N.M. Perera and J.R. Jayawardane

විධායක ජනාධිපති ක්‍රමයට අලුතෙන් එකතු වූ සංවරණ හා තුලන

අජිත් පැරකුම් ජයසිංහ

2022 ඔක්තෝබර් 30 අනිද්දා සමබිම අතිරේකයෙහි පළවිය.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ අය බලාපොරොත්තු වූවාට වඩා පහසුවෙන් තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්ද ලබාගනිමින් පාර්ලිමේන්තුවේ සම්මත විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපීපෙනෙන කොටසක් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කළ අතර ඡන්දය දීමෙන් ද වැළකී සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උවමනාවන් ඉටුකරන අයෙකු බවට පැවති චෝදනාව ද නිෂ්ප්‍රභ වෙමින් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවකින් තොරව ඉදිරියට ගියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එම පක්ෂයේ බෙදීම ද පැහැදිිලිව නිරූපණය කරමිනි. එසේම, පක්ෂ දේශපාලනය ඉක්මවා යමින් සාධනීය අරමුණු වෙනුවෙන් දේශපාලන පෙළගැසීම් සිදුකිරීමේ විභවයක් ශ්‍රී ලංකාව සතු බව ද ඒ සමග ම ඔප්පු විය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා බලය ලැබෙන කාලසීමාව 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අවුරුදු දෙකහමාර දක්වා අඩු කර තිබුණ ද, එය නැවත අවුරුදු හතරහමාර දක්වා වැඩිකිරීමට පොදුජන පෙරමුණේ ඇතැමුන්ට අවශ්‍ය විය. එසේම, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරු සඳහා තේරී පත්වීමට සම්බාධක පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ ඉලක්ක කරමින් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකැයි ද එම පක්ෂයේ ඇතැමුන්ගේ අදහස විය.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අරගලයේ ජයග්‍රහණයක් ලෙස බොහෝ අය පෙන්වාදෙන අතර එය සත්‍යයකි. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ අසීමිත බලයක් ගොනුකරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් පහකිරීමත්, ඒ සමගම එම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමේ අවශ්‍යතාව ඉදිරියට පැමිණීමත් අරගලයේ ජයග්‍රහණ වේ. එහෙත්, අරගලයේ ඇතැම් පාර්ශ්ව එකී ජයග්‍රහණ ඉදිරියට ගෙනයාම වෙනුවෙන් කටයුතු කරන බවක් නොපෙනේ.

අරගලයේ ප්‍රධාන පාර්ශ්වයක් ලෙස සැලකිය හැකි ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාව ඉල්ලා සිටින දේශපාලන වෙනස හා ආර්ථික ස්ථාවරය යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟිින් ස්ථාපිත නොවන බව ජුලි 8දා පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.

මේ වන විට 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස සම්මත වී අවසන්ය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කණස්සල්ලට හේතු වන ප්‍රධාන කාරණය වන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම ස්ථාපිත කර නැති වීම සහ විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ප්‍රමාණවත් සංවරණ හා තුලන එමගින් ආදේශ නොවීමයි.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයාට ඒ සම්බන්ධ නාම යෝජනා ලැබී දින 14ක් ඇතුළත පත්වීම් සිදු නොකළහොත් එම නාම යෝජනා බලාත්මක වී ව්‍යවස්ථා සභාව පත්වන බව ද 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පතෙහි දැක්විණි. ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ යෝජනා ජනාධිපතිවරයාට ලැබී දින 14ක් ඇතුළත පත්වීම් සිදු නොකළහොත් ව්‍යවස්ථාදායක සභාවේ යෝජනා බලාත්මක වන බව ද කෙටුම්පතෙහි දැක්විණි. 19වන ව්‍යවස්ථා සංශෝධනයේ ද තිබුණු මෙම ප්‍රතිපාදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී තිබෙන නිර්දේශය අනුව, පරිදි පත්වීම් ජනාධිපතිවරයාගේ පත් කිරීමකින් තොරව බලාත්මක වන බව දැක්වෙන කොටස් ඉවත් නොකරන්නේ නම් යෝජිත සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය වූ බැවින් එම කොටස ඉවත් කරන ලදී. 19 වන සංශෝධනයේදී ජනාධිපති බලතල අඩුකිරීම සම්බන්ධයෙන් වූ මෙම යෝජනා සම්බන්ධයෙන් ජනමත විචාරණයක්ට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කළේ නැත.

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හත් දෙනකුගෙන් හා පිටස්තර තිදෙනකුගෙන් සමන්විය යුතු වන අතර මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් පත් කිරීමේදී ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බහුතරයේ එකඟත්යවය මත, කථානායකවරයා විසින් නාම යෝජනා කරනු ලබන තැනැත්තන් තිදෙනෙකු’ පත්කිරීම මගින් එම පත්වීම්වල ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්නයක් මතු වේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පෙන්වාදී ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරනු ලබන නාමයෝජනා බහුතරයක් ආණ්ඩු පක්‍ෂය හෝ පක්‍ෂ විසින් පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එහි ස්වාධීනත්වය වේ. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා පත්කිරීම් සිදුකරන තනතුරු සහ ආයතනවල ස්වාධීනත්වයට සහ සුපිළිපන්බවට එමගින් බලපෑමක් සිදුවේ.

