මහාචාර්ය සුචරිත ගම්ලතුන් නිම කළ සංහිඳ ශබ්ද කෝෂය

උපුල් ශාන්ත සන්නස්ගල

පෞද්ගලික ආයෝජකයකු විසින් සිදු කරන ලද ලංකාවේ දැවැන්ත ම ශාස්ත්‍රීය ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ සංහිඳ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය පිළිබඳ අතිමහත් ඇගයීමකින් යුතුව දිවංගත මහැදුරු සුචරිත ගම්ලතුන්ටත්, දෑහිතකාමී කලාකරු හා ග්‍ර‍න්ථ ප්‍ර‍කාශක සන්නස්ගලයන්ටත් ප්‍ර‍ණාම ලෙස මෙම සටහන නැවත පළ කරනු ලැබේ. – සංස්කාරක

මම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ව සිටි කාලයේ දී සුචරිත ගම්ලත් මහාචාර්යතුමාගේ ශාස්ත‍්‍රීය පතපොත හඳුනා ගතිමි; කියවීමි; හැදෑරීමි; කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ ශීෂ්‍යයෙක් ව සිටි කාලයේ මහාචාර්යතුමාගේ මාක්ස්වාදී දේශපාලන ප‍්‍රවේශයන් සහ ලාංකේය සාහිත්‍ය විචාරය සම්බන්ධ එතුමාගේ නවමු වූත් දැනෙනසුලු වූත් ප‍්‍රවේශය හඳුනා ගතිමි; විමසීමි; ගවේෂණය කළෙමි. සාහිත්‍ය කලා විෂයන් සම්බන්ධ ව එදවස කොළඹ නගරයේ පැවති බොහෝ සාකච්ඡා සම්මන්ත‍්‍රණ වාදවිවාද කතිකා යනාදියේ ප‍්‍රධාන උණුසුම් කථිකයා වූයේත් දේශපාලනික මතවාද ප‍්‍රකාශකයා වූයේත් සමාජ ඥානනය පිළිබඳ නව මතවාද හෙළි කළේත් සුචරිත ගම්ලත් මහාචාර්යතුමා ය. මම එතුමාට ආකර්ෂණය වී සිටියෙමි; බොහෝ ඈත සිට ආදරය කළෙමි. විශ්වවිද්‍යාල ජීවිතයේ දී එතුමාගෙන් අධ්‍යාපනය ලබන්නට, ශිෂ්‍යයෙකු වන්නට තිබුණා නම් මැනවැයි එදවස මට සිතිණ. ගම්ලත් මහාචාර්යතුමා, මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිළිබඳ ගුරු ගුණ සමර මතක ප‍්‍රබන්ධය ගොතා තිබෙන සරස ශෛලියෙන් මම මත් වීමි. වියපත් නො වන ශුද්ධ බුද්ධිමතෙකුගේ ඥානය මෙතරම් පෘථුල වූයේ කෙසේ දැයි මම බොහෝ විට කල්පනා කොට ඇත්තෙමි. මැදියම් රැය තෙක් පතපොත කියවමින්, ලියමින්, හදාරමින්, විමසමින් තරුණ ගවේෂණශීලී දැනුමක වෙළෙන මහාචාර්යතුමා සූර්යෝදයේ ම අවදි වෙයි. එතුමාගේ ශාස්ත‍්‍රීය ජීවිතයේ අග‍්‍රකෘතිය සංහිඳ ඉංගිරිසි – සිංහල මහා ශබ්දකෝෂය බව බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගනිති. 20 වන සියවසේ මහාප‍්‍රඥයෙකුගේ ශ්‍රේෂ්ඨතම කෘතියක ප‍්‍රකාශකයා වීම මම මහත් භාග්‍යයක් කොට සලකමි. මෙම සටහන එම භාග්‍යවන්ත චිත්තසන්තානය නැවතනැවතත් එළි දක්වා ගැනීමකි.

