අජිත් පැරකුම් ජයසිංහ

අර්බුදයේ වර්තමාන අවධිය පටන් ගත්තෙ 2005 සිට උපාධිධාරීන්ට උත්සව පවත්වමින් රජයේ රැකියා දෙමින් මහින්ද රාජපක්ෂ යටතේ විශාල රජයක් හා ඇස්බැන්දුම් සංවර්ධනයක් නිර්මාණය කිරීම හරහා නිර්මාණය වුණ මහින්ද චින්තනයෙන්. අයිඑම්එෆ් එකත් එක්ක ප්ලග් ගලවලා සීයට දහයට වැඩි ගිනි පොළී මූල්‍ය වෙළඳපොළට ලංකාව ගැටගහපු එක ගැන විමල් වීරවංශලා ගහපු කයිවාරු මතකද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ වෘත්තික සංවිධානයක්. ඔවුන්ගේ මූලික අරමුණ ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද රැකගන්න එක. ඒ සඳහා තමයි ඔවුන් ලෝකයට ප්‍රතිපත්ති සම්පාදනය කරන්නෙ. ප්‍රධාන වශයෙන් ඇමරිකාවෙන්, යුරෝපයෙන් ලැබෙන සල්ලි ටික තමන්ගෙ වැටුප් විදියට දාගෙන, උන්ව සතුටු වෙන විදියට ප්‍රතිපත්ති හදලා, ඊට පස්සෙ වැල යන අත එහෙම බලලා ගැලපෙන විදියට පන්දලම ගහන එක තමයි මේ වෘත්තිකයන්ගෙ රස්සාව.

කොහොම වුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ වැඩසටහන සාර්ථකයි. මූලික වශයෙන් ගෝලීය ධනවාදයට අවශ්‍ය විදියට ලෝකයෙම වගේ ආර්ථිකයන් මේ වෙනකොට හැඩගස්වගෙන ඉවරයි. ඒක හරියට කර නොගත්ත ලංකාව වගේ රටවල් තමයි ලොකුම අර්බුදවල ඉන්නෙ.

2000 දශකයේ මුල හරියේ ලෝක වෙළඳ සංවිධානය මුල්කරගෙන දියත් කරපු වෙළඳපොළ පූර්ණ අන්දමින් නිදහස් කරන හා ගෝලීයකරණය ශක්තිමත් කරන වැඩසටහනට ලෝකයේ කුඩා ජාතීන්ගෙන් දැවැන්ත විරෝධියක් පැමිණීමත් එක්ක ලෝක වෙළඳ සංවිධානය පසුබැස්සා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දැන් ආක්‍රමණශීලී වැඩසටහන ප්‍රවර්ධනය කරන්නෙ නැහැ. හැබැයි, ඒක හෙමින් හෙමින් ඉදිරියට යනවා.

දැන් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන පදනම් වෙන්නෙ තිරසර සංවර්ධන අරමුණු මත. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය සියල්ල එකතුවෙලා නිර්මාණය කරගෙන අනුගමනය කරන තිරසර සංවර්ධන අරමුණු 17 මනා සංවර්ධන මූලෝපායක් ලෙස ලෝකයේ කවුරුත් පිළිගන්නවා.

ලංකාව තිරසර සංවර්ධන මාවතට නැවත පීලිගත කරන්න ඕනැ. මහින්ද චින්තනය විසින් ණය මත මවාපෑ හම්බන්තොට සිහින නගර මාදිලියේ මෙගා සංවර්ධනය මේ මොහොත වනවිට ලංකාවට තවදුරටත් දරාගන්නට බැහැ.

ඒ වගේම, 2005 සිට මේ දක්වා කාලය තුළ සංඛ්‍යාත්මකව (ගුණාත්මකව නෙමෙයි) දෙගුණ කර තිබෙන රාජ්‍ය සේවයේ වියදම දැන් රාජ්‍ය ආදායමට ආසන්න මුදලක්. රාජ්‍ය ආදායමෙන් 80%ක් විතර වැටුප් ගෙවන්නට විතරක් වැයවෙනවා. රාජ්‍ය සේවය මේ වනවිට රාජ්‍ය අරමුදල් මත පදනම් වූ මධ්‍යම පන්තියේ පැවැත්ම තහවුරු කරගැනීමට පවත්වාගෙන යන දෙයක් වෙලා. මහජන සේවය පවත්වාගෙන යන්නේ ඒ අරමුණ සාධාරණීකරණය කරගැනීමට අවශ්‍ය මට්ටමට පමණයි.