රටේ ඉහළ තනතුරු වන නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ විනිශ්චකාරවරුන් හා විගණකාධිපතිවරයා වැනි පත් කිරීම් සම්බන්ධයෙන් සහ මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂ සභාව යන ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත්කිරීමේදී එම සාමාජිකයන්ගේ ස්වාධීනතාව සම්බන්ධයෙන් මෙහිදී ගැටලුවක් මතුවන බවට තර්ක කළ හැකිය.

න්ම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අමාත්‍ය මණ්ඩයේ අමාත්‍යවරුන්ගේ  සංඛ්‍යාව ද, අමාත්‍යංශ සංඛ්‍යාව ද, අමාත්‍යවරුන්ට පවරනු ලබන විෂයයන් සහ කාර්යයන් ද, අමාත්‍ය මණ්ඩලයට අයත් නොවන අමාත්‍යවරුන් පත් කිරීම ද නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම ද ඔවුන් ඉවත්කිරිම ද තීරණය කිරීමේදී ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ ‘අදහස් විමසාය’. මෙය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා වෙනස් තත්වයකි. එහි තිබුණේ ජනාධිපතිවරයා අගමැතිවරයාගේ ‘උපදෙස් අනුව’ කටයුතු කළ යුතු බවයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පතෙහි ඉහත සඳහන් කරන ලද කාර්යයන් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ ‘උපදෙස් අනුව’ කළ යුතු යයි සඳහන් විය. එසේ නම් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව  ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය විය. එබැවින් එම කොටස සංශෝධනය කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.

19වන සංශෝධනය ක්‍රියාත්මක වූ අවදියේදී එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නීතිය සහ සාමය භාර ඇමති වශයෙන් සරත් ෆොන්සේකා පත් කිරීමට එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට උපදෙස් දුන් නමුත් ඒ උපදෙස් පිළිපැදීම ජනාධිපති විසින් පැහැර හරින ලද බව වාර්තා විය. ජනාධිපතිවරයාගේ එම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් විය. අමාත්‍යවරුන් පත්කිරීමේ සමස්ත ක්‍රියාවලිය ජනාධිපති යටතට පත්කර තිබීම මගින් නැවතත්ප ජනාධිපති ධුරය ශක්තිමත් කර තිබේ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ආරක්ෂක ඇමැති ධුරය ජනාධිපතිට හිමි වේ. එහෙත්, ආරක්ෂක අමාත්‍යාංශයට මෙන්ම වෙනත් අමාත්‍යාංශවලට ද අයත් ආයතන මොනවාදැයි තීරණය කිරීමේ බලය ද තිබෙන්නේ ජනාධිපතිවරයාටය. පසුගිය මැයි මාසයේදී ජාතික ආරක්ෂාවට ඍජුව අදාළ නොවන ආයතන හා විෂය පථයන් රැසක් ආරක්ෂක අමාත්‍යාංශයට එක්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර පසුව එය ඉවත් කරගන්නා ලදී. ජනපතිවරයාට ඕනෑම ආයතනයක් සිය අමාත්‍යංශය යටතට ගැනීමේ හැකියාව තවදුරටත් තිබේ. එය විධායක ජනාධිපති බලතල සීමාකිරීමේ සංකල්පයට පටහැණිය. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේ බලතල පවා තවදුරටත් ජනාධිපතිවරයාට හිමි වේ. පාර්ලිමේන්තුව වසර දෙකහමාරකට පසු විසුරුවාහැරීම සම්බන්ධ බලතල ජනාධිපතිවරයාට හිමිවීම මගින් පවා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සාපේක්ෂව විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කිරීමකි.

විධායක ජනාධිපති ධුරය සඳහා සංවරණ හා තුලන නිර්මාණය කිරීමෙහිලා 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය වැදගත් වේ. එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග සන්සන්දනය කිරීමේදී එයට සාපේක්ෂව දුර්වල යයි පැවසිය හැකි වුවත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූ සමයේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර ඇති වූ බල අරගලය ද 21වන සංශෝධනයේ හැඩය තීරණය කිරීමේදී බලපෑ බව නොරහසකි. විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තනතුර රැකගැනීමටවත් නොහැකි විය. එයට හේතුව වූයේ හුදෙක් ආර්ථික අර්බුදය පමණක් නොව, දේශපාලන ක්‍රමයේ ගැටලුවයි. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංවරණ හා තුලන වැදගත් වන්නේ එයට සාපේක්ෂවය.