වසර දෙදහස්තුනේ මාර්තු මස අග සතිය වන විට මා නිෂ්පාදනය කළ තනිතටුවෙන් පියාඹන්න චිත‍්‍රපටය අතිසාර්ථක ලෙස කොළඹ රීගල් සිනමා ශාලාවේ තිරගත වෙමින් තිබිණ. එකී චිත‍්‍රපටයට ලාංකේය බුද්ධි පර්ෂදයෝ මහත් සේ ප‍්‍රශංසා කළහ; ඊට මා සැපයූ නිෂ්පාදන දායකත්වය පැසසූහ. මම පුරුද්දක් ලෙස සතියට දින කීපයක් සන්ධ්‍යා කාලයේ රීගල් සිනමා ශාලාව ඉදිරිපස ඇති ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ අවන්හලට වී සිනමා පටය නැරඹීමට එන ප‍්‍රාඥ පේ‍්‍රක්ෂකයන් දෙස බලබලා සතුටු වෙමින් සිටීමට පි‍්‍රය කළෙමි. විටෙක කුල්මත් වෙමින් ද මිතුරු ඇසුරෙන් ප‍්‍රහර්ෂය ලබමින් ද උත්කෘෂ්ට කලා – සාහිත්‍ය කෘති ප‍්‍රතිනිෂ්පාදනය කිරීමේ ආශාවකින් මන්මත් වෙමින් ද බොහෝ සැඳෑවන් එකී අවන්හලේ ගෙවා දැම්මෙමි. තනිතටුවෙන් පියාඹන්න ප‍්‍රදර්ශනය වන කාලයේ ඇති වූ මෙවන් බොහෝ සාකච්ඡාවල දී මිතුරෝ මට අපූරු යෝජනා කළහ. ශ‍්‍රී ලාංකේය පුරවැසියන්ගේ ඥාන මණ්ඩලය පුළුල් කරනු වස් අනාගතය වෙනුවෙන් මා ආයෝජනය කළ යුත්තේ මොනවා ද යන්න එකී බොහෝ සාකච්ඡාවල මුඛ්‍ය තේමාව විය; මූලික පදනම විය. ආදරණීය වස්සානය චිත‍්‍රපටයට මා අර්ථපතිත්වය නො දරන්නේත් අක්ෂරය චිත‍්‍රපටයට මා අර්ථපතිත්වය දරන්නේත් මෙම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස යැයි මම සිතමි. සුළඟ එනු පිණිස චිත‍්‍රපටය සඳහා මාගේ ආවේශයට ද එකී සාකච්ඡා බලපෑම් කොට තිබුණි. එවන් සාකච්ඡාවක දී මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ශබ්දකෝෂ ව්‍යාපෘතිය අතරමඟ ඇනහිට ඇති බවත් එය නැවත පණ ගන්වා ගොඩනඟන්නේ නම් එය මේ රටේ ආයෝජකයෙකුට පිරිය හැකි සුවිශාල ම දාන පාරමිතාව බවත් ඇතැම්හු කීහ. එවන් සත්ක‍්‍රියාවකට මා මැදිහත් වන්නේ නම් ශබ්දකෝෂ ව්‍යාපෘතිය අවසන් වන තෙක් මට අත්වැල් පවුරක් වන්නට ඔවුහු පොරොන්දු වූහ. සියලු කාර්යයන්හි දී මා සමග අත්වැල් බැඳ ගන්නටත් ව්‍යාපෘතිය අවසන් වන තෙක් සාමූහික ව උදව්පදව් කරන්නටත් ඔවුහු මා සමග ගිවිස ගත්හ. මිත‍්‍ර සන්ථවයෙන් ඔදවැඩි මම ඉතසිතින් යෝජනාවට කැමැති වීමි.

මහාචාර්ය ගම්ලත්ගේ ශබ්දකෝෂ ව්‍යාපෘතියේ ආයෝජකයා වීමේත් මෙම මහඟු ග‍්‍රන්ථයේ ප‍්‍රකාශකයා වීමේත් සංක්ෂිප්ත ඉතිහාසය ඇරඹෙන්නේ එසේ ය.

