Galleface protest

සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයෙන් යුත් ජනරජයට එරෙහි පෙබරවාරි 4 කැරැල්ල

අජික් පැරකුම් ජයසිංහ

පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා කැඳවා තිබේ. පක්ෂවල නාමයෝජනා ලැයිස්තු අධ්‍යයනය කර බලන්න. එහි තිබෙන ප්‍රධානම සාධකය දේශපාලන ප්‍රතිපත්ති, ජාතිය හෝ ආගම නොව කුලයයි. ශ්‍රී ලංකාවේ දේශපාලනය සඳහා කුලය කෙතරම් වැදගත්ද යන්න අවබෝධ කරගැනීම සඳහා හොඳම අවස්ථාව පළාත් පාලන මැතිවරණයි. විප්ලවවාදී පක්ෂ පවා කොට්ඨාස අපේක්ෂකයන් නම් කරන්නේ කුල පදනමින් ඡන්ද ලබාගැනීමේ හැකියාව සලකා බලමිනි. එහෙත්, සියලු දේශපාලන පක්ෂ හැසිරෙන්නේ කුලය කියා සාධකයක් නැති අන්දමටය. එය අමූලික ව්‍යාජයකි.

කුලය මේ වන විට රාජකාරිය ලෙස අතීතයේ හැඳින්වුණ වෘත්තීන් සමග තිබෙන සම්බන්ධය අවමය. එසේම, එම වෘත්තීන්වල යෙදීම මේ වන විට සමාජ වටිනාකම් වන අතර ඒවා තවදුරටත් පහත් ලෙස සැලකීමක් නැත. උදාහරණයක් ලෙස, කිසිවෙකුට පැණි හකුරු කර්මාන්තයේ යෙදිය හැකි නම් දැන් කිතුල් පැණි බෝතලයක මිල අනුව ඕනෑම කෙනෙකු එය කරනු ඇත. එය තවදුරටත් කුලයකට සීමා වී නැත. මේ වන විට කුලය යනු ප්‍රධාන වශයෙන්ම අනන්‍යතාව හා ප්‍රජා සාමූහිකත්වය සමග සම්බන්ධ සාධකයකි. එය මේ වන විට ජන ජීවිතයේදී බලාත්මක වන්නේ ප්‍රධාන වශයෙන්ම ආවාහ විවාහ හා දේශපාලනය වැනි සීමිත කාර්යයන් ප්‍රමාණයකදීය. මිශ්‍ර විවාහ සිදු වුව ද, කුලය අහෝසි වීමකට වඩා සිදුවන්නේ කුලවලට අවශෝෂණය කරගැනීමකි. අතීතයේ නම් එය කුලවද්දාගැනීම ලෙස හැඳින්විණි. කුලය අහෝසි වීමක් සිදුවන්නේ නැත. කුල අනන්‍යතාවන් ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනු ලැබේ.

රාජ්‍ය තනතුරුවලට පත්වීම් දීමේදී පවා කුලය අදාළ වන අවස්ථා තිබේ. උදාහරණයක් ලෙස, ඇතැම් පාසල්වල විදුහල්පති තනතුරට නිලධාරීන් පත්කිරීමේදී කුලය සලකා බැලීමට සිදු වේ.

හැත්තෑපස්වන නිදහස් සමරුව පිළිබඳ කතා කිරීමේදී මේ වන විට එයට එරෙහි වර්ජන තර්ජන දක්නට ලැබේ. එය එක්තරා ආකාරයකට පවත්නා රාජ්‍යයට එරෙහි කැරැල්ලක් ලෙස මම දකිමි. 1948දී ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස නිර්මාණය කිරීම ආරම්භ කරද්දී බහුතර ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ හෙයින් ශ්‍රී ලංකාවේ නිර්මාණය වූයේ සිංහල, බෞද්ධ, ගොවිගම ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයකි. එහි සිංහල, බෞද්ධ ආධිපත්‍යය දෙමළ නායකයන් විසින් මුල සිටම ප්‍රශ්න කරන ලදී. සුප්‍රකට පනහට පනහ ඉල්ලීමේ අරමුණ වූයේ සිංහලයන්ට නියෝජනයෙන් 50%කුත්, සුළුතර ප්‍රජාවන්ට 50%කුත් ලබාගැනීමයි. එය සාපේක්ෂව වඩා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමකි.

