අජිත් පැරකුම් ජයසිංහ
බුද්ධ ශාසනයේ සිව්වනක් පිරිස ලෙස හැඳින්වෙන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන පිරිස්.
බුදු සසුන තුළ මෙහෙණි සසුන ආරම්භ වන්නේ බුදුන් වැඩ වෙසෙද්දී තරමක් පසුකාලීනවයි. මහණ වීම සඳහා මුලින් ම අවසර ඉල්ලා සිටියේ යශෝධරා දේවියයි. දෙවනුව අවසර ඉල්ලුවේ බුදුන් ළඟ පැවිද්ද ලද ශාක්‍ය, කෝලිය කුමාරවරුන් 500දෙනෙකුගේ කුමාරිකාවනුයි. තුන්වන වර සිදුහත් කුමරුගේ සුළුමව වූ ප්‍රජාපතී ගෝතමිය අවසර ඉල්ලුවා. මෙම අවස්ථා තුනෙහිදී ම බුදු හිමියෝ අවසර දීම ප්‍රතික්ෂේප කළත්, පසුව ප්‍රජාපතී ගෝතමිය ඒ වෙනුවෙන් කළ බලපෑමත්, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ගේ ඉල්ලීමත් හේතුවෙන් කාන්තාවන්ට මහණ වීම සඳහා අවසර ලැබුණා.

ශ්‍රී ලංකාවේ මෙහෙණි සසුනෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය, එනම් ක්‍රි .පූ. 230 – 210 කරා විහිදෙනවා. දීපවංසයේ 15, 77, 78 පරිච්ඡේදවල සඳහන් වන පරිදි සංඝමිත්තා, උත්තරා, හේමා, මසාර, ගල්ලා, අග්ගිමිත්තා, කප්පා, පබ්බජින්නා, මල්ලා, ධම්මදාසිකා යන මෙහෙණින් වහන්සේලා දේවානම්පියතිස්ස රජුගේ ආරාධනයෙන් මෙරටට වැඩම කර තිබෙනවා. මහානාග නම්වූ යුව රජතුමාගේ මෙහෙසිය වූ අනුලා දේවිය ප්‍රමුඛ ස්‌ත්‍රීන් දහසක් දෙනා පැවිදි බව ලැබූ බව සඳහන් වෙනවා. සද්ධර්මරත්නාලංකාරයේත්, මහාවංශයේත් සඳහන් පරිදි මෙහිදී රජතුමන් විසින් භික්‌ෂුණීන් වහන්සේලාගේ වැඩ විසීම සඳහා අනුරපුර නගරයෙහි “හත්ථාලිහක” විහාරය සහ “උපාසිකාරාමය” යන මෙහෙණි ආරාම පළමුවරට පිහිටුවනු ලැබුවා.
මහානාම රජු දවස, එනම්, ක්‍රි. ව. 412 – 434, සිංහල භික්‌ෂුණීන් අට නමක් චීනයට වැඩම කරවීමෙන් පසු එරට “භික්‌ෂුණී ශාසනය” ආරම්භ වූ බව ආචාර්ය සිරි නිස්‌සංක පෙරේරා පවසනවා.
එහෙත්, ශ්‍රී ලංකාවේ කලක සිටම භික්ෂුණීන් සිටියේ නැහැ. භික්ෂූන් නොසිටි කාලත් ඉතිහාසයේ තිබෙනවා. උපසම්පදා භික්ෂූන් නොමැති වුණාම සෙසු භික්ෂූන්ට උපසම්පදාව දෙන්නට කෙනෙකු නොමැති වීම නිසා උපසම්පදා භික්ෂූන් නැතිව යනවා. එසේ වී තිබියදී, 18වන සියවසේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේදී සියමෙන් නැවතත් උපසම්පදාව රැගෙන එනවා. එතැන් පටන් තමයි ලංකාවේ භික්ෂු පරපුරක් නැවත පැවත එන්නේ.
මේ අන්දමින්ම උපසම්පදා වූ භික්ෂූණීන් නොසිටීම නිසා ලංකාවේ පමණක් නොව ලෝකයේමත් භික්ෂුණීන් නැතුව යන තත්වයක් ඇති වුණා. එහෙත්, චීනයේ පැවති භික්ෂුණී පරපුරෙන් උපසම්පදාව රැගෙන විත් රංගිරි දඹුලු සංඝ සභාව විසින් 1998දී භික්ෂුණී ශාසනය නැවත පිහිටුවන්නට කටයුතු කරනවා.
