ඇති තැන ගුණ කියන නැති තැන බැන වදින – මිනිසා කෙලෙස අරගන්නද දැන ඇඳින

ආරියරත්න දංකැටිය (කළුතර දිස්ත්‍රික්කයේ මීගම පදිංචි දක්ෂ සහ නියම ගැමි කවියෙකි. මේ ඔහුගේ පුතුට ලියන කවි නම් කවි එකතුවෙන් කවි පංතියකි.)

මනසින් උසස් යයි යන සම්මතය පිට
මිනිසා කියන නම ලැබුනේ මිනිසෙකුට
තිරිසන් සතුන් හා සසඳා බලන විට
මිනිසුන් විරල බව පැහැදිලි විනිය මට

සාධාරණය යුක්තිය හරි හැටි රැක්ක
මිනිහට ලැබෙනුයේ ගිය ගිය තැන ටොක්ක
පරහිතකාමි බව යුතුකම පිටු දැක්ක
මිනිසා පෙරට යයි අද ලෝකය එක්ක

කා බී එකට ඉඳගෙන මංගල මේසේ
අදිනා යටි උගුල් හැමවිට හොරරාසේ
තැබුවත් ඇසුර නයිපොළගුන් හා බෝසේ
මිනිසුන් කෙරෙහි නොතැබිය යුතු විශ්වාසේ

ඇති තැන ගුණ කියන නැති තැන බැන වදින
මිනිසා කෙලෙස අරගන්නද දැන ඇඳින
පිළිසරණක් පතා එක්තැන් කර වඳින
ඒ අත්දෙකම අවියක් වේ ගෙල සිඳින

ඇතිදා ඇවිත් නැති නෑකම් කියාගෙන
නැතිදා නැති වැරදි අරගෙන තරහ වෙන
කන්නට දුන් අතම එතැනම හපාකන
මිනිසුන් ඇසුරු කළ යුතුවේ බලාගෙන