ශ්‍රී ලංකා රාජ්‍යය නිර්මාණය එළිපිටම සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුක්ත වූ අතර, එහි යටිතලයේ ආගමික ආධිපත්‍යයක් මෙන්ම, කුල ආධිපත්‍යයක් ද දක්නට ලැබේ. බෞද්ධ ආගමික ආධිපත්‍යය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලදි. කුලය පිළිබඳ සාධකය අහෝසි නොවී පවතී. එහෙත්, විවෘතව සාකච්ඡා කරන්නේ නැත. එසේම, දේශපාලන ආධිපත්‍යය පැහැදිලිවම පිරිමි මූලිකය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%ක මට්ටමටවත් ළඟාකරගැනීම දුෂ්කර වී තිබේ.

මේ අනුව සලකා බලන කල ශ්‍රී ලංකාව යනු සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි මූලික රාජ්‍යයක්ය ලෙස විග්‍රහ කළ හැකිය. 1948දී නිර්මාණය වී මේ වන විට පවතින්නේ එවැනි ශ්‍රී ලංකා ජනරජයකි. එහි සියලු හොඳ හා නරක එම සංදර්භයට අදාළය. එය ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයකි.

ශ්‍රී ලංකාව වඩා ප්‍රජාතාන්ත්‍රික කිරීමට නම්, සියල්ලන් ඇතුළත් කරගැනීම අත්‍යවශ්‍යය. ඒ සඳහා මූලිකත්වය ගත යුත්තේ ද සිංහල, බෞද්ධ, ගොවිගම අධිපතිවාදී ප්‍රජාවමය. එසේම, මෙම සියල්ලන් ඇතුළත් කරගැනීමට අන්තවාදී බලවේග හැර සාමාන්‍ය සිංහල, බෞද්ධ, ගොවිගම අධිපතිවාදී බලවේගයේ විරෝධයක් ද ඇති බවක් නොපෙනේ. එක්සත් ජාතික පක්ෂය මෙයට හොඳම උදාහරණයකි. එය තම ජනාධිපති අපේක්ෂකත්වය කීප වතාවක්ම වෙනත් කුලවල සිංහලයන්ට ලබාදුන් අතර පක්ෂ නායකයකු හා ජනාධිපතිවරයකු ද වෙනත් කුලවලින් නිර්මාණය කරගෙන තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෑත යුගයේදී අලි සබ්‍රි වැනි නායකයන් නිර්මාණය කර ඇති අතර, අනාගත නායකත්වයක් සඳහා ඔහුට හොඳ අවස්ථාවක් තිබේ.

මේ වන විට නිදහස් උළෙල වර්ජනය කිරීමට ගෙන යන ව්‍යාපාරය මා දකින්නේ සිංහල, බෞද්ධ, ගොවිගම මූලික රාජ්‍යයට එරෙහි කැරැල්ලක් ලෙසය. එහි මූලිකත්වය ගෙන තිබෙන්නේ කතෝලික නායකයන් වුව ද, එය මේ වන විට රාජ්‍යය විසින් ඇතුළත් කර නොගන්නා ලද සියලු සුළුතර ප්‍රජාවන් අතර ප්‍රචලිතය. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර නිදහස් උළෙල විරෝධය මුල්බැසගෙන තිබේ. සිංහල, බෞද්ධ, ගොවිගම ස්ථාපිතයට එරෙහිව ප්‍රබලම අභියෝගය එල්ල කළේ දෙමළ දේශපාලන ප්‍රජාවයි.

2022 වසරේ ‘අරගලය’ තුළ ද සිංහල, බෞද්ධ, ගොවිගම ස්ථාපිතයට එරෙහි පෙළගැස්මක් ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. හැත්තෑපස්වන නිදහස් සමරුවට එරෙහි ව්‍යාපාරය එම කැරැල්ලේම දිගුවකි. එයට නායකත්වය දෙන බව පෙනෙන්නේ කතෝලික ආගමික නායකයන්ය. මෙම කැරැලිවල මූලික ගැටලුව ලෙස මා දකින්නේ ඒවායේ ඇති කඩාකප්පල්කාරීත්වය ඉක්මවා නොයන නොගැඹුරු දේශපාලනයයි. එම නොගැඹුරුභාවය ද මෙම කතෝලික නායකත්වය වෙතින් ද මැනැවින් නිරූපණය වේ. හුදු ප්‍රතිරෝධය විසින් කිසිදු සාධනීය දෙයක් නිර්මාණය කළ නොහැකිය. වෙනස්කම් නිර්මාණය කළ හැක්කේ ධනාත්මක උද්දේශනයෙනි. සියලු කැරැලිකරුවන් එය අවබෝධ කරගත යුතුය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මෙම දේශපාලන චලනය කෙරෙහි අවධානය යොමුකිරීම ඉතා වැදගත්ය.