pandama

හිස ගිනිගත් අයගේ ඉච්ඡා භංගත්වයේ හෝරාව

– අජිත් පැරකුම් ජයසිංහ

කිසිදා හමුවී නැති, ෆේස්බුක් එකේ පවා මා ලොකු විවාදයකට පැටලී නැති, අඩු තරමේ දේශපාලන කාරණයක් චැට් කර හෝ නැති පුද්ගලයකු වන එරන්ද ගිනිගේ මගේ නම ටැග්කරමින් හිටිහැටියේ මා ඔහුගේ ජීවිතයට තර්ජනයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධ ‘ගිනිගේ චර්යාව’ තේරුම්ගැනීම අවශ්‍යයි. එය මට අදාළ පෞද්ගලික කාරණයක් පමණකැයි මා සිතන්නේ නැහැ. ඔහුගෙන් ප්‍රකාශ වන්නේ කිසියම් ප්‍රවණතාවක්.

එවැනි අයගෙ මානසිකත්වය අනුව මට හිතෙන්නෙ ඔහු කරන්නෙ මාව සහ තවත් අයව කාගෙ හරි අවධානයට යොමුකරන එකයි. ඔහු ජනාධිපති උපදේශක කෙනෙකු නිසා හරි නම් ඒ අවධානය යොමුකරන්නෙ ජනාධිපතිට වෙන්න ඕනැ. ජනාධිපතිට මගේ අදහස් යොමුකරනවා නම් මා ඉතා කැමතියි.

ඒ වුණාට අපි දන්නවා ජනාධිපති උපදේශකකම කියන්නෙ රස්සා නැති උපාධිධාරීන්ට දෙන සංවර්ධන නිලධාරි තනතුරක් වගේ සැනසිලි තෑග්ගක්ය කියන එක. සමහරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ මේසයක්, පුටුවක් හෝ එහි යාමට අවස්ථාවක්වත් ලැබෙන්නෙ නැහැ. ජනාධිපති උපදේශකකම ලැබෙන අයට කරන්නට අමාරුම වැඩේ තමයි ජනාධිපතිට උපදෙස් දෙන එක. හැබැයි, ජනාධිපති උපදේශක හැඳුනුම්පතයි, විසිටිං කාඩ් එකයි පාවිච්චි කරලා දේශපාලනය හා බිස්නස් කරන්නට පුළුවන්.

එරන්ද ගිනිගේ මාව පෙන්නන්නෙ කාටද? ඒ පෙන්නන්නෙ සමහරවිට මට අනතුරක් කළ හැකි කාටහරි වෙන්නට පුළුවන්. ඒ නිසා මං ඒක සීරියස් ගන්නට තීරණය කළා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්තවාදියකු ලෙස ප්‍රවර්ධනය කළ, ඔහු එසේ නොවීම නිසා ඉච්ඡා භංගත්වයට පත්ව සිටින ඇතැමෙකු මුල සිටම සිතා සිටියා, ගෝඨාභය බිත්තියට හේත්තු කළවිට ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයකට යොමුවෙයි කියලා. එහෙත්, ඔවුන් අවබෝධ කරගන්නේ නැති මූලික කාරණය වන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පුතා බුද්ධිමත් ඇමරිකානුවකු බව. එවැනි දරුවකු තම වැඩිහිටි පියා එවැනි මුළාවක් වෙත තල්ලුවෙන්නට ඉඩදෙන්නේ නැහැ. ඒ නිසා ලාංකීය හිට්ලර්වාදීන්ට තමන්ගේ සිහිනය ගෝඨාභය රාජපක්ෂගෙන් හමුවන්නට තිබෙන ඉඩ අවමයි.

එරන්ද ගිනිගේ වැනි ආන්තික අදහස් තියෙන අයට ප්‍රජාතාන්ත්‍රික උද්ඝෝෂණ හා අදහස් ප්‍රකාශනයන් ලොකු ගැටලුවක් වී තිබෙන බව පෙනෙනවා. ඔවුන්ට අවශ්‍ය එය බලෙන් යටපත් කර දමන්නට විය හැකියි. ඒ සඳහා අවශ්‍ය ඇතැම් ව්‍යූහයන් ඇතැම්විට ගොඩනැගෙමින් තිබෙනවා විය හැකියි. නැතිනම්, ඔවුන්ගේ ආතතියට ගොදුරු වී තිබෙන මනස්වල එවැනි දේ නිර්මාණය කරගෙන තිබෙනවා විය හැකියි.

මෙතනදී ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ සටන්කාමී දේශපාලකයන් ද වැදගත් වෙනවා. මේ වනවිට ආණ්ඩුව වෙනුවෙන් සටන්කාමී විදියට මුහුණදෙමින් සිටින දේශපාලකයන් අතර ඔහු ඉදිරියෙන්ම සිටිනවා. ඔහු උද්ඝෝෂකයන්ට අභියෝග කරනවා. ඔහු තමන්ගේ දේශපාලන වගකීම පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතත් කරනවා. ඔහු වැනි දේශපාලකයන්ට අප ගරුකළ යුතුයි. එරන්ද ගිනිගේලා වැනි ආන්තික අදහස් දරණ අය පවා එල්ලෙන්නේ ඔවුන්ගේ එඩිතරකමේ ශක්තියෙහි විය හැකියි. ගිනිගේලා සොයන ඉනිමං ජොන්ස්ටන්ලාගෙන් නොලැබීම මුලින්ම වැදගත් වන්නේ ජොන්ස්ටන්ලාටමයි.

අරගලය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉම අද්දරට තල්ලු කරන්නට අවශ්‍ය බොහෝ අය ඉන