Akila Dananjaya

අකිල ධනංජයට වසරක ක්‍රිකට් තහනමක්?

අකිල ධනංජය පෙරේරා නැවත වතාවක් පන්දුව දමාගැසීම පිළිබඳ චෝදනා ලැබ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටිනවා. වසරක් තුළ දෙවරක් ම නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වාර්තා වීම හේතුවෙන් ඔහුට වසරක තරග තහනමක් පනවන්නට ඉඩ තිබෙනවා.

2019 අගෝස්තු 14-18 අතර ගාල්ලේ පැවැත්වුණ ශ්‍රී ලංකාව ජයගත් පළමු ටෙස්ට් තරගයේදී අකිල කඩුලු හයක් දවා ගනිද්දී තමයි විනිසුරුවරුන් ඔහු පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කළේ.

දින 14ක් තුළ ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්වේ නිවැරදිභාවය ඔප්පු කළ යුතුයි. කෙසේ වෙතත්, අද ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගි වීමට ඔහුට බාධාවක් නැහැ.

2018 නොවැම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව පල්ලෙකැලේ පැවැත්වුණ පළමු ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදිසහගත බව පළමු වතාවට තහවුරු වී ඔහුට තරග තහනමක් පැනවුණා.

පසුගිය ජනවාරියේදී ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීම තහවුරු කරගෙන නැවත කණ්ඩායමට ඇතුළත් වීමට සමත් වුණා. එහෙත්, තම ඉරියව්ව සම්බන්ධයෙන් ඔහු සිටියේ දැඩි පීඩනයකින්. දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර ඔහු නැවතත් වාර්තා කිරීමට ලක් වේ ද යන පීඩනය මතු වුණා. ලෝක කුසලාන කණ්ඩායමට ඔහු ඇතුළත් නොවුණේ ද ඔහුගේ ප්‍රතිඵලවලට මෙම පීඩනය නිසා ඇති වුණ බලපෑම නිසායි.

අකිල කියන්නේ තුන්වන කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා පාසලක් වන පානදුර, වලාන මහානාම විද්‍යාලයේ පන්දු යැවීමේ දස්කම් දක්වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් හඳුනාගන්නා ලද පොඩි තැනකින් ලොකු ගමනක් ආරම්භ කළ ක්‍රීඩකයෙක්. 

Sinhala Tamil English Translations and Content Writing

මීට කලින් මේ චෝදනාවට ලක්වුණ ප්‍ර‍සිද්ධ ම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා තමයි මුත්තයියා මුරලිදරන්. අවසානයේදී ඔහු මේ චෝදනාවෙන් ගැලවුණේ ඔහුගේ අතේ ස්වාභාවික පිහිටීම නිසා එසේ දමාගසන ආකාරයක් පෙනෙන බව ඔප්පු කිරීමෙනුයි. ඒ සඳහා එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ඇතුළු සමස්ත ශ්‍රී ලංකාව ම දේශප්‍රේමී පදනමකින් අරගල කළා. එහෙත්, තවමත් ඇතැම් ක්‍රිකට් විශාරදයන් මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගසන්නකු ලෙස සලකනවා. 

පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක් නොවන ආකාරයට පන්දු යැවීමේ ඉරියව්ව මුල සිට ම ක්‍රීඩකයන්ට ප්‍ර‍ගුණ කරවීම පුහුණුකරුවන්ගේ වගකීමක්. එහෙත්, ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන දැඩි තරගකාරිත්වය තුළ එය මගහැරී යන බව පෙනෙනවා. විශේෂයෙන් ම පාසල් ක්‍රිකට් පිටියේදී ජයග්‍රහණ හඹා යන පුහුණුකරුවන් නිසා දක්ෂ පන්දු යවන්නන්ගේ කුසලතාවලට දැඩි ලෙස හානි සිදුවෙනවා. කල් පසු වී ඒවා නිවැරදි කිරීම පහසු නැහැ.

එසේම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තම පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කරගැනීම සඳහා ජාත්‍යන්තර පහසුකම් ද නැහැ. අකිල ධනංජය පසුගිය ජනවාරියේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ඔප්පු කරගැනීමේ පරීක්ෂාවට මුහුණ දුන්නේ චෙන්නයිහිදී යි. එය තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිගන්නා ලද ශ්‍රී ලංකාවට ආසන්න ම ජාත්‍යන්තර පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණ මධ්‍යස්ථානය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දු යැවීම වෙනුවට දමාගැසීම සිදුකරන බව කියන්නේ පන්දුව මුදාහැරීමේදී පන්දු යවන්නාගේ අතේ පූර්ව හා අපර බාහු දෙක වැලමිටෙන් අංශක 15කට වඩා නැමෙනව විටයි. ජාත්‍යන්තර ක්‍රිකට් නිලධාරීන් විසින්  මුලින් මෙය ඇසින් නිරීක්ෂණය කර තම අත්දැකීම් අනුව නිගමනය කවුන්සිලයට වාර්තාවක් සපයනවා. 

ඉන්පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිගෙන තිබෙන පරීක්ෂණ මධ්‍යස්ථානයකදී නවීන තාක්ෂණය පාවිච්චි කර පරීක්ෂාව සිදු කරනවා. මානව චලන විද්‍යාව පිළිබඳ විශේෂඥයන් එම පරීක්ෂාවට සහභාගි වෙනවා. එහිදී පන්දු යැවීම නීති විරෝධී බව ඔප්පු වුවහොත්, නැවත පරීක්ෂණයකින් නිවැරදි පන්දු යැවීමේ ඉරියව්ව ඔප්පු කර පෙන්වන තෙක් ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමත කරන තරගවලදී පන්දු යැවීම තහනම් කරනවා.  නීති විරෝධී පන්දු යැවීම පැහැදිලි කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වීඩියෝවක් මෙතැනින් නරඹන්න. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබේ නම් අකිල ධනංජයට දේශීය ක්‍රිකට් තරගාවලිවලට සහභාගි වීමට පුළුවන්. පහත වීඩියෝවේ දැක්වෙන්නේ අකිලගේ සුපිරි පන්දු යැවීමක්.

පන්දු යවන්නකු නීති විරෝධී පන්දු යැවීමකට පෙළඹෙන්නේ ඇයි? මේ වීඩියෝවේ ඒ ගැන පැහැදිලි කිරීමක් තිබෙනවා. 

https://youtu.be/zmlJ1tZWRI4