Dharisha Bastians

ධරීෂා බැස්ටියන්ස් සම්බන්ධයෙන් අධිකරණයට හෙළිදරව් කරන්නට බැරි ඇයි?

පසුගිය රජය සමයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කර්තෘ ධුරය හෙබවූ ධරීෂා බැස්ටියන්ස්ට එරෙහිව ශ්‍රී ලංකා රජය එල්ල කර ඇතැයි කියන මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවන් හෙවත් රැපෝටර්වරුන් පස්දෙනෙකුම ශ්‍රී ලංකා රජයට සිය කණස්සල්ල පළ කර තිබේ.

එම නිල වාර්තාකරුවන් වන්නේ පහත දැක්වෙන අයයි:

David Kaye – Special Rapporteur on the promotion and protection of the right to freedom of opinion and expression
Agnes Callamard – Special Rapporteur on extrajudicial, summary or arbitrary executions
Clement Nyaletsossi Voule – Special Rapporteur on the rights to freedom of peaceful assembly and of association
Mary Lawlor – Special Rapporteur on the situation of human rights defenders
Joseph Cannataci – Special Rapporteur on the right to privacy

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිටින නිල වාර්තාකරුවන් අතරින් පස්දෙනෙකු ධරීෂා වෙනුවෙන් කතාකිරීමට ඉදිරිපත් වුණත්, ශ්‍රී ලංකාවේ සහෝදර මාධ්‍ය සංවිධාන හා මාධ්‍යකරුවන් ඇය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ඇල්මැරුණු ප්‍රතිපත්තිය බරපතල ප්‍රශ්නයකි. ඔවුන් නමට පමණක් මේ ගැන සඳහන් කර නිහඬ වන බවක්ද දක්නට ලැබේ. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නද පසුගිය පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප්‍රශ්න කළේය.

Translations by Creative Content Consultants

ධරීෂා බැස්ටියන්ස් හා එක්සත් ජාතික පක්ෂයේ තවත් මාධ්‍ය කළමනාකරුවකු වන ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිශාන්ත කුරේ රජයේ උදහසට ලක්වූයෙ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධ පැහැරගෙන යාමේ සිද්ධියත් සමගය.

ඉන් පසු මෙම දෙපලම විදේශගත වූ අතර, පසුගිය ජුනි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ධරීෂාගේ නිවසට පැමිණ ඇගේ පෞද්ගලික පරිගණකය පරීක්ෂණ සඳහා රැගෙන ගියේ ය. මීට පෙර දෙවතාවක්ම පොලිසිය අධිකරණ නියෝග නොමැතිව ඇගේ නිවසට පැමිණ මෙම පරිගණකය රැගෙන යාමට උත්සාහ කළ බව ඇය පවසයි. ඇගේ ජංගම දුරකථනයේ තොරතුරුද පරීක්ෂණ සඳහා ලබාගෙන තිබේ.

ධරීෂා බැස්ටියන්ස්, ක්‍රිශාන්ත කුරේ වැනි අය පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිටියේ අඩි ගණනක් උඩින් ය. ඔවුන් මාධ්‍ය සංවිධාන හෝ සෙසු මාධ්‍යකරුවන් තඹයකට මායිම් කළේ නැති බවට චෝදනා එල්ල වේ. එහෙත්, ඔවුන්ගේ මුග්ධ උඩඟුකම හේතුවෙන් ඔවුන්ට සිදුවන මෙකී අසාධාරණය පිළිබඳ මුනිවත රැකීම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් නිර්මාණය කරයි.

ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් සිද්ධිය සම්බන්ධයෙන් ධරීෂා බැස්ටියන්ස් සැකයට භාජනය වන්නේ එම පැහැරගැනීම සිදු වූ වකවානුවේදී ඇය ගානියර් සමග දුරකථන සම්බන්ධතා පැවැත්වීම මත ය. එසේම, එම වකවානුවේ ඇය තම හිටපු ආයතන ප්‍රධානියා වන ක්‍රිශාන්ත කුරේ සමග ද, ස්විට්සර්ලන්තයට පළාගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමග ද, වැඩ තහනම් කරන ලද එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග ද දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බව කියැවේ. ජනමාධ්‍යවේදියකු තොරතුරු මූලාශ්‍ර සමග දුරකථන සංවාද සිදුකිරීම විස්මයට කරුණක් නොවේ.

ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධ සිදුවීමට දැන් මාස දහයක් පමණ වේ. ධරීෂා බැස්ටියන්ස් කිසියම් වරදක් කර තිබේ නම්, ඒ පිළිබඳ විමර්ශන හමාර කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඇති තරම් කාලයක් ගත වී තිබේ.

මෙවැනි සිදුවීම් අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා රජයට ද හානිකරය. මාධ්‍ය මර්දනයක් තිබෙන බව කියා ස්විට්සර්ලන්තය වැනි රටවල දේශපාලන රැකවරණ ලබාගැනීමේ මෝස්තරයක් අපි පසුගිය කාලයේ ජනමාධ්‍යකරුවන් අතර දුටුවෙමු. මාධ්‍යකරුවන්, අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින්නන් සහ ක්‍රියාකාරිකයන් අතර මෙවැනි මානසිකත්වයක් නැවත මෝදුවෙමින් තිබෙන බව අපි නිරීක්ෂණය කරන්නෙමු.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යකරුවන් අතර එතරම් විශ්වාසයක් නැති බව වෙනම කරුණකි. එහෙත්, මාධ්‍ය මර්දනය ගැන බොරුවකින් ලෝකය රවටන්නට කපටීන්ට ඉඩ නොදිය යුතු බව අපගේ ස්ථාවරයයි.

Translations