housewifization

අජිත් පැරකුම් ජයසිංහ

හවුස්වයිෆයිසේෂන් (housewifization) වැනි ශබ්දයකින් යුක්ත වචනය ගෘහණීකරණය කියලා පරිවර්තනය කරන්නට හැකිය. ජර්මානු සමාජවිද්‍යා මහාචාර්යවරියක හා ස්ත්‍රීවාදිනියක ලෙස සැලකෙන මාරියා මීස් විසින් න්‍යායගත කරන ලද සංකල්පයේ අරුත වන්නේ ධනවාදී නිෂ්පාදනයේදී ගතානුගතික පීතෘමූලික සමාජයේ ස්ත්‍රී භූමිකාවන් සූරාකෑම හා ලාභ වැඩිකරගැනීම සඳහා යොදාගැනීමයි. උදාහරණයක් ලෙස, ඇය මෙම සංකල්පය සඳහා පාදක කරගත්තේ ඉන්දියාවේ නර්සපූර් නගරයේ ලේස් කර්මාන්තයයි. අපනයනය සඳහා නිෂ්පාදිත ලේස් ගෙතීම ගෘහණියන්ට උප කොන්ත්‍රාත් ක්‍රමයට ලබාදීමෙහන් කාන්තාවන් ගෘහණියන්ගේ තත්වයේ සීමාකොට ඔවුන් රැකියා සුරක්ෂිතභාවය රහිත වැඩ හරහා ආදායම් උපදවන්නන් බවට පත්කරන අතරම, අඩුමිල, අඩුවෙන් වගවිය යුතු ශ්‍රම බලකායක් හරහා වැඩි ලාභ ලබාගන්නා බව ඇගේ තර්කයේ පදනමයි.

මාරියා මීස් මෙම අධ්‍යයනය සිදුකළ යුගයත්, වර්තමානයත් අතර කාලය තුළ ශ්‍රම රටා සම්බන්ධ වෙනස්කම් රැසක් සිදුවී තිබේ. උප කොන්ත්‍රාත්කරණය, ස්වයං රැකියා, නිවස පාදක කරගත් රැකියා, ෆ්‍රීලාන්සිං, ක්ෂුද්‍ර ව්‍යවසාය ආදී වශයෙන් වන රැකියා වර්තමානය වන විට ඉතා සාමාන්‍ය වී තිබේ. එ‍්වායේ රැකියා සුරක්ෂිතභාවයක් නැත. එහෙත්, පෞද්ගලික නිදහස, පවුල් වගකීම් ආදිය හේතුවෙන් බොහෝදෙනෙකු සිය කැමැත්තෙන්ම එම රැකියා තෝරාගන්නා තත්වයක් නිර්මාණය වී තිබේ.

වයස අවුරුදු 55 පිරෙන විට මම පූර්ණකාලීන රැකියා කිරීම නතර කර දැමුවෙමි. මා දැන් කරන කුඩා ව්‍යාපාරයේ කටයුතු බොහොමයක් නිවස පාදක කරගෙන කරන ඒවාය. මගේ බිරිඳ රජයේ පූර්ණකාලීන රැකියාවක යෙදෙයි. මා පූර්ණ කාලීනව නිවස පාදක කරගත් රැකියාවක යෙදෙන්නට පටන් අරගෙන දැන් අවුරුදු තුනකි. මෙම කාලය තුළ, කොවිඩ්-19 වසංගතය මැදදී පවා මගේ මාසික ආදායම බිරිඳ රාත්‍රී වැඩමුර ආදිය ද කර ඉපැයූ ආදායමට වඩා වැඩි විය. මා කරන ආකාරයේ රැකියා සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය අදාළ වන්නේ ද නැත.

මෙම පසුබිම තුළ වර්තමානය වන විට හවුස්වයිෆය්සේෂන්වලට සමාන හෝ අසමාන වන හවුස්හස්බන්ඩයිසේෂන් ක්‍රියාවලියක් ද සිදුවෙමින් තිබේ. එනම්, ගැහැණුන්ට මෙන්ම පිරිමින්ට ද නිවසේ රැඳෙමින්, පවුල් වගකීම් ආදිය බෙදාගනිමින් රැකියා කිරීමේ හැකියාවක් නිර්මාණය වෙමින් තිබේ. එහෙත්, සැමියා පවුල් වගකීම් බෙදාගැනීම ස්ත්‍රීවාදී කතිකාව අනුව නම් සාමාන්‍ය තත්වයක් නොවේ. ඒ අනුව, පුරුෂ මූලික සම්ප්‍රදායන් අනුව, සැමියා නිවසේ සිට දරුවන් බලාගැනීම, ඉවුම් පිහුම් කිරීම, රෙදි සේදීම හා වේලීම ආදිය අසාමාන්‍ය කටයුතුය.

නූතන සංදර්භයන් තුළ ශ්‍රම රටා වෙනස්කම් අනුව, ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වැනි දර්ශක පවා අලුතින් සලකා බැලිය යුතුව තිබේ. නිවසේ සිට දරුවන් බලාගැනීම, වැඩිහිටියන්ට සත්කාර කිරීම, ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම් ආදී පවුලේ කටයුතු සිදුකිරීම වර්තමානය වන විට වැටුප් නොගෙවන ශ්‍රමය ලෙස සැලකේ. එම ශ්‍රම කටයුතු වෙනුවෙන් වැටුප් ශ්‍රමිකයන් බඳවාගත් කළ එම ශ්‍රමිකයන් ශ්‍රම බලකායේ සාමාජිකයන් වනමුත්, පූර්ණකාලීනව එම කටයුතුවල යෙදෙන අය ශ්‍රමිකයන් ලෙස සැලකෙන්නේ නැත. වැටුප් නොලබන ශ්‍රමිකයන් ශ්‍රම බලකායට අයත් නොවීම යථාර්ථයට පටහැණිය.

කෙසේ වෙතත්, පීතෘමූලික සමාජ සම්ප්‍රදායන් අනුව හැඩගැසුණු ශ්‍රම රටා තවමත් සමාජයේ ප්‍රමුඛ වේ. මේ හේතුවෙන් පවුලේ වගකීම් හේතුවෙන් තවමත් වැඩිපුරම රැකියා කිරීමේ අවස්ථාව අහිමි වන්නේ කාන්තාවන්ටය. රැකියාවලින් වැටුප් නොගෙවන ශ්‍රමය දක්වා මාරුවීම ද, රැකියා කරන අතරම අතිවිශාල වැටුප් නොගෙවන ශ්‍රම කටයුතු රැසක වගකීම දැරීමට සිදුවීම ද බොහෝවිට පිරිමින්ට වඩා කාන්තාවන්ගේ උරුමයක් වී තිබේ.

එම තත්වය වෙනස්කරන්නට නම්, දරුවන් හා වැඩිහිටියන් රැකබලාගැනීම, ආහාර පිසීම වැනි කාර්යයන්හි ගුණාත්මක සේවා සම්පාදනයක් අවශ්‍යය. උදාහරණයක් ලෙස, ලංකාවේ පහසු මිලට ලබාගත හැකි ගුණාත්මක දිවා සුරැකුම් සේවා ඉතා අඩුය. ඒ සඳහා අවශ්‍ය ආයෝජන රජය පැත්තෙන් සිදුවන්නේ අවම වශයෙනි. එසේම, ඒ සඳහා වන පෞද්ගලික ආයෝජන ද රජය විසින් එතරම් දිරිගන්වන්නේ නැත. මේ හා සම්බන්ධ දත්ත පදනම් කරගත් දැනුමක් හෝ ප්‍රතිපත්ති සම්පාදනයක් ද රටේ නැත.

අද වැනි ජාත්‍යන්තර කාන්තා දිනයන්හිදී පවා මව්වරුන්ගේ අගය මහ ඉහළින් වර්ණනා කරන්නේ එහෙයිනි. මාතෘ භූමිකාව ඉතා වැදගත් එකකි. දරුවන් හදාවඩාගැනීමේදී පීතෘ භූමිකාව ද එතරම්ම වැදගත් වේ. මාතෘ භූමිකාව උත්කර්ෂයට නැගීම හරහා දරුවන් හදාවඩාගැනීම සම්බන්ධ පීතෘ වගකීම් එතරම් වැදගත් නොවන බවට අදහසක් ද ස්ථාපිත කරනු ලැබේ.

පවුල්වල දරුවන් හදාවඩාගැනීම, ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම්, වැඩිහිටි සත්කාර වැනි වගකීම් සියලුදෙනා අතර බෙදීයා යුතුය. රැකියා කිරීමේ අයිතිය හා රැකියා කරන ආකාරය තෝරාගැනීමේ අයිතිය සැමට සාධාරණ අන්දමින් ලැබිය යුතුය. එම සාධාරණත්වය තහවුරු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය විය යුතුය. සේවාවන්ගේ ගාස්තු දරාගත හැකි මට්ටමට වැටුප් ද වැඩිවිය යුතුය. ඒ සඳහා ආර්ථිකය නැංවිය යුතුය.

1 thought on “හවුස්වයිෆයිසේෂන් හා හවුස්හස්බන්ඩයිසේෂන්

  1. 😀
    හස්බන්ඩයිෂේසන් නොවී හිටපු විදිහට වල්ෂේසන් ම හිටියා නම් හොඳයි කියලා හිතෙනවාද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: