මෑත දිනෙක කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී දක්නට ලැබුණු අපූරු දසුනක් ඔබට මතක ඇති. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබානු තානාපතිනී පැට්‍රීසියා ලාසාරෝ පේගෝ ගුවේරා මහත්මියගේ සුරතින් නිරාවරණය කෙරුණු, ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදියෙකු වූ ජෝසේ මාර්ටිගේ (José Martí) අනුස්මරණ පිළිරුවයි. අමාත්‍ය විජිත හේරත්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් ඇතුළු සම්භාවනීය පිරිසක් මැද, ප්‍රවීණ මූර්ති ශිල්පී ඇන්ඩෲස් ගොන්සාලෙස්ගේ දෑතින් සහ වාස්තුවිද්‍යාඥ කේෂාන් ද සිල්වාගේ සැලසුම්කරණයෙන් හැඩගැන්වී නිහඬව වැඩසිටි ඒ පිළිරුව අපට කියාපාන්නේ අතිශය හැඟීම්බර මෙන්ම වීරෝදාර ජීවන වෘත්තාන්තයකි. මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ හද ගැස්ම තේරුම් ගන්නට නම්, අප කියුබානු ඉතිහාසයේ කඳුළු සහ රුධිරය වැගිරුණු අතීතයට පියමං කළ යුතුය.

වර්ෂ 1853 ජනවාරි 28 වැනිදා කියුබාවේ හවානා නුවරදී උපත ලැබූ ජෝසේ හුලියන් මාර්ටි පෙරාස් ගේ මව්පියන් වූයේ ස්පාඤ්ඤ ජාතික මරියානෝ මාර්ටි සහ ලියොනෝර් පේරෙස් ය. තම මව්පියන් ස්පාඤ්ඤ ජාතිකයින් වුවද, කුඩා කල සිටම මාර්ටිගේ නෙත් ගැටුණේ ස්පාඤ්ඤ යටත්විජිතවාදීන්ගේ කෲර පාලනය යටතේ කියුබානු ජනතාව සහ අප්‍රිකානු වහලුන් විඳි අප්‍රමාණ පීඩාවයි. ඒ පීඩාව ඔහුගේ ළපටි හදවතේ නිදහසේ ගිනිසිළුවක් දල්වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු දහසය තරම් ළාබාල වියේදීම ස්පාඤ්ඤ පාලනයට එරෙහිව කටයුතු කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගෙන බරපතළ වැඩ සහිතව සිරගත කරන ලදී. යකඩ විලංගු නිසා ඔහුගේ දෙපාවල ඇතිවූ තුවාල කැළැල්, ජීවිතාන්තය දක්වාම මාර්ටිගේ සිරුරේ මෙන්ම ආත්මයේද සටහන් වී තිබිණි.
දැඩි දේශපාලනික සහ විප්ලවකාරී ජීවිතයක් ගත කළද, ඔහුගේ පෞද්ගලික ජීවිතය අතිශය සංවේදී එකක් විය. ඔහු 1877 වසරේදී කියුබානු ජාතික තරුණියක වූ කාමන් සායාස් බසාන් (Carmen Zayas Bazán) සමඟ විවාහ විය. 1878 දී ඔවුනට දාව ‘ජෝසේ ෆ්රැන්සිස්කෝ’ නමින් පුතෙකු උපත ලැබීය. මාර්ටි තම පුතුට දැක්වූයේ අප්‍රමාණ සෙනෙහසකි. ඔහු විසින් රචිත ‘Ismaelillo’ නමැති කාව්‍ය සංග්‍රහය සම්පූර්ණයෙන්ම තම පුත්‍රයා වෙනුවෙන් ලියැවුණකි. එහෙත්, මාර්ටිගේ විප්ලවවාදී ජීවන රටාවත්, නිරන්තරයෙන් රටින් රටට පිටුවහල් වීමට සිදුවීමත් ඔහුගේ පවුල් ජීවිතයට ගෙන ආවේ ඛේදවාචකයකි. තම සැමියාගේ දේශපාලන ක්‍රියාකාරකම් සහ අස්ථාවර ජීවිතය දරාගත නොහැකි වූ බිරිඳ කාමන්, අවසානයේදී පුත්‍රයාද කැටුව ඔහු හැරදා යළි කියුබාවට ගියාය. තම මව්බිම නිදහස් කර ගැනීමේ උත්තරීතර අරමුණ වෙනුවෙන් මාර්ටිට තම පෞද්ගලික ආදරය සහ පවුලද පරිත්‍යාග කිරීමට සිදුවීම ඉතිහාසයේ සටහන් වූ කඳුළු බිඳකි.
මාර්ටි උපදින සමය වන විට ලතින් ඇමෙරිකාවේ බොහොමයක් රටවල් ස්පාඤ්ඤයෙන් නිදහස ලබා තිබුණද, කියුබාව තවදුරටත් පැවතියේ දැඩි යටත්විජිත ග්රහණයකය. කියුබාව නිදහස් කර ගැනීම සඳහා 1868 දී ආරම්භ වූ ‘දස අවුරුදු යුද්ධය’ අවසන් වූයේ අපේක්ෂිත නිදහස ලබා නොදෙමිනි. මේ තත්ත්වය තේරුම් ගත් මාර්ටි, ඇමෙරිකා එක්සත් ජනපදයේ පිටුවහල්ව සිටින අතරතුර, විසිරී සිටින කියුබානු ජනතාව එක්සත් කිරීමේ භාරදූර කාර්යයට උර දුන්නේය. 1892 දී ඔහු ‘කියුබානු විප්ලවකාරී පක්ෂය’ පිහිටුවූයේ ඒ සඳහාය. ඔහුගේ දර්ශනය සුවිශේෂී වූයේ ඔහු ස්පාඤ්ඤ යටත්විජිතවාදයට පමණක් නොව, අනාගතයේදී කියුබාව ගිලගැනීමට මාන බලමින් සිටි ඇමෙරිකානු අධිරාජ්‍යවාදයටද එරෙහිව දැඩි ලෙස අනතුරු ඇඟවූ බැවිනි.

ඔහු මියගොස් දශක ගණනාවකට පසු 1953 දී බටිස්ටාගේ ඒකාධිපති පාලනයට එරෙහිව මොන්කාඩා කඳවුරට පහර දුන් ෆිදෙල් කස්ත්‍රෝ ප්රමුඛ තරුණයින්ගේ ආත්මීය නායකයා වූයේද මාර්ටිය. තමන්ගේ ඒ විප්ලවකාරී ප්‍රහාරයේ “බුද්ධිමය කර්තෘවරයා” ජෝසේ මාර්ටි බව කස්ත්‍රෝ අධිකරණය හමුවේ නිර්භීතව ප්‍රකාශ කළේ ඒ නිසාය.
කවියෙකු, ලේඛකයෙකු සහ දාර්ශනිකයෙකු ලෙස පෑන අවියක් කරගත් මාර්ටි, අවසානයේදී සැබෑ යුධ බිමටද පිවිසියේය. 1895 දී කියුබානු නිදහස් යුද්ධය ආරම්භ කරමින් ඔහු සිය මව්බිමට ගොඩබැස්සේය. 1895 මැයි 19 වැනිදා ‘ඩොස් රියෝස්’ (Dos Ríos) යුධ බිමේදී, සුදු අසු පිට නැඟී ස්පාඤ්ඤ හමුදාව දෙසට නිර්භීතව ගිය මේ මහා ප්‍රාඥයා, සතුරු වෙඩි පහරින් තම අවසන් හුස්ම හෙළුවේ කියුබාවට පමණක් නොව සමස්ත ලෝකයටම විරාගී දේශප්‍රේමයක සලකුණක් ඉතිරි කරමිනි.
විශිෂ්ට කවියෙකු වූ මාර්ටි විසින් රචිත ‘Versos Sencillos’ (සරල කවි) නම් කාව්‍ය සංග්‍රහය ලතින් ඇමෙරිකානු සාහිත්‍යයේ නොමැකෙන සටහනකි. අදටත් ලොව පුරා විප්ලවවාදීන්ගේ සහ නිදහස්කාමීන්ගේ මුවග රැව්දෙන, කියුබාවේ නිල නොවන ජාතික ගීය බඳු වූ ලෝකප්‍රකට “Guantanamera” (ගුවන්තනමෙරා) ගීතය නිර්මාණය වන්නේද ඔහුගේ එම කවි පෙළ පදනම් කරගනිමිනි. තම ජීවිතය මෙන්ම මරණයද කල්තියා දුටු ඒ සුන්දර මානවහිතවාදියාගේ හදවතින් ගලා ආ, එම අමරණීය ගීතයට පදනම් වූ කවි පදවැල් පෙළෙන් මේ වෘත්තාන්තය නිමා කිරීම වඩාත් අරුත්බර වනු ඇත.
“තල් රුප්පාවන් සරුවට වැඩෙනා දේශයෙන් පැමිණි – අවංක මිනිසෙකි මම මගේ දෑස පියවී – මිය යන්නට මත්තෙන් මගේ ආත්මයේ ගැඹුරින්ම උපන් මේ කවි මුදා හරින්නට… මට අවැසිය…”










