AKD Korea

කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න

අජිත් පැරකුම් ජයසිංහ

කොරියාවෙ ගිහින් එන කොල්ලො (කෙල්ලොත්) කර්මාන්තවල වැඩ කරලා හොඳ සල්ලියක් උපයනවා. නුපුහුණු ශ්‍රමිකයන් විදියට ගියාට යම් යම් කර්මාන්තවල හොඳ පුහුණුවකුත් ලබනවා. ඒ අතරෙ ලංකාවෙ මාළිගා වගේ ලොකු ගෙවල් හදනවා. පාර අයිනෙ කඩ කාමර හදනවා. ඉඩම් ගන්නවා. ලොකුවට වෙඩිං ගන්නවා. පන්සල්වලට, පල්ලිවලට, ජවිපෙට පරිත්‍යාග කරනවා. ළමයින්ව ඉන්ටනැෂනල් ස්කූල් යවනවා. පවුල්වලට උපරිම සැප දෙනවා.

නියමිත කාලය ඉන්නවා. පුළුවන් නම් ගල්වෙලා තව ටික කාලයක් ඉන්නවා. කලාතුරකින් කෙනෙකු කොරියන් ගැහැණියක් කසාද බැඳගන්නවා. වැඩිදෙනෙකුට කවදා හරි ආපහු එන්න වෙනවා.

ලංකාවට ඇවිත් පහසුවෙන් ජීවත් වෙන්න හිතනවා. ගත්ත ඉඩම් වවනවා. කඩ දලා බලනවා. කාමර කුලියට දෙන තැන්, ගල් පස් වැලි බිස්නස්, ලොරි වෑන් හයර්, මුදල් පොළියට දීම් හා අවසාන විසඳුම විදියට ත්‍රී වීල් පදින එක කරනවා. ඇතැමෙකු සාර්ථක වෙනවා.

ඇතැමෙක් අවුරුදු කීපයකට පස්සෙ නැවත රට යන ආකාර හොයනවා. ආපහු කොරියාවෙ යන්න බැහැ. ජපානෙට, ඉතාලියට මොන ක්‍රමේකින් හරි පැනගෙන ගල්වෙන්න බලනවා. එසයිලම් ගහගන්න පුළුවන්ද බලනවා. බැරි වුණොත් මැද පෙරදිග හරි යනවා. ඒ ගිහින් එනකොට අච්චර ප්‍රාග්ධනයක් නැහැ. වයසත් ගිහින්. සමහරුන් සාර්ථක වෙනවා. සමහරුන් සාමාන්‍ය විදියට ඉන්නවා. නැවත නැවත අසාර්ථක වෙන අයත් ඉන්නවා.

වරද කාගෙද? හැම දේටම ආණ්ඩුවට බණින එක ලේසි නිසා අපි බණිනවා. කරන්න දෙයක් පිළිබඳ රජයෙන් උපදෙසක් ඉල්ලුවාට ලැබෙන්නෙ නැහැ. තමන් විදේශ රටවල ඉඳන් දහදුක් විඳා හම්බ කරලා එවපු ඩොලර් පිටරට යවලා තීරු බදු රහිතව වාහන එහෙම ගත්ත රාජ්‍ය නිලධාරීන් මේ මිනිසුන්ව ගණන් ගන්නේවත් නැහැ. කිසිම පිළිසරණක් නැහැ.

මේ මිනිසුන්ට මොකක්ද අවශ්‍ය? රැපියල් පනස්දාහ හැටදාහ වැටුප් ලැබෙන රස්සාද? ඔවුන් ඒවාට යන්නෙ නැහැ. ඔවුන්ට ඒවා මදි. ඔවුන් අත ප්‍රාග්ධනයක් තියෙනවා. යම් ශිල්පීය කුසලතාත් තියෙනවා. ඒ දේවලින් මෙහේ මොනවා හරි කරන්න බැරිද? පුංචි කර්මාන්ත පටන් ගන්න පුළුවන්. හැබැයි ගැටලු තියෙනවා. තාක්ෂණික උපදෙස්, අවසර ගැනීම්, වෙළඳපොළ ප්‍රවේශය, ගුණාත්මකභාවය ගොඩනගාගැනීම, තරගකාරීත්වය, ව්‍යාපාර කළමනාකරණය, ගිනුම් පවත්වාගැනීම, බදු, බැංකු සේවා වැනි කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට උපදෙස් අවශ්‍යයි.

මූලිකවම, කොරියාවේ රැකියා කර ආපසු පැමිණි අය ගැන විධිමත් අධ්‍යයන අවශ්‍යයි. ඔවුන්ගේ තත්වය, ගැටලු හා අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් අවශ්‍යයි. අපේ රටේ විශ්වවිද්‍යාල හා වෙනත් පර්යේෂණ ආයතන වැදගත් වෙන්නෙ මෙතනදියි. ප්‍රශ්නයක් පිළිබඳ සාක්ෂි මත පදනම් වූ දැනුමක් නොමැතිව අනුමානවලින් විසඳුම් හොයන්න බැහැ.

අනුර කුමාර දිසානායක අද කොරියාවේදී එරට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් අමතනවා. එහෙන් මෙහෙන් අහුලාගත් දැනුමකින් කතාවක් ගොඩනගලා ඔවුන් විස්මයට පත්කරන්නට ඔහු දක්ෂයි. පක්ෂ අරමුදල් යාන්ත්‍රණය එමගින් ශක්තිමත් වේවි. ඒත්, ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයිද?

මොන ආණ්ඩුවක් යටතෙ වුණත්, ප්‍රශ්නය හරියට විග්‍රහ කරගන්නෙ නැතුව දෙන මනෝ මූලික විසඳුම් හරියන්නෙ නැහැ. මොන ආණ්ඩුව තිබුණත්, රජයට මෙහිදී කරන්නට පුළුවන් ප්‍රතිපත්ති, නීති හා යටිතල පහසුකම් සැපයීමත්, උපදේශනයත් පමණයි. ආපසු පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගේ ජීවනෝපාය ස්ථාවර කරගැනීම ඔවුන්ගේ අතේ තියෙන දෙයක්. සියලු දෙනාට ගැලපෙන එක් විසඳුමක් නැහැ. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය තමයි වැදගත්.