අජිත් පැරකුම් ජයසිංහ
කවියක් වෙනස් විදියකට ඉදිරිපත් කරන්නට දැරූ උත්සාහයක්
අජිත් පැරකුම් ජයසිංහ
සිතිවිලි ගලා එයි එක පොදියට හිතට
මහවැලි නදිය ගලනා සේ සමුදුරට
ඔපනැලි තබා පිළිවෙලකට මසන්නට
සිතිවිලි බැරිය අල්ලා රඳවා ගන්ට
ලෝකය ගලා යයි වේගෙන් ඉවුරු තලා
කෙළිලොල් දනෝ ඔරු පැද යති සිනා සලා
රස පෙණ බුබුළු පිපිරී පාමුල ඉසිලා
ඉවුරේ මුලැදි තුරු වුව නෙතු හරියි බලා
තුටු ගඟ ගලන්නේ හෙළකට විය හැකිය
සතුටේ මුදුන ළඟ නවතින්නට බැරිය
ඔහේ ගලා යන මරණෙත් සතුටක්ය
ගඟ තව ගලයි ගලනය එහි සොබාවය
ඉපදුණ එක දුකද සැපදැයි නොදන්නෙමි
දුක සැප දෙකම එහි ඇති බව දකින්නෙමි
එක එක කලට එක එක ලද දේ කරමි
සතුට සොයමි සෙවුමම සතුටින් විඳිමි
සතුටට දිවි දුන්න මිනිසුන් සතුටු සිතින්
මිය ඇදුණාද නොදනිමි උන් කුමන සිතින්
ජීවත් වුණත් කෙදිනක හෝ මැරෙන හෙයින්
ඵල කිම දිවිය සුරකින අවවාදවලින්
සතුට තමයි ජීවිතයට සැනසීම
කොහොම කළත් නොහැකිය මරු වැළකීම
සතුටේ සැරයටිය වනනා එහා ඉම
මරුගේ නැහැ තුඩට මෑතින් තබමි මම
කොහොම කළත් මරු හට කොතැනද බාදා
දුක පොදි බැඳන් ඌ දිවියට එයි සඳුදා
ඒ ගැන සිතා කුමටද අද සිකුරාදා
සොමියට වරෙව් තව දෙදොහක් තිබෙයි සදා