Jagath Manuwarna

කොඩි ගහ යටට මං කැමතියි – අකැමැතියි

අජිත් පැරකුම් ජයසිංහ

කොඩි ගහ යට ටෙලි නාට්‍යය ගැන සංවාදයකදී මනෝරම වීරසිංහ මගෙන් අහපු ප්‍රශ්නයක් හේතුවෙන් තමයි මේ සටහන තබන්නට හිතුණෙ.

කොඩි ගහ යට නිර්මාණාත්මකයි. පරිකල්පනාත්මකයි. ආකර්ශනීයයි. කලාත්මකයි. විශිෂ්ට රඟපෑම්, අගනා දෙබස්, සිනමාත්මක ඉදිරිපත් කිරීමක් එහි දකින්නට ලැබෙනවා. මම මේක ගොඩක් රසවිඳිනවා. හැම සතියකම එපිසෝඩ් එක එනකල් බලාගෙන ඉන්නවා.

හැබැයි, මෙහෙමත් ගන්න පුළුවන්. මේක පාතාලය ප්‍රමෝට් කරන ප්‍රොපගැන්ඩා වැඩක්. පාතාලය, සිරගෙවල් හා මත්ද්‍රව්‍ය, මිනීමැරුම් ආදිය ගැන අතිශය ව්‍යාජ චිත්‍රයක් මෙමගින් නිර්මාණය කරනවා. අපරාධකරුවන් වීරයන් බවට පත්කරනවා. තරුණයන්ව අපරාධවලට පොළඹවනවා. මේක දුටුගැමුණුට රඟපාපු උද්දික ප්‍රේමරත්නව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට පත්කර එවූ රටක්. පබාට ටෙලි නාට්‍යයේ වෙච්ච සිදුවීම් නිසා කෘතහස්ත දේශපාලක කරු යසූරියටත් වඩා ඡන්දෙ දීලා උපේක්ෂා ස්වර්ණමාලිව පාර්ලිමේන්තුවට පත්කර එවූ රටක් මේක. අපි දැන් එයාට රු. 40,000කට වැඩි විශ්‍රාම වැටුපක් මහජන මුදලින් ගෙවනවා. දැනටත් අවුරුදු අටක් විතර ගෙවලා තියෙන්නෙ.

සැබෑ ජීවිතයේ පාතාලය හෝ සිරගෙවල් ඔය වගේද? ඔය යම් යම් ලක්ෂණ නැත්තෙ නැහැ. හැබැයි, පාතාලය සම්බන්ධ කතා ඔය හිතන තරම් සරල නැහැ. මිනියක් මරාගෙන, කුඩු බිස්නස් එකක් කරගෙන ආතල් එකේ කාල ඇඳල ඉන්න බැහැ. එතනදි රජයේ, අධිකරණයේ හා වෙනත් නිල ආයතනවල මැදිහත්වීම ඔය තරම් අවම නැහැ.

කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඉතින් මේ ටෙලි නාට්‍යයේ එහෙම ආතල් එකක් නැහැ නේද කියලා. ඒකෙ පෙන්නන්නෙ කෘරත්වය නේද කියලා අහන්නත් පුළුවන්. ඒ වුණාට ඒ කෘරත්වය ව්‍යාජ ලෙස මානුෂීයකරණය කරලා කියලායි මං හිතන්නෙ. විශේෂයෙන්ම, මිනීමැරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, සිරගෙවල්, නීතිය වගේ දේ එක්ක සම්බන්ධ මිනිස් හැඟීම් මෙතනදී ඉතාම ව්‍යාජයි කියන එකයි මං කියන්නෙ. ඒ ව්‍යාජත්වය කලාත්මකයි. ඒ වගේම අපරාධකාරී වෙන්නත් පුළුවන්.

“හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට දවස පුරා යන ඒවා හොඳද?” කියලා මනෝරම අහනවා. ඒ ගැන මගේ පිළිතුර මේකයි.

ඒවා වගේ නෙමෙයි. මේවා අපට සමීපයි. ඒ වගේම, පාතාල ලෝකය සම්බන්ධයෙන් මාධ්‍ය හරහා යන කතිකාව තවදුරටත් රොමැන්තීකරණය කරලා, අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීමක් තමයි තියෙන්නෙ. මිනිස්සු මේවා ඇත්ත කියලා හිතනවා. මිනී මරලා හිරේ ගිහින් ආතල් එකේ තවත් මිනී මර මර බිස්නස් එකක් කරගෙන සැපට ඉන්නවා කියන චිත්‍රයයි මේ දෙන්නෙ. ඒ හිර ගේ ඇතුළෙ රජය කියන්නෙ පාතාල ලෝකය. නිලධාරීන් කියන්නෙ උන්ගෙ රූකඩ.

කලා නිර්මාණ හැමතිස්සෙම අහිංසක නැහැ. ඒව ඇතුළෙ ප්‍රඩක්ට්ස් ප්ලේස් කිරීමේ සිට මාකටිං තියෙනවා. කලා නිර්මාණවලට අරමුදල් යොදන අයට දේශපාලනික හා වානිජ අරමුණු තියෙනවා. ඒවා බැහැර කරලා කලා නිර්මාණ රසවිඳින්නත් පුළුවන්. ඒක විතරයි කරන්න පුළුවන් කියල එකක් නැහැ. මං නම් රසවිඳීම ඉක්මවා ගිහින් ඒ පසුපස වෙළඳපොළ හා දේශපාලනය ක්‍රියාත්මක වෙන ආකාරයත් බලනවා. ඒකත් රස වින්දනයේම තවත් ලෙවල් එකක්.

ඒ ලෙවල් එක හැමෝටම අහුවෙන්නෙ නැහැ. එහෙම අහුවෙන්න අවශ්‍ය කුසලතා නැහැ. ඒක වැරැද්දක් නෙමෙයි. උදාහරණයකින් දක්වනවා නම් සිනමා නිර්මාණ පසුබිමේ සමහර වෙලාවට රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති අරමුණු මත ක්‍රියාත්මක වන අරමුදල් තියෙනවා. ඒක වරදක් නැහැ. හැබැයි, කලාකරුවන් හෝ රාජ්‍ය නොවන සංවිධාන ඒ බව කියන්නෙත් නැහැ. උදාහරණයක් විදියට, පසුගිය දිනෙක මං රූපවාහිනියෙන් විශාකේශ චන්ද්‍රසේකරන්ගෙ පාංශු චිත්‍රපටය බැලුවා. මට හිතෙනවා ඒ පසුපස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ නිර්දේශ මත ක්‍රියාත්මක වුණ හානිපූරණ යාන්ත්‍රණය ප්‍රවර්ධනය කිරීමක් තියෙනවා. ඒකෙ කිසිම වරදක් මං දකින්නෙ නැහැ.

මේක මම දකින විදියට නම් පාතාල ලෝකය හා අරාජිකත්වය ප්‍රවර්ධනය කරන්නට දරන උත්සාහයක්. මෙහි අධ්‍යක්ෂවරයා දේශපාලකයෙක්. ඔහුගේ පක්ෂයේ අරමුණුත් ඔහුගේ අරමුණුත් අතර සමහර විට ගැටුමක් ඇති.

මේකත් නෝට් කරන්න. එයා දැන් බැඳලා උස්සගෙන ගිය ඒ පක්ෂයේ අය ඇයිි මේක උස්සන්නෙ නැත්තෙ?

(ඡායාරූපය කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ දර්ශනයක් නොවේ)