එහෙත් ප්‍රධාන මහනායකවරුන් මෙය පිළිගන්නට මැලිකමක් දක්වනවා. ලොව කිසිදු රටක භික්ෂුණී ශාසනයක් නැති බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.
භික්ෂුණීන්ගේ අනන්‍යතාව පිළිබඳ නීතිමය ගැටලුවක් මතුවන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ලංකාවේ භික්ෂුණී ශාසනය පිළිනොගන්නා තැනකට පත්වීමත් සමගයි.
මේ හේතුවෙන් සිය ගණනක් වන ශ්‍රී ලාංකික භික්ෂුණීන්ට බලවත් අසාධාරණයක් වුණා. ඔවුන්ට සිවිල් අයිතිවාසිකම් වන ඡන්දය දැමීම පවා කරන්නට අවස්ථාව ලැබුණෙ නැහැ. ඇතැම් තරුණ භික්ෂුණීන්ට ප්‍රසිද්ධ විභාගවලට පෙනී සිටීමට පවා නොහැකි වුණා. බැංකු ගිණුමක් විවෘත කිරීම පවා කරගත නොහැකි වුණා.
මුල් කාලයේදී භික්ෂූණීන්ට හැඳුනුම්පත් නිකුත් කර තිබුණත්, මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී එය අත්හිටුවනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද යොමු වූ මෙම ප්‍රශ්නය අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් බවට පත් වුණා.
වැලිමඩ ධම්මදින්න නමැති භික්ෂුණිය සහ රංගිරි දඹුල්ල සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල හිමියන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග වුණා.
රංගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ භික්ෂුණියක් වශයෙන් කටයුතු කරන වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළා. ඒ අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ එකඟතාව අනුව විනිසුරු ගාමිණී අමරසේකර මහතා විසින් ලබාදුන් තීන්දුව අනුවයි.
ඒ අනුව වැලිමඩ ධම්මදින්න භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කළා.
2013 වසරේ මැයි මස 31 වන දා තමා “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම සඳහා අයදුම් පතක් ඉදිරිපත් කළත් එම අයදුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාරීය සඳහන් කර තිබුණා. අවශ්‍ය නම් “සිල් මාතා” පදනම යටතේ හැඳුනුම්පතක් නිකුත් කළ හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිතව දැනුම් දී තිබූ බවත් පෙත්සම්කාරිය සඳහන් කළා.
නඩු විභාගයේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අර්ථකථන නීතියට අනුව “භික්‍ෂූන්” යනුවෙන් සඳහන් කරන විට භික්‍ෂුණියන් ද ඊට ඇතුළත් විය යුතු බව පොදු නීතිමය සිද්ධාන්තය බව ඔහු පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාව පුරා ආරාම 220කට වැඩි සංඛ්‍යාවක වැඩ වාසය කරන භික්ෂුණීන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවකට සෙත සැලසෙන මෙම නඩු තීන්දුව ඓතිහාසිකයි. එක පැත්තකින් භික්ෂුණීන්ට රාජ්‍ය පිළිගැනීමක් හිමි වෙනවා.
රංගිරි දඹුල්ල සංඝ සභාව රජය විසින් අනුමත කර නොතිබීම සහ භික්ෂුණීන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ විෂය පථයට අදාළ නොවීම යන හේතූන් මත පෙත්සම්කාරියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ කළ ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ නැහැ.
පෙත්සම්කාරිය කාන්තාවක් වීම නිසා මෙවැනි නීතිමය බාධකවලට මුහුණ දීමට සිදුව ඇති අතර එය නීතිය ඉදිරියේ “වෙනස් කොට” සැලකීමක් බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
එහෙත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකකරන විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි.
ඒ අනුව ඇයගේ පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මහින්ද සමයවර්ධන විනිසුරුවරයා සිය සුළුතර තීන්දුවේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිළිගත හැකිද යන්න ආගමික ප්‍රශ්නයක්. එහෙත්, ඒ සම්බන්ධ තර්කයක් සහිත භික්ෂුණී ප්‍රජාවට මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකි තත්වයක් නිර්මාණය වීම සමාජ ප්‍රශ්නයක්.