National flags

ජාතික ප්‍රාර්ථනා

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ අපේ පැතුම්
හරිම අවිහිංසකයි
ණය අරන් චීනෙන්
කරමු මෙගා ප්‍රොජෙක්ට්
වඩමු යටිතල පහසුකම්

ඩොලර් වෙළඳපොළේ තොපි
අපට ණය දියව් නරියනි
එසේ ණය අරගෙන
එදිනෙදා වියදම් කරගෙන
ණය ගෙවන්නට තවත් ණයගෙන
ඉන්න බැරි ඇයි අප හට?

විවෘත වෙළඳපොළේ
රජයට ණය දෙන්නන්
ගෙවන්නට පුළුවන්ද බැරිද නොබලා
අපට ණය දෙනවා නම්
ශ්‍රේණිගත කරනා ආයතන
කුමට සොයනවාද මේ
ණය ගෙවීමේ හැකියාව?
ගෙවන්නට පුළුවන්ද බැරිද නොබලා
ඇයි ණය දෙන්න බැරි ලෝකයට?.

ආර්ථිකය අමාරු නම්
සරලයි ආනයනය තහනම්
ස්වයංපෝෂිතය කහ ඉඟුරෙන්
යවමු ඇඟලුම් ඇමරිකාවට
යුරෝපෙට, අඟහරු ලෝකෙට
ඉඳිමු සොමියේ ලාභ ලැබගෙන
වෙළඳ ශේෂය උන්ගෙ විඳගෙන

යුරෝපය හා ඇමරිකාවද
චීනය වගේ සොඳුරු නම්
අපේ මානව හිමිකම්
උනුත් නොසෙවිය යුතු නොවෙද?
අපේ බඩු අරගෙන
ඇයි ඉන්න බැරි උන්ටත්
චීනය අපට බඩු විකුණාගෙන
ඉන්නවා වගේ නිහඬව?

අසල්වැසි ඉන්දියාවද
චීනය සේ හැසිරිය යුතුය
බිස්නස්ම පමණක් කළ යුතුය
ධනවත් චීනයට දෙන දේ
ඒ හැටියෙන්ම තමන්ටද
භාරතය ඉල්ලිය යුතු නැත
ලොකු අයියලා කළ යුත්තෙ
මල්ලීට වියදම් කරන එක නොවෙද
සහෝදරකම නම් ඒකය

ලෝකයේ නාභිය
ලංකාව විය යුතුමය
ලෝකෙන් උතුම් රට
ලංකාව හැර වෙන කොහෙද?
මුළු ලොවම ආයෝජකයන්
රොද බැඳ මෙහි ආ යුතුය
ඔවුන් අපගෙන් අඩුවෙන්
වැඩගෙන පියළි දහසින්
බැඳ අපට පිදිය යුතුමය
රජයට මහ ගහෙන්
උන් බදු ගෙවිය යුතු වෙය
තඹයක ලාභයක්
රටින් පිට නොදිය යුතුමය

නන්දෙසින් සංචාරකයන්
මෙහි පැමිණ දෙදහස් පන්සිය වසක
ප්‍රෞඪ ඉතිහාසයේ නටබුන්
විස්මයෙන් බැලිය යුතුය
සුද්දා හෙළුවන් ඉන්න කාලේ
හෙළ රජුන් කළ විස්කම්
බලා ලජ්ජාවෙන්
ඇඹරි ඇඹරී
යන විට බලන්නට මහසෑය
කකුල්, උරහිස නොපෙනෙන්නට
තුවා ඇඳ යා යුතුය.

ලාංකික මානව හිමිකම්
ඒවා අපේ වැඩය
ඒ නිසා කවුරුවත් ඒවාට
ඇඟිලි හෙම නොගැසිය යුතුය
අපරාධකරුවන් ආයුධ පෙන්නන්නට
එක්කන් යාමේ අයිතිය
පොලිසියට තිබිය යුතුය.

දෙමළුන්, මුස්ලිමුන් පමණක් නොව
සිංහල වුණත්, ගොවිගම නොවන
අඩුකුලවල එවුන්ද
අන්‍යාගම්කාරයන්ද, ගෑනුන්ද
සුළුතර ලිංගිකයන්ද
යටත්ව සිටිය යුතුය
මානව හිමිකම් ගැන
එක්සත් ජාතීන්ට
කේලාම් නොකිය යුතුය.
කැරැලි ගැසීම ගැන නම්
හීනෙන්වත් නොසිතනු
චප්ප කරදැමීමේ නිදහස
ආණ්ඩුවෙ පරම හිමිකම

එහෙත්, ලෝකය හරිම කෘරය.
උන්ට මෙය තේරෙන්නේ නැත
මේ සරල සත්‍යය
නොතේරෙන තරමට
ලෝකය පල් මෝඩයෝය
උන් අහන්නේ දෙමළුන්
ඩයස්පෝරා හිවලුන්
එන්ජීඕ කිඹුලන්
කියන බොරු බස්මය

ලෝකය හරිම කෘරය