Army cricket ground

ආරක්ෂක වියදම් අඩුකිරීමට රජයෙන් පියවර

අජිත් පැරකුම් ජයසිංහ

2009දී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම් ඉහළ යාම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්විය.

හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට 135,000 දක්වා ද 2030 වන විට ලක්ෂයක නිත්‍ය සංඛ්‍යාවක් දක්වා ද අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

යුද හමුදාවේ දැනට අනුමත සාමාජික සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වේ.

තාක්ෂණිකව සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් 2030 වසර වනවිට නිර්මාණය කිරීම අරමුණ බව ඇමතිවරයා පවසයි.

රාජ්‍ය සේවයේ වැටුප් වලින් ආසන්න වශයෙන් පහෙන් පංගුවක් පමණ වැය වන්නේ හමුදා සඳහාය. හමුදාවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් හිමි වේ.

ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් අවශ්‍ය නැත. හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකිය.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකාව ඉදිරියේ පවතින ආරක්ෂක අභියෝග කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කිරීමට සිදුවේ. 2022 වසරේදී ශ්‍රී ලංකාවේ 13 වසරක් පැවති සාමය දැඩි අභියෝගයකට ලක්වූ අතර, අභ්‍යන්තරව කැරැලිකාරී තත්වයක් නිර්මාණය විය. 2019දී මතු වූ ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදය ද අවධානය යොමු කළ යුතු තත්වයකි.

විශේෂ කාණ්ඩ හැරැණුකොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ ලබාදීමට යෝජනාවක් 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැයෙහි තිබිණි.

2023 අයවැයෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රු. බිලියන 400ක් වෙන්කර තිබේ. එය තුන්වන විශාලතම වැය ශීර්ෂයයි. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 614ක් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් රු. බිලියන 856ක් ද වෙන් කර තිබේ.

ආරක්ෂක වියදම් ගැන සලකා බැලීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය පවා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බව අප අමතක නොකළ යුතුය. එසේම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බලකාය වැනි ආයතන සඳහා වන වියදම්වලින් කොටසක් අධ්‍යාපනය සඳහා කරනු ලබන වියදම් ලෙස ද ගණනය කළ හැකිය.