facebook hack

අජිත් පැරකුම් ජයසිංහ

මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා. බෑන් කරන්නට ඉතා කෙටි කාලයයි ගතවෙන්නෙ. ඒ අතරවාරයේ මිතුරෙකු ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මේ. මේක තමයි මේ මොහොතේ තියෙන ප්‍රචණ්ඩත්වයේ තත්වය. ඒක හෙට වෙනකොට ශාරීරික ප්‍රචණ්ඩත්වයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.

සයිබර් ඇටෑක් එකක් කියන්නෙ දරුණු මානසික ප්‍රහාරයක්. අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ගිනුමට පිට පිට දෙවතාවක්ම එහෙම වුණා. මේ වෙනකොට ෆේස්බුක් එකෙන් ගිනුම ලොක් කරලායි තියෙන්නෙ.

ඒක සිදුවුණ හැටි ගැන යම් යම් අනුමාන මීට කලින් ලිව්වා. එහෙම දෙයක් වුණාම ඒක වෙච්ච හැටි දැනගන්න අපට අමාරුයි. හේතු නොදක්වාම හිටි හැටියේ ගිනුම තහනම් කරනවා. ප්‍රවේශය අහිමි වෙනවා.

පාවිච්චි කරන පරිගණක, ෆෝන් හැක් කරලාද කියලා හොයන්නට ඕනැ. ඒවායේ ආරක්ෂාව තහවුරු කරගන්නට අමතර කාලය ගතකරන්නට ඕනැ.

ඒක හරියට ගේ ඇතුළෙ මිනීමරුවෙකු හැංගිලා ඉන්නවා වගේ තත්වයක්. කොතන ඉන්නවාද දන්නෙ නැහැ.

ඒ සමගම ඇතිවෙන්නෙ දැඩි අනාරක්ෂිත හැඟීමක්. ඔබ දන්නවානෙ මම දේශපාලන ක්‍රියාධරයෙකු හා සමාජ මාධ්‍ය බලපෑම්කරුවකු බව. ඒ වගේම, මම හැමදාම මගේ මාධ්‍ය භූමිකාව ලෙස තෝරාගන්නෙ ජනප්‍රිය රැල්ලට පිටින් තියෙන දේවල්.

ජනප්‍රිය රැලි එක්ක නිර්මාණය වන මොබ් හෙවත් රංචු මානසිකත්වයන් හේතුවෙන් මගහැරෙන දේ ගැන මම අවධානය යොමු කරනවා. මොබ් මානසිකත්වයේ ඉන්න අයට මේක දරාගන්නට බැරිවෙනවා. එහෙම අය වහාම යොමුවෙන්නෙ තර්ජන කරන්න, නිහඬ කරන්න. එහෙම බැරි වුණොත්, ශාරීරිකව පහරදෙන්න, ඝාතනය කරන්නට පවා පෙළඹෙන්නට ඉඩ තියෙනවා. අපි ජීවත් වෙන්නෙ එහෙම අවකාශයක.

මම ලේඛකයෙක්. මං ලියන්නට කැමතියි. ඒ නිසා මං ලියනවා. මං ලියන දේ ඔබ කියවන එක තමයි මට තිබෙන සතුට. ඒ නිසා තමයි මගේ ලිවීම දිගට කරගෙන යන්නට මා මේ අවකාශය හදාගත්තෙ.

හැබැයි, මම දැන් කටයුතු කරන්නෙ ස්වයංව පනවා ගත් දැඩි වාරණයක් ඇතුළෙ. මේ ජනප්‍රිය රැල්ලට යන්නට ඉඩ අරින්නට අපට සිදුවෙනවා. ඒක වළක්වන්නට අපි උත්සාහ කරන්නෙ නැහැ. ඒකෙ ආදීනව ගැන පුරෝකථන කරමින් අනාගතයේදී හෝ එය කළමනාකරනය කරගන්න නායකයන්ට අවශ්‍ය නම් ප්‍රයෝජනවත් යයි සිතිය හැකි දෙයක් අපි මෙහි තවදුරටත් ලියනවා.

ආවේක්ෂණයට හෙවත් සර්වෙයිලන්ස් එකකට ලක්වී සිටීම හා ප්‍රහාරයන්ට ලක්වීම සයිබර් අවකාශයේදී වෙන එකයි, භෞතික ලෝකයේදී වෙන එකයි අතර තියෙන්නෙ ශාරීරික වේදනාව සම්බන්ධ වෙනස විතරයි. එවැනි තත්වයකදී කළ යුතුව තිබෙන දේ ආරක්ෂා වෙන එක. සයිබර් ප්‍රචණ්ඩත්වය ඕනෑම මොහොතක භෞතික ප්‍රචණ්ඩත්වයක් බවටත් පත්වෙන්නට පුළුවන් බව දැනගත යුතුයි.

නැවත ලියන්නට හෝ ආරක්ෂා විය යුතුයි. මොබ් එක්ක සටන් කරන්නට යාම මුග්ධ ක්‍රියාවක්. පැනල දුවන එක තමයි බුද්ධිමත්ම වැඩේ. බය වෙන එක වීරයෙක් වෙනවට වඩා පහසුයි. ඉදිරි කාලය මොබ්වල බලය මත බොහෝ දේ තීරණය වන කාලයක් බවට පත්වීමේ ලක්ෂණ දක්නට ලැබෙන නිසා ඔබත් පරිස්සම් වෙන්න.

මං වෙනුවෙන් පෙනීහිටිය සීමිත පිරිසට ස්තුතියි. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්ස් සියගණනක් තියෙනවා. ඇත්ත ගිනුම්ද කියා පරීක්ෂා කරන්නට කාලය අවශ්‍යයි. පුරුදු නමක් නම් දැක්ක හැටියෙ ඇක්සෙප්ට් කරනවා. දිගටම ලියනවා. හැබැයි, දැඩි ස්වයං වාරණයක් සහිතව.

1 thought on “සයිබර් මොබ් එකකට මැදිව

  1. නිදහසට 75 වසරක් පිරෙද්දී රට ණය උගුලක සිරවී මහා ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. ඊනියා පාලකයන්ගේ පුරාජේරු සංවර්ධනය රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේ. එහෙත් ඔවුන් කිසිවකුට ගානක්වත් නැත. බජට් කපා හරින්නැයි කියමින් රුපියල් මිලියන ගණන් වැයකර උත්කර්ෂවත් ලෙස ‘නිදහස’ සැමරීමට ලහි ලහියේ සැරසෙමින් සිටී.

    අපි වැනි රටකට නැඟෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව ආදර්ශයකි. ඉකුත් දෙසැම්බරයේ පැවැත්වීමට තිබූ එරට 61 වැනි නිදහස් දින සැමරුම ජනාධිපතිනිය විසින් අවලංගු කළාය. උත්සවයට වැය කිරීමට නියමිතව තිබූ මුදල ප්‍රාථමික පාසල්වල දරුවන්ට නේවාසිකාගාර ඉදිකිරීමට වෙන්කරන ලෙස ඇය උපදෙස් දී ඇත. ටැන්සානියාව මෙවර නිදහස සැමරුවේ සංවර්ධනය පිළිබඳ මහජන සංවාද පවත්වමිනි. රෝහල්, පාසල්, වැඩිහිටි නිවාස සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගල කණ්ඩායම් පිළිබඳ අවධානය යොමු කරමින් පිරිසුදු කිරීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සඳහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් දේශපාලනඥයන්, නිලධාරීන් යෙදවීමද මේ සාකච්ඡා සම්මන්ත්‍රණවලට සමගාමීව සිදුකර ඇත.

    ලංකාවට සමාන ආර්ථික සහ දේශපාලන පසුබිමක් තිබෙන ටැන්සානියාව සිය නිදහස් උත්සවය අවලංගු කළ පළමු වැනි අවස්ථාව මෙය නොවීම විශේෂත්වයකි.

    2015 දී එරට ජනාධිපති ධුරයට පත් ජෝන් මගු පුලි ඒ වසරේ නිදහස් සමරු උත්සවය අවලංගු කළේය. ඊට වෙන්කළ මුදල එරට අගනුවර මාර්ගයක් ඉදිකිරීමට බැර කළ ජනාධිපතිවරයා සියලුම මැති ඇමැතිවරුන්ට හා අදාළ නිලධාරීන්ට නියෝග කළේ රට පුරා හිස ඔසවා ඇති ‘ඩෙංගු’ මර්දනයට ‘ නිදහස් දිනය’ කැප කරන ලෙසය. 2020 වසරේදී යළි නිදහස් උත්සවය අවලංගු කළ ජනාධිපතිවරයා ඉතිරි වූ මුදල් සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනයට වැය කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: