creative Content Consultants

යල් කන්නයේ කුඹුරු වැඩ කර තිබුණේ යායෙන් අඩක පමණයි. ඉතුරු ඒ කුඹුරුවල කරල් කිරි වදිමින් තිබුණා. ළඟදී වැහි වළාවක්, දෙකක් වැස තිබුණු නිසා දරුණු පෑවිල්ලක් තිබුණෙ නැහැ.

පානමින් තමයි කුමන අභය භූමියට යන්නෙ. ඒත්, එදා සවස ම ආපසු යා යුතු නිසා අප එහි යන්නට හිතුවෙ නැහැ. පානම ගම කෙළවර පාළු, සුන්දර වෙරළ තීරය දැක බලාගෙන ආපසු යන අතර රංජි ත්‍රීවීල් පාක් එකකින් අසා දැනගත්තා, කැළේ මැද අති විශාල කිඹුල් ගහණයක් ඉන්න මහ වැවක් ගැන.

ඒ වැව තමයි පානම කුඩුම්බිගල අභය භූමිය මැද පිහිටා තිබෙන වදගම වැව. වදගම වැවට අපට මග පෙන්වූයේ අතරමගදී හමු වුන ගාමිණී නම් ප්‍රදේශවාසියෙක්. ඒක වල ගොඩැලි සහිත වැලි පාරවල් දිගේ වගේ ම නිශ්චිත පාරක් නැති දැවැන්ත වැව් පිටියක් උඩින් කිලෝමීටර් දහයක් විතර කැලේ මැදට ගිය අපූරු ගමනක්. වැහි කාලයේ නම් යන්නට අමාරු ඇති. අපේ වාහන අතර තිබුණු ඩබල් කැබ් රිය නම් කිසි අමාරුවක් නැතුව ගමන ගියා. මගේ ඇල්ටෝවට හා ඉන්දිකගෙ ක්විඩ් එකටත් ගමනේ අමාරුවක් දැනුණෙ නැහැ. හැබැයි, ඊට වඩා තට්ටුව පහත් කාරයකට යන්නට අමාරු වෙයි.

මග දිගට මොනරු. හැම තැනම අලි බෙටි. හැබැයි, දවල් නිසා අලි දැක්කෙ නැහැ. හවස් වෙනකොට මේ පාර අලින් අරක් ගන්න බව පෙනෙන්නට තිබුණා. වැවේ එහා කොණේ අපි යනකොටත් කුළු හරක්, මුවෝ ගැවසුණා. අව් රශ්මිය නිසා ඒ වෙලාවේ කිඹුලන් දකින්නට ලැබුණේ කිහිප දෙනයි. උන් නිදහසේ දර කොටන් වගේ පාවෙවී හිටියා. සමහර එවුන් නාස් කුහර විතරක් දිය මත තබාගෙන විවේක සුවයෙන් සිටියා. අප ගියේ මද්දහනේ නිසා කිඹුලන් නෙළුම් පත් යට හැංගිලායි හිටියේ. හැබැයි, අව්ව බැහැලා ගියාම කිඹුලන් දහස් ගණනක් දකින්නට පුළුවන් තැනක් කියලායි ගාමිණී කීවේ. සතුන් බලන්නට ඕනෑ නම් සවස් වෙනකල් එහි රැඳෙන්න. මේ වැවට අලි, ඇත්, මුව, ගෝන, කුළු හරක් ආදී සතුන් දිය බොන්නට රැස්වෙනවා. අලින්ගෙන්, කිඹුලන්ගෙන් අවදානම තිබුණත් හරිම සුන්දර තැනක්.

අප වැඩිපුරම කිඹුලන් දැක්කේ එතැනට මෙහා කුඩා ගඟක ඉවුර දෙපසයි. කිඹුලන් සොයා බලන එක කුහුල දනවන වැඩක්.

කිඹුලන් බලන්නට කැමති නම්, කියාපු පැත්ත. ඒ මුළු ප්‍රදේශයම කිඹුල් රජදහනක්. පරිසරය විනාශ නොකර ගිහින් බලලා එන්න.

මෙම ඡායාරූප සාමාන්‍ය ජංගම දුරකථන කැමරාවකින් ගත් ඒවා ය. වෘත්තීය මට්ටමේ කැමරාවකට හසු කරගත හැකි මනස්කාන්ත දසුන් මෙහි බොහෝ තිබේ.

Translations