sea pollution in Sri Lanka

නැවෙන් කීයක් වන්දි ලැබෙයිද?

අජිත් පැරකුම් ජයසිංහ

MV X-Press Pearl නම් සිංගප්පූරුවේ ලියාපදිංචි නෞකාවේ කන්ටේනර් 1,486ක් තිබිණි. එයින් ටොන් 25ක් නයිට්‍රික් අම්ල වන අතර, එතනෝල් හා සෙසු රසායනික ද්‍රව්‍ය ද අඩංගු වේ. මෙම කන්ටේනර් රැසක තිබුණු ද්‍රව්‍ය International Maritime Dangerous Goods (IMDG) ලෙස කේතනය කරන ලද අනතුරුදායක භාණ්ඩ වේ.

කන්ටේනරයකින් නයිට්‍රික් අම්ලය කාන්දුවක් සිදුවන බව මෙම නැව ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමෙන් පසුව බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. නැව මැයි 20දා උදය කාලයේදී කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් නැංගුරම් ලෑවේය. කාන්දුවට පිළියම් කිරීම සඳහා වරාය අධිකාරිය සූදානම් වෙමින් සිටියදී ගින්න පිළිබඳ වාර්තා කර තිබේ. මුලින් කහ පැහැති දුමාරයකින් ඇරඹී මැයි 24දා වන විට ගින්න පැතිර ගියේය. එය නිවා දැමීමට සතියක පමණ කාලයක් ගතවිය.

කන්ටේනර් 146ක් පමණ එක පෙළට ගින්නට හසුවූ බවට වාර්තා පළවේ. නැව විසින් ප්‍රවාහනය කරමින් තිබුණු ප්ලාස්ටික් පෙලට් අතිවිශාල ප්‍රමාණයක් මේ වන විට මුහුදට එකතු වී හමාරය. එහි ටොන් 26 ප්ලාස්ටික් පෙලට් කන්ටේනර් තුනක් තිබුණු බව වාර්තා වේ. ඒවායේ පෙලට් අසුරා ඇත්තේ කිලෝ 25 බැගින් පොලිසැක් මලු තුළයි. මෙම පෙලට් භාවිතා කරනු ලබන්නේ ප්ලාස්ටික් බෑග් සහ වෙනත් නිෂ්පාදන සඳහාය. මෙම ප්ලාස්ටික් පෙලට් මුහුදු ජලයට එක් වීමෙන් හා වෙරළට පාවී ඒමෙන්එ මුහුදු ජීවීන්ට, ශාකවලට, කොරල්වලට, කඩොලාන පරිසරයන්ට හා වෙරළටත්, ධීවරයන්ට හා සංචාරක කර්මාන්තයටත් සිදුවිය හැකි හානිය අති මහත්ය. සාගර ජීවීන් මෙම කුඩා බෝල ආහාර ලෙස වරදවා වටහා ගැනීම මෙන්ම, ඒවා මසුන්ගේ කරමල් තුළ සිරවීම ද වාර්තා වී තිබේ. මෙය ඉතිහාසයේ දරුණුම වෙරළ දූෂණය විය හැකි බව ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර හා ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානී දර්ශනී ළහඳපුර ප්‍රකාශ කරයි.

මෙම ප්ලාස්ටික් පෙලට් වෙරළෙන් ඉවත් කිරීම ද ඉතා දුෂ්කර කාර්යයකි. මේ අන්දමින් ප්ලාස්ටික් පෙලට් කන්ටේනර් ගණනාවක් 2012දී හොංකොංහිදී මුහුදට එක්විය. එය පිරිසිදු කිරීමට ස්වේච්ඡා සේවකයන් 7,000ක් යෙදවීමට සිදු වූ බව Mongabay වෙබ් අඩවිය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ වෙරළට ප්ලාස්ටික් පෙලට් ගසාගෙන ආවේ ඇඳිරි නීතියක් මැදයි.

S&P Global වාර්තා කරන පරිදි, Crawford & Co. සමාගමේ එක්සත් ජනපදයේ පිහිටි වන්දි කළමනාකරණ ආයතනයේ සමුද්‍ර අංශයේ ප්‍රධානී Rob Hawes පවසන පරිදි නැවට සිදුවූ හානි, නැව් භාණ්ඩ හානි, රක්ෂණ වන්දි හා වගවීම් වෙනුවෙන් වියදම ඩොලර් මිලියන 30-50 අතර වනු ඇත. නැවට රක්ෂණාවරණය සපයනු ලබන්නේ London P&I Club විසිනි. (මූලාශ්‍රය මෙතැනින්)

පාරිසරික හානිය වෙනුවෙන් ගෙවීමට සිදුවිය හැකි වන්දිය ඩොලර් මිලියන සිය ගණනක් විය හැකි බවට මත පළ වී තිබේ. කිසිදු හානියක් තවම නිවැරදිව තක්සේරු කර නැත. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, වෙරළට මෙන්ම ධීවරයන්ට සිදුවන දිගු හා කෙටිකාලීන හානි වෙනුවෙන් ශ්‍රී ලංකාව වන්දි ලබාගැනීමට කටයුතු කළ යුතුය.

කෙසේ වෙතත්, පසුගිය 2020 සැප්තැම්බරයේදී ශ්‍රී ලංකාව අසලදී ගිනිගත් MV New Diamond නැවෙන් ශ්‍රී ලංකාව ඉල්ලා සිටියේ ඩොලර් මිලියන 2.3ක වන්දියකි. සමාගම එය මුළුමනින්ම ගෙවා දැමුවේය (මූලාශ්‍රය මෙතැනින්).

නැව් ගිනි රක්ෂණ සමාගම්වලට අලුත් තත්වයක් නොවේ. මෙවැනි වධකාර ගිනි සෑම දෙසතියකටම වරක් පමණ වාර්තා වේ (මූලාශ්‍රය මෙතැනින්).

X-Press Feeders සමාගමට විසින් මෙහෙයවනු ලබන මෙම නැව මාස තුනක් වයසැති අලුත් නැවකි.

මේ ලිපියත් කියවන්න:

තෙල් නැවේ ගින්න නිවූ නයින්ගේ හා අපේ වැඩ