ඒ විතරක් නෙමෙයි, රාජපක්ෂ ක්‍රමය අනුව, සමාජවාදයට, ජාතිකවාදයට මුවාවෙලා නිර්මාණය කර හා පවත්වාගෙන යන ශ්‍රීලන්කන්, ලංකා විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා ලංගම වැනි ‘ජාතික සම්පත්’ අධික ලෙස පාඩු ලබමින්, රාජ්‍ය බැංකුවලට පොලු තබමින්, බදු මුදල් කාබාසිනියා කරමින්. රජයේ ණය බර ඉහළ නංවන ආර්ථික පිළිකා බවට පත්වෙලා. මෙම ආයතන විසින් හරිහමන් සේවයක් නොකළාට ඒවායේ නිලධාරීන් හා සේවකයන් විශාල වැටුප් ලබාගන්නවා. මේවා පවතින්නේ මහජනයා වෙනුවෙන් නොව, ඒවායේ නිලධාරීන් වෙනුවෙන් බව දැන් ඉතා පැහැදිලියි.

මේ ක්‍රමය වෙනස් කරන්නට ඕනැ. ඒ වෙනස කොතනින් හරි පටන්ගන්න ඕනැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න වෙලා තියෙන්නෙ ඒකට. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සාමාජික රාජ්‍යයක්. ඒක තියෙන්නෙ මෙවැනි අවස්ථාවල සාමාජික රාජ්‍යවලට උදව් කරන්න. රට රටවලින් හිඟා කාලා මාස තුනට, අවුරුද්දට කෙටිකාලීන ණය ඒගොල්ලන්ගෙන් බඩු ගන්න කොන්දේසිය මත ලබාගන්නවාට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක ගෞරවනීයයි.

ලංකාවට අවුරුද්දකට ඩොලර් බිලියන හතරක, පහක ණය ගෙවන්නට තිබෙනවා. පසුගිය කාලෙ ඒවා ගෙව්වෙ විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළියට ණය අරගෙන. දැන් තවදුරටත් ඒක කරන්නට බැහැ. අපි ණය ගෙවීම කල්දමාගන්නට ඕනැ. ඒ එක්කම, අත්‍යවශ්‍ය ආනයන කරගන්නට ඕනැ. අපේ අපනයන රැකගන්නට ඕනැ. අපේ ශ්‍රම බලකායට ආහාර ඇතුළු මූලික පහසුකම්වත් තියෙන්නට ඕනැ. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා වෙන්නට ඕනැ. රටේ ආර්ථිකය තිරසර විදියට සංවර්ධනය වෙන්නට නම් අපට විදේශ සංචාරකයන්, විදේශ ආයෝජන, විදේශ ප්‍රාග්ධන හා ශ්‍රම වෙළඳපොළට අපේ ප්‍රවේශය, නිෂ්පාදන සංවර්ධනය, නිෂ්පාදන හා සේවා අපනයනය, දේශීය නිෂ්පාදනය, වෙළඳපොළ ආදිය සංවර්ධනය කරගන්නට ඕනැ. ඒකට අපට ආර්ථික ශක්තියක් ඕනැ. මේ කඩාවැටීම නවත්වාගන්නට ඕනැ.

ඒකට උපකාර කරන්නට චීනය හෝ ඉන්දියාව පවා එන්නෙ නැති බව පැහැදිලියි. ඔවුන් ණය දෙන්නෙ ව්‍යාපාරික විදියට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ප්‍රධාන වශයෙන් තියෙන්නෙ ඇමරිකාව, යුරෝපය වැනි ආර්ථික බලවතුන්ගෙ මුදල්. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ වැඩසටහනක් එක්ක අපේ ආර්ථිකය ගෝලීය ධනවාදයත් එක්ක ගැලපෙන විදියට හැඩගැසෙන බව අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. හැබැයි, ඒ එක්ක රාජ්‍ය මූල්‍ය විනයකුත් හැදෙනවා. අපි ආදායම් අනුව වියදම් කළ යුතුයි. වියදම් වැඩිකරගන්නවා නම් ආදායමත් වැඩිකරගත යුතුයි. මේවා ඉතා සරල ආර්ථික සිද්ධාන්ත. රට සම්බන්ධයෙන් නැතිවුණාට ගෙදර සම්බන්ධයෙන් අපි මේවා අනුගමනය කරනවා.

මේක විප්ලවයී මෙහොතක්. හැබැයි, ලංකාවට අවශ්‍ය විප්ලවය මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්නට ඕනැ. ඒක වචන පනහකින් කියනවා නම් මෙහෙමයි: “ලංකාවෙ රාජ්‍යයේ හිමිකාරීත්වය වර්තමානයෙදි තියෙන්නෙ මධ්‍යම පන්තිය අතේ. රාජ්‍යයෙන් යැපෙන මධ්‍යම පන්තිය තමයි අර්බුදයට වගකියන්න ඕනැ. ඒක වෙනස් කරලා විශේෂයෙන් රාජ්‍ය සේවයෙන් පිටත සිටින වැඩකරන ජනතාව සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කර දේශපාලනය තුළ ඔවුන්ගේ නියෝජනය තහවුරු කරන එක තමයි ලාංකීය විප්ලවය කියන්නෙ.”

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: