Aruna news

ලිංගික අපරාධ මනසෙහි නැවත රඟදක්වන අපේ රටේ ඇතැමුන්ගේ පුවත්පත් කලාව

අජිත් පැරකුම් ජයසිංහ

අරුණ පුවත්පතේ වෙබ් අඩවියෙන් ගත් රූපයේ දැක්වෙන වාර්තාවේ තිබෙන ගැටලු මොනවාද?

මාතෘකාව බලන්න. අමානුෂිකව දූෂණය කරලා. ඒ කියන්නෙ මානුෂිකව දූෂණය කිරීම කියල දේකුත් තියෙනවා. ඒක ඒ තරම් ලොකු වරදක් නෙමෙයි වගේ අදහසක් මේ මාතෘකාවේ තිබෙනවා. අමානුෂිකව දූෂණය කිරීම ඊට වඩා ලොකු වරදක්.

මේ අදහස වැරදියි. දූෂණය කොහොම කළත් මානුෂික නැහැ.

ඒ වගේම, මේ ප්‍රවෘත්තියේ මුල් ඡේදයේ මෙහෙම සඳහන් වෙනවා. “15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටියදී…” ඒ කියන්නෙ මේ ගැහැණු ළමයා වගෙයි වැරදි. වරදකරු එම වරද කළේ වරදට භාජනය වූ අයගේ වරද නිසාය කියලද මේ කියන්නෙ?

15 හැවිරිදි ළමයකුට ලිංගික එක්වීම සඳහා කැමැත්ත පළකිරීමේ හැකියාවක් නීතිමය වශයෙන් නැහැ. ඒ ළමයා මේ තරුණයාගේ නිවසට කැමැත්තෙන් ආවත්, කැමැත්තෙන් ලිංගිකව එක් වුණත්, ඒ දෙකම නීතිමය වශයෙන් වැරදියි.

මේ වාර්තාවේ මෙහෙමත් දැක්වෙනවා: “අමානුෂික ලිංගික හිරිහැරවලට ලක් වූ…”

මේ වාක්‍යය කර්මකාරක වාක්‍යයක්. ක්‍රියාවට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ක්‍රියාවේ කර්තෘට අවධානයක් නැහැ. කරපු කෙනෙක් නැහැ වගේ. කරලා නෙමෙයි වෙලා. දූෂණය වෙලා. කරන්නෙ නැතුව වෙන්න පුළුවන්ද? වැරදි ඉබේ වෙන්නෙ නැහැ. වැරදි කරනවා. කරපු අය ඉන්නවා.

මේ වාර්තාවේ වරද සම්පූර්ණයෙන්ම වගේ පටවන්නේ වින්දිතයාට. “කතරගම පොලිසිය විසින් ඇය පෙරේදා (16) පොලිස් භාරයට ගනු ලැබුවාය…” ‘පොලිස් භාරය’ කියන වචන හරියට ‘පොලිස් අත්අඩංගුවට’ වගේ. මෙතනදි විය යුත්තෙ භාරයට ගැනීමක් නෙමෙයි. රැකවරණ සැපයීමකුයි.

“බාලවයස්කාර දැරියට අමානුෂික ලෙස දුෂණය කරන ලද 27 හැවිරිදි එම තරුණයා ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි…” යනුවෙන් දැක්වෙන්නේ දෙවෙනි ඡේදයේයි. ‘එම තරුණයා ද…” ද යන්නක් මොකටද? ඒ තරුණයා අනිවාර්යයෙන් අත්අඩංගුවට ගත යුතුයි.

යොදා තිබෙන පිංතූරය බලන්න. මෙවැනි පිංතූර යෙදීම මගින් කරන්නේ පිංතූරයේ නැති කොටස සිතින් මවාගන්නට පාඨකයා පෙළඹවීමක්. කාමුක කියවන්නෙකුට මෙවැනි වාර්තාවක් මගින් ලැබෙන්නෙ වින්දනයක්. ප්‍රවෘත්ති කියන්නෙත් විනෝදාස්වාදය දෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි, මේ කරන්නෙ බරපතල අපයෝජනයක විස්තර රස කර කීමක්.

මේ කරන්නෙ වාර්තාකරණයක් නෙමෙයි. අපයෝජනයක් මානසිකව ප්‍රති නිර්මාණය කර එයින් විනෝදාස්වාදය ලැබීමට පාඨකයා පෙළඹවීමක්.

එය වැරදිද? ඔව්. හේතුව මෙහිදී එය සිදුකරන්නේ වාර්තාකණයක් ලෙසයි. එය රැවටීමක්.

විනෝදාස්වාදය වැරදිද? නැහැ. කිසිදු වරදක් නැහැ. මෙවැනි දෙයක් මනසින් ප්‍රතිනිර්මාණය කරගත් පළියට කෙනෙකු එය භෞතිකවත් කරන්නට පෙළඹෙන්නෙ නැහැ. ඇතැම් දේවල් පරිකල්පනය කිරීමෙන් ඒවා භෞතිකව කිරීම වළකින්නට පුළුවන්. උදාහරණයක් ලෙස, බීඩීඑස්එම් (Bondage, Discipline (or domination), Sadism, and Masochism) නමැති ආක්‍රමණශීලී ලිංගික චර්යාවකට කැමති අයෙකුට එයට අකැමැති බිරියකට එය කරන්නට ගොස් වෛවාහක දූෂණය නම් වරදට (මෙම වරද ලංකාවේ නීතිගත කර නැහැ) ලක් නොවී පෝන් වීඩියෝවක් බලා එම ආස්වාදය ලබාගන්නට පුළුවන්. ඒවා පෞද්ගලික වින්දනය සඳහා ලබාගත හැකියි (ලංකාවේ නම් නීති විරෝධීයි. හැබැයි, නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති තරම්).

ප්‍රශ්නය මේකයි. ජනමාධ්‍යවේදීන් යයි කියාගෙන ජනමාධ්‍ය යයි කියාගෙන, වාර්තාකරණය ලෙස හඳුන්වමින් වැල සයිට් එකක වැඩේ කරන එක වැරදියි. වැල සයිට් එකක් ඕනැ නම්, ඒක වෙනම කරන්න. පත්තරේට ළාවට වැල බාන්න යන්න එපා. පුවත්පත් කලාවේ ආචාරධර්ම රැකගන්න.

එතකොට හරියට කරන්නෙ කොහොමද? මෙහෙමයි. ඔය වගේ මාතෘකා. වාක්‍ය, පිංතූර භාවිතා කරන්නට එපා. වරද වරද විදියට දක්වන්න. හැකි නම් නීතිමය තත්වයන් පිළිබඳ දැනුම්වත් කරන්න. වින්දිතයා වැරැදිකරුවකු බවට පත්කරන්නට එපා. වින්දිතභාවයට වඩා එයින් බේරීම සඳහා ගත් පියවර අවධාරණය කරන්න. ඇය තමන් අපයෝජනයට ලක්වූ බව පසුව හෝ පොලිසියට දැන්වූවා නම්, ඇය කර තිබෙන්නේ ඉතා නිවැරදි ක්‍රියාවක්.

ඔය වාර්තාව ලිවිය යුතු ආකාරය මෙහෙමයි: “දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර ගැහැණු ළමයකු ෆේස්බුක් මගින් හඳුනාගෙන, සම්බන්ධතාවක් පවත්වා බරපතල අපයෝජනයකට ලක්කිරීමේ චෝදනාව මත 27 හැවිරිදි තරුණයකු කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“මෙම ගැහැණු ළමයා අපයෝජනයට ලක්කර තිබෙන්නේ තරුණයාගේ නිවසේදී බව පොලිසිය පවසයි.

“අපයෝජනයට ලක්වූ ගැහැණු ළමයා ඒ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව, සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ගැහැණු ළමයාට රැකවරණය සපයා තිබෙන අතර වෛද්‍ය පරීක්ෂණයට ලක්කිරීමට නියමිතව තිබිණි.

“ශ්‍රී ලංකාවේ නීතිය අනුව, වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයින්ට ලිංගික සම්බන්ධතා සඳහා කැමැත්ත ලබාදීමට බැරිය. එබැවින් මෙහිදී ‘ව්‍යවස්ථාපිත දූෂණය’ නම් බරපතල අපරාධය සිදුකර තිබේ. වැරදිකරු බව ඔප්පු වුවහොත්, අවුරුදු 10ට නොඅඩු හා 20ට නොවැඩි බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳීමට සිදුවන අතර වින්දිතයාට වන්දි ගෙවීමට හෝ එසේ නොගෙවුවහොත්, ඒ සඳහා ද සිර දඬුවම් විඳීමට සිදුවේ.

“මෙවැනි වැරදි සම්බන්ධයෙන් වහාම පොලිසිය දැනුවත් කිරීමට ඒ පිළිබඳ තොරතුරු ඇති ඕනෑම කෙනෙකු කටයුතු කළ යුතු බව ද, එමගින් අපරාධ වළක්වාගත හැකි බව ද, කතරගම පොලිස් ස්ථානාධිපති අහවලා මහතා පැවසීය.”

මාතෘකාව යොදන විට අවධානය යොමු කරගැනීම අවශ්‍ය නම්, “කතරගමදී බාලවයස්කාරියක අපයෝජනය කළ අයෙකු අත්අඩංගුවට” වගේ මාතෘකාවක් යෙදිය හැකියි.

පිංතූරයක් අවශ්‍ය නම්, මෙවැනි වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කරන පොලිස් නිලධාරිනියක්, මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වැනි අයෙකුගේ රූපයක් විස්තරයක් සමග යොදාගන්නට පුළුවන්.