ඉනික්බිති ව සුචරිත ගම්ලත් මහාචාර්යතුමාත් මමත් ශබ්දකෝෂ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් අත්සන් කළෙමු. මම උත්කර්ෂයෙන් සේවකකාරකාදීන් කැඳවා, කාර්යාල පහසුකම් වෙන් කරවා, යානවාහන මිලට ගෙන කඩිනම් ව්‍යාපෘතියක් ලෙස එහි වැඩ ආරම්භ කළෙමි. එහෙත් දෙදහස්තුනේ මාර්තු මස සිට සය වසරක් තුළ මේ කාර්යය නිම කිරීමට අපට නො හැකි විය. මගේ ආර්ථික ශක්තිය පිරිහිණ. මිතුරු අත්වැල් පවුරු බිඳිණ. සාමූහිකත්වයේ මනුෂ්‍ය ගිවිසුම් ගිලිහිණ. මිතුරෝ සතුරු වෙස් ගත්හ. මා ගම්ලත්ට ගෙවා ඇති කප්පම් මුදල කොතෙක් දැයි පත්තරකාරයෝ ප‍්‍රශ්න කළහ; කිලිටි සේදීමේ ගාස්තුව ප‍්‍රශ්න කළහ; මා කලා සාහිත්‍ය ව්‍යාපෘතිවලට යොදවන්නේ ‘කළු සල්ලි’ යැයි කියමින් පුවත්පත්වලට ලිපි ලියූහ. මේ සත්ක‍්‍රියාවට එරෙහි ව දස බිම්බර මාර සේනාවෝ පෙරට ආහ. ශබ්දකෝෂය නිම කිරීමට නො හැකි ව මම මගේ කාර්යාලය තැන්තැන්වලට මාරු කළෙමි. නුගේගොඩ ද විජේරාමය ආසන්නයේ ස්ථාන දෙකක ද දෙල්කඳ සහ නැවතත් නුගේගොඩ ද ඉනික්බිති ව බත්තරමුල්ල පැලවත්තේ ද අලුත් කාර්යාල කුලියට ගත්තෙමි; විවිධ උපකරණ ද පරිගණක ද නැවත නැවතත් මිල දී ගතිමි. ඇතැම් සේවකයෝ අප හැර ගියහ; පරිගණක පද්ධතිය අවුල් කළහ. ලංකාවේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු මා හට දුරකතනයෙන් කතා කොට මේ ශබ්දකෝෂයේ ප‍්‍රකාශකයා වී අමාරුවේ නො වැටෙන්නැයි ‘අවවාද’ කළහ. ශබ්දකෝෂය මුද්‍රණය කරන්නේ නැද්දැයි ඇතැම්හු සමච්චල් කළහ. එහෙත් කිසිවෙකු පිහිටට ආවේ නැත. ඇතැම් දිනක දහදොළොස් දෙනෙක් නිදි වරමින් දිනපතා ශබ්දකෝෂයේ කටයුතු කළහ. මම එහි නිමාව ගැන සතුටට පත් නො වීමි; සය වසරක් තිස්සේ බොහෝ දුක්ඛදෝමනස්ස විඳ ගනිමින් මෙම ව්‍යාපෘතිය සතුටු විය හැකි පරිදි නිම කිරීමට වෙහෙසුණෙමි.

සුචරිත ගම්ලත් මහාචාර්යතුමාගේ සටහනේ එතුමාට පිළිසරණ පිණිස බෝසත්වරුන් වැනි අය පෙනී සිටි බව සඳහන් වේ. මා මුහුණ දුන්නේ ඊට හාත්පසින් ම වෙනස් අත්දැකීමකට ය. මෙම ශබ්දකෝෂ ව්‍යාපෘතිය වෙනුවෙන් මම රුපියල් මිලියන අටක් බත්තරමුල්ල කාර්යාලය සඳහා පමණක් ආයෝජනය කළෙමි. දෙමසකින් පමණ හවුලට පැමිණි සියල්ලෝ ම මා හැර ගියහ. ව්‍යාපෘතියක් ලෙස මෙම කාර්යයට සම්බන්ධ වූ ඇතැම් ස්ත‍්‍රියක් ව්‍යාපෘතියේ තිබූ බොහෝ සංකල්ප හා ප‍්‍රාග්ධනය ද රැගෙන අතුරුදහන් වූවා ය. ඇමෙරිකාවේ සිට පැමිණි ලාංකේය පරිගණක ශිල්පියෙක් අපගේ කාලය පමණක් නො ව දේපළ ද කොල්ල කෑවේ ය. ණය බරින් මම මිරිකී ගියෙමි. මේ කාලයේ මිතුරෝ මට සතුරුකම් කළහ; සිසිල් සුළඟ වියැළිණ; පොළොවේ තෙත් බව නැති විණ; රුදුරුකම් මා පසුපස හඹා ආයේ ය. මම තැති ගතිමි; හුදෙකලා වීමි; අසරණ වීමි. ණය බර මා මත පමණක් පැටවිණ. මා සතු ව තිබූ අලුත් ම බෙන්ස් වර්ගයේ කාර් රථය මම ණයහිමියාගේ නිවසේ මිදුලට ම ගෙන ගොස් දී ඔහුට භාර කර කාරයේ යතුර ඔහු අතට දුනිමි. බෝසත්වරු කිසිවෙක් මා අසල නැත. දේවදත්ත වෙස් ගෙන ඔවුහු ගස් ගල් මුල් මා වෙතට පෙරළුෑහ. ‘අපේ සිංහල පන්තියේ’ දරුවන්ට ඉගැන්වීමෙන් ලත් මුදල් පරිස්සමෙන් එකතු කොට ගෙන මම නැවතත් ශබ්දකෝෂ ව්‍යාපෘතිය නුගේගොඩ විජේරාම කාර්යාලයේ ආරම්භ කළෙමි. මේ මාහැඟි ග‍්‍රන්ථයට සය වසරක් තිස්සේ ‘අපේ සිංහල පන්තියේ’ ඉගැන්වීමෙන් උපයා ගත් මුදල් පමණක් ම ආයෝජනය කළ බව නිවේදනය කරමි. මේ අග‍්‍රකෘතියේ ඇත්තේ මහැදුරු ගම්ලත්ගේ ශුද්ධ බුද්ධිය නමැති ප‍්‍රාග්ධනයයි. මෙහි ආයෝජනයේ ඇත්තේ මගේ බුද්ධිමය ශ‍්‍රමයේ ආර්ථික ප‍්‍රාග්ධනයයි.

සය වසරක දුෂ්කර ක‍්‍රියාවක ඇවෑමෙන් මම හුදෙකලා තනි ව්‍යාපෘතියක් ලෙස මෙය නිමා කළෙමි. මහාචාර්යතුමා මාගේ සියලු ප‍්‍රමාද, අපහසුතා ඉවසුවේ ය. එහෙත් ඒ සය වසරක කාලය තුළ මෙම අග‍්‍රකෘතිය නැවත නැවතත් මහාචාර්යතුමා අතින් සංස්කරණය විය. ශබ්දකෝෂයේ ආකෘතික ලක්ෂණ ද අපි වෙනස් කළෙමු. වෙහෙසුණු මහාචාර්යතුමෝ විටෙක ගිලන් වූහ. මම තිගැස්සුණෙමි. මහාචාර්යතුමා රෝගාතුර වන හැම විට ම මම බියපත් වීමි. මහාචාර්ය ගම්ලත්ගේ ශුද්ධ වූ බුද්ධිමත් භාවයේ අග‍්‍රඵලය මෙම ශබ්දකෝෂය යැයි මම තරයේ විශ්වාස කළෙමි. එතුමා නිරෝගී ව සිටින කල මේ කෘතිය නිමා කිරීම මගේ අරමුණ විය. විටෙක රෝගාතුර වූ මහාචාර්යතුමා ඉන්දියාවට යවා ප‍්‍රතිකර්ම කරවීමට පවා මට සිදු විය. එතුමා ඉක්මනින් සුවය ලබා නැවතත් ශබ්දකෝෂය සඳහා අවශ්‍ය ඥානමය භාවිතයේ යෙදුණේ ය. එතුමා නීරෝගී සුවය ලබද්දී මම මරණයේ දොරකඩට ගියෙමි. මේ සියල්ල දැන් අතීතයට අයත් ය. අප කළ මේ මහා ශබ්දකෝෂය අනාගතයට අයත් ය. මේ ග‍්‍රන්ථයේ ආයෝජන මුදල රුපියල් මිලියන ගණනින් වත් ගිණිය නො හැකි ය. සය වසරක් සේවකකාරකාදීන් බොහෝ දෙනෙකු සමග ගෙවූ කාලයට මිලක් නියම කළ නො හැකි ය. අපතේ ගිය සය වසරක ජීවිතය පාඨක ඔබට සියවසරක අත්දැකීමකි. දැන් මේ මහා ශබ්දකෝෂයට විශාල වටිනාකමක් ඇත්තේ ය. මාගේ ජීවිත කාලයේ දී හෝ ඊළඟ පරම්පරාවේ දී වත් මේ ආයෝජනයට මූල්‍යමය ප‍්‍රතිලාභයක් නො ලැබෙන බව මම දනිමි. මට ජීවිතය යනු ලාභ අලාභ නො වේ. ජීවිතය යනු දුක සහ සතුටයි. මේ සංහිඳ ඉංගිරිසි – සිංහල මහා ශබ්දකෝෂය ප‍්‍රකාශයට පත් කිරීමෙන් මම බොහෝ සතුටට පත් වී සිටිමි. මම එකී සතුටේ පීතෘවරයා වෙමි. මෙම ඉංගිරිසි – සිංහල මහා ශබ්දකෝෂය පරීශීලනය කිරීමෙන් එකී සතුට ශාස්ත්‍රෝන්නතිකාමී බොහෝ දෙනාටත් අත්පත් වේවා යැයි මම ප‍්‍රාර්ථනා කරමි.

ක‍්‍රි. ව. 2009ක් වූ මැයි මස 10 වැනි දා 
සංහිඳ කාර්යාලයේ දී ය.

මහාචාර්ය ගම්ලතුන්ගේ ප්‍රකාශ උපුටනය

‘මෙහි රූපය මනහර කිරීමත් ඇදකුද හැරීමත් පරිහරණය පහසු හා ආස්වාදජනක කිරීමත් සඳහා දුර්ලභ දූරදර්ශී යෝජනා හා රමණීය සංශෝධන ඉදිරිපත් කොට ඒවා ක‍්‍රියාත්මක කරවූ ද දැවැන්ත ධනයක් ආයෝජනය කොට මෙය ශෝභන ලෙස මුද්‍රණයෙන් පළ කළා වූ ද සංහිඳ ප‍්‍රකාශනායතනයේ අධිපති උපුල් ශාන්ත සන්නස්ගලයන්ට පින්. ශ‍්‍රී ලංකාවේ අන් කිසිදු ප‍්‍රකාශකයෙකු මෙවැන්නක් සඳහා මෙතරම් ධනස්කන්ධයක්, කාලයක්, ශ‍්‍රමයක් හා ඉවසීමක් නො මසුරු ව වැය කරතැයි මම නො සිතමි. ‘

සුචරිත ගම්ලත් 
ක‍්‍රි. ව. 2009ක් වූ මාර්තු මස 15 වැනි දා 
කොළඹ දී ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහගේ සිට සියලු රාජ්‍ය නායකයන් ද, අධ්‍යාපන ඇමතිවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ද දිගු කාලයක් තිස්සේ දැනුවත් කොට ඇත. කිසිවෙකු මැදිහත් වීමක් කළේ නැත.

දැන් ඉතිරිව ඇත්තේ සීමිත පිටපත් ප්‍රමාණයකි. තෙමීමෙන්, ගබඩා පහසුකම් නොමැති වීමෙන්, කාවුන් වේයන් ගිල දැමීමෙන් විශාල ශබ්දකෝෂ ප්‍රමාණයක් විනාශ වී අවසන් ය. ලක්ෂ 500ක් පමණ වූ මාගේ ආයෝජනය විනාශ වී අළු දූලි වනු දකිමි. කිසිවෙක් කිසිදා මේ මහඟු ශබ්දකෝෂය නැවත මුද්‍රණය නොකරනු ඇතැයි සිතමි.

පිටපත් දෙක ම රුපියල් 15,000/=
වට්ටම් සහිත ව රුපියල් 9000/=

එපමණි.