Public toilets in Sri Lanka

ඊශා කප්පරගේ

1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා මතකයි.

Sinhala Tamil English Translations and Content Writing

මෙහි මළ එකතුවන්නේ වැසිකිළි ලෑල්ල යටින් තබා ඇති විශාල බාල්දියකට. එකතුවන මළ ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස දෙමළ මිනිසුන් විසින් කර තබාගෙන යනු මා දැක තිබෙනවා. ඔවුන් හැඳින්වුණේ සක්කිලි නමින්.

එකල පවා බොහෝ නිවෙස්වල තිබුනේ වල වැසිකිළි. ගම්බද මේ තත්ත්වය වැඩිපුර තිබුණා. නිවෙස් දෙක තුනකට එක වැසිකිළියයි තිබුණෙ. අද වගේ පෞද්ගලික පවුල් ඒකක නොතිබුණු ඒ යුගයේ එකම මූලයකින් පැවත එන නෑදෑයින් පිරිසක් මහ ගෙදර අවටම නිවෙස් තනා⁣ගෙන වාසය කරන විට පොදු ළිඳ, පොදු වැසිකිළිය තමයි තිබුණේ.

වැසිකිළි ගොස් සබන් යොදා අත සේදීම කළේ නැහැ. වැසිකිළි ගොස් සේදීමට වතුර ගත්තෙත් අත්හැර දමන ලද ළිඳක, වළක තිබූ අපිරිසිදු වතුර. කිරි හට්ටියක්, කැඩුණු බාල්දියක්, ප්ලාස්ටික් බූලියක් වැනි යමකුයි එයට භාවිතා කළේ.

වර්තමාන ලංකා⁣ව කෙතරම් සෞඛ්‍යවත්දැයි සිතෙන්නේ මේවා කල්පනාවට ගන්නකොටයි. ලංකාවේ අද වැසිකිළියක් නැති නිවසක් නැති තරම්. කුඩා දරුවෙකු පවා දන්නවා වැසිකිළි ගිය පසු සබන් යොදා අත සේදිය යුතු බව. දැන් වළ වැසිකිලි, බාල්දි වැසිකිළි නැහැ. මේ හේතුව නිසාම පාචනය, පණු රෝග අවමයි. ලංකාවේ සෞඛ්‍ය දර්ශක ඉහළ දැමීම සඳහා මේ සෞඛ්‍යවත් වැසිකිළි භාවිතය ඉහළ දායකත්වයක් දක්වා තිබෙනවා.

හැබැයි තවමත් අපට වැසිකිළිය ගැන හරිහමන් දැක්මක් නැහැ. අපේ මිනිසුන්, ගැහැණුන් පොදු වැසිකිළි භාවිතා කරන්නට නම් දන්නේ ම නැහැ. නිවෙස්වල වැසිකිළි භාවිතයේ වුණත් වැඩි වෙනසක් නැහැ.

වැසිකිළි භාවිතය ඉගෙන ගන්නට තිබෙන තැනක් තමයි පාසල. හැබැයි, පාසල්වල වැසිකිළි තමයි ලෝකෙ තියෙන අපිරිසිදු ම වැසිකිළි. ඒ වුණාට අපි කියන්නෙ හොඳම දේ දරුවන්ට කියලායි. දරුවනුත් නිවැරදි වැසිකිළි භාවිතය පාසලෙන් ඉගෙනගන්නෙ නැහැ. පාසල්වල වැසිකිළිවලට ගල් දැමීම, කෝටු කැබලි දැමීම වැනි පරීක්ෂණ පවා කරන ළමයින් ඉන්නවා.

පාසල්වල උගන්වන ලොකු ලොකු දේ අතරට වැසිකිළි භාවිතය වැනි සනීපාරක්ෂක කාරණාවලටත් ප්‍රමුඛතාව දෙනවා නම් නරක ද?

1 thought on “පාසල්වල උගන්වන දේ අතරට වැසිකිළි භාවිතය වැනි සනීපාරක්ෂක කාරණාවලටත් ප්‍රමුඛතාව දෙනවා නම්

  1. ඉතාම කාලෝචිත මාතෘකාවක්. අපේ රටේ ළමයින්ට පණු බේත් දීම මාස කිහිපයකට වරක් සිදු කලාට, යහපත් සෞඛ්‍ය පුරුදු තියන රටවල ළමයින්ට පණු බේත් දීමක් සිදු වෙන්නේම නැති තරම්. මේ දේවල් පාසැල් වල පහළ පන්ති වලදීත්, පාසැල් යාමට පෙර මොන්ටිසෝරි (අපේ කාලේ ඕවා තිබුනේ නැහැ, මම මොන්ටිසෝරි ගිහින් නැහැ) වලදීත් ඊටත් පෙර කාලයකදී ගෙදරදීත් කියා දෙනවානම් හරිම වටිනවා. නමුත් වැඩිහිටියනුත් කීයෙන් කී දෙනෙක් මේ දේවල් හරියට පිළිපදිනවාද, මේ හොඳ පුරුදු ළමයින්ට කියා දෙනවාද කියන එක තේරුම් ගන්න අපහසු නැහැ. ළමයෙක් ටොපියක් කාලා ඉවර උනාම අම්මා/තාත්තා ඒ ටොපි දවටනය වාහනයෙන් එලියට විසි කිරීම සාමාන්‍ය දෙයක් වෙච්ච රටක, ගංගා දිය ඇළි අසල බීලා බෝතල් කුඩු කරලා එන තරුණයන් වැඩිහිටියන් ඉන්නා රටක, මේ දේවල් වෙනස් වෙන්න සෑහෙන කලක් යාවි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: