අජිත් පැරකුම් ජයසිංහ
ජාතික ජන බලවේග ආණ්ඩුව අධ්‍යාපන ප්රතිසංස්කරණයක් හඳුන්වා දෙන්නට උත්සාහ කරනවා. එය හොඳ දෙයක්. ඒ අතරෙ ඔවුන්ට ඇතැම් වචන භාවිතා කරන්නට බයකුත් තියෙනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ යෝජනාව ධවල පත්‍රිකාවක් ලෙස හඳුන්වන්නට ඔවුන් දැඩි බියක් දක්වනවා. එයට ඓතිහාසික හේතුවක් තියෙනවා. ඒ තමයි 1981දී ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ධවල පත්‍රිකාවට ඔවුන් දැඩි ලෙස විරෝධය පළකර රට පුරා ශිෂ්‍ය උද්ඝෝෂණ මෙහෙයවීම. ජනතා විමුක්ති පෙරමුණ වෙත ශිෂ්‍යයන් ආකර්ශනය කරගන්නට එම විරෝධය ඉවහල් වුණා. 1987න් පස්සෙ ජවිපෙ සන්නද්ධ කැරැල්ල නිසා මේ ශිෂ්‍යයන් අතරින් සැලකිය යුතු පිරිසක් මරාදැමුණා.
දැන් ඔවුන් ගෙන එන යෝජනා බොහෝ දුරට 1981 යෝජනාවලට සමානයි. ඇත්තටම 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව කියන්නෙ පසුකාලීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ආලෝකය සපයපු ප්‍රදීපාගාරයක් වැනි ලේඛනයක්. ඔබට එම ලේඛනය සම්පූර්ණයෙන්ම කියවන්නට අවශ්‍ය නම් මෙන්න මෙතැන අපි එය ගබඩා කර තිබෙනවා. ක්ලික් කරලා පිවිසෙන්න.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල සංවාදයට භාජනය කළ යුතු කාරණයක් වන්නේ එම යෝජනා සම්පාදනය කරන්නට මුල් වූ අය වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ අධ්‍යාපනයේ එක් අරමුණක් වන රැකියාවලට සූදානම් කිරීම සම්බන්ධයෙන් විතරද කියන එක.
යුනෙස්කෝව විසින් යෝජනා කරන ලද අධ්‍යාපනයේ කුලුනු හතර හෙවත් ප්‍රධාන අරමුණු හතර මෙහිදී ඉතා වැදගත්. ඒවා මෙසේයි: දැන ගැනීමට ඉගෙනීම, කිරීමට ඉගෙනීම, වීමට ඉගෙනීම සහ එකට ජීවත් වීමට ඉගෙනීම
දැනගැනීමට ඉගෙනීම කියන්නේ, දැනුම ලබා ගැනීම සහ විචාරශීලී චින්තනය වර්ධනය කිරීමටයි.
කිරීමට ඉගෙනීමට තමයි ඔය මේ ප්‍රතිසංස්කරණවල සම්පාදකයන් වන සමාගම් හිමියන්, තාක්ෂණවේදීන් ආදීන් විසින් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව පෙනෙන්නෙ. ඒ කියන්නෙ අනාගතයේ රැකියා කරන්නට ඉගෙනීම.
වීමට ඉගෙනීම කියන එක ඉතා වැදගත්. අධ්‍යාපනය මගින් දරුවෙකුගේ සම්පූර්ණ පෞරුෂය – ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, විශ්වාසය, චිත්තවේගීය යහපැවැත්ම සහ වටිනාකම් – පෝෂණය කළ යුතුයි. ඒක ඉතා වැදගත් කුලුනක්.
එකට ජීවත් වීමට ඉගෙනීම ලංකාවට අත්‍යවශ්‍යයි. එකට ජීවත් වීමට ඉගෙනීම ජාතික සමගියේ ඉලක්කයට සහාය වන අතර, වෙනස්කම්වලට ගරු කිරීමට, සහයෝගයෙන් කටයුතු කිරීමට සහ සමාජ සමගිය ගොඩනැගීමට සිසුන් දිරිමත් කරනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී සිදු කර තිබෙන දේ, ඉවත් කර තිබෙන දේ, ප්‍රමුඛතාවක් නොදෙන දේ වැදගත් වෙන්නෙ මේ කුලුනු හතරටම සාපේක්ෂවයි. උදාහරණයක් විදියට ඉතිහාසය ඉගැන්වීම ගැන මතුපිටින් බලන කෙනෙකුට ඉතිහාසය කන්නද වගේ ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. ඒ වුණාට, ලාංකික පුරවැසියකු, විවිධත්වයට ගරු කරන සාමකාමියකු නිර්මාණය කිරීමට එය වැදගත් වෙනවා. අපි අධ්‍යාපනයෙන් නිර්මාණය කළ යුත්තේ වැඩ කරන රොබෝලා නෙමෙයි. අනාගත පුරවැසියන් කියන්නෙ එහෙම වැඩකරුවන් පිරිසක් වන්නෙ නැහැ.
මේ සම්බන්ධයෙන් මා ලියූ සවිස්තර ලිපියකට සබැඳිය මෙතන තිබෙනවා.
ධවල පත්‍රිකාව වගේ වචනවලට බය වෙන්න එපා. ඉංග්‍රීසියෙන් white paper, green paper, blueprint වගේ යෙදුම් තියෙනවා. ඒවා මොනවද කියලා මෙතනින් සරලව ඉගෙනගන්න.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා එන්නෙ දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට. ඒ ගැන ප්‍රමාණවත් සමාජ සංවාදයක් සිදුවුණේ නැහැ. අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියගේ වගේම, ඇගේ උදව්වට ආ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ හා සභානායක බිමල් රත්නායක වැනි අයගේ අපරිණත මැදිහත්වීම් විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ සමාජ අවබෝධය තවත් දුර්වල කරනවා.
උදාහරණයක් විදියට ජනාධිපතිතුමා මොකටද පාසල් වහන එකක් ගැන කතා කරන්නෙ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතෙ පාසල් වැසීමක් ගැන අදහසක් නැහැ. පාසල් නිසි පරිදි කළමනාකරණය කරන්නට ඕනැ. සම්පත් නිසි පරිදි බෙදාහරින්නට ඕනැ. එතනදි ගුරුවරුන් වැනි මානව සම්පත් විශේෂයි.
කිසිම පාසලක් වහන්න අවශ්‍ය නැහැ. ඔය වහන්නට ඕනෑ යයි කියන පාසල් අවට ප්‍රාථමික පාසල් යන වයසෙ ළමයින් ඉන්නවා. ඒ ළමයින්ව ඔය ඉස්කෝලවලට යවන්නට පුළුවන්. ළඟම පාසල හොඳම පාසල බව මතක නැද්ද? මේ සඳහා කදිම උදාහරණයක් තමයි බදුරලියෙ වතුරාන කණිෂ්ඨ විද්‍යාලය. වැසෙන්නට ඔන්න මෙන්න තිබුණ මෙම පාසල බදුරලියේ කඹුරාවල මහා විද්‍යාලයට අනුයුක්ත ප්‍රාථමික පාසලක් බවට පත් කළාට පස්සෙ දැන් සාර්ථකව පවත්වාගෙන යනවා. මෙවැනි උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.
අවශ්‍ය වන්නේ ඒවා ප්‍රධාන පාසල්වලට අනුබද්ධ කිරීම හා මනාව කළමනාකරණය කිරීමයි. ඒ පාසලෙන් හොඳ අධ්‍යාපනයක් හා හොඳ ද්විතීයක පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව දෙමව්පියන්ට තහවුරු විය යුතුයි.
ප්‍රධාන පාසල්වල ප්‍රාථමික අංශවල පන්ති ඒ අවට ළමයින්ට විතරක් සීමා කරන්නට ඕනැ. දැන් කෙරෙන්නෙ ඒ පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම හරහා පාසල් හා ආදි ශිෂ්‍ය සංගම් ආදිය නඩත්තු කරන එක. ගමේ පාසල්වලට රජය පහසුකම් දෙන්නට ඕනැ.
අධ්‍යාපන ක්ෂේත්රයේ තිබෙන ප්‍රධාන ගැටලුවලට මේ ප්‍රතිසංස්කරණ හරහා විසඳුම් සොයන්නටත් හැකි විය යුතුයි. ඒ ප්‍රශ්න සමහරක් මෙසේයි:
- ජනප්‍රිය පාසල් තරගය හා ගමේ පාසල්වලට පහසුකම් නොලැබීම
- පහේ ශිෂ්‍යත්වය හා අධ්‍යාපනය මුවාවෙන් කරන ළමා හිංසනය
- ටියුෂන් මාෆියාව හා ටියුෂන් නමැති නගුට විසින් ජාතික අධ්‍යාපනය නමැති බල්ලා සෙලවීම
- ජාත්‍යන්තර පාසල්වලට පිළිගැනීමක් නැති වීම හා එම පාසල් 200ක පමණ සිසුන් දසදහස් ගණනක් ජාතික අධ්‍යාපනයෙන් බැහැර කර විදේශ අධ්‍යාපනයකට යොමු කර තිබීම
- විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම අධ්‍යාපනයේ එකම පරමාදර්ශය බවට පත්කිරීම හා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉඩකඩ සීමිත වීම
- තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපනයට ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම
අවසානයේදී කෙතරම් අධ්‍යාපනය සාර්ථක වුණත්, මේ රටේ රැකියා නැතිනම්, ආයෝජකයන් ව්‍යාපාරිකයන් අපරාධකරුවන් ලෙස සලකනවා නම්, රජය හා අධිකරණය අවදානම් ගැනීම වෙනුවට නිකම් සිටීමම දිරිගන්වනවා නම්, අවදානම් ගන්නා අය විනාශ කරනවා නම්, ඉගෙනගැනීමෙනුත් වැඩක් නැත.

https://praja.lk/english/the-colourful-language-of-policy-white-papers-blueprints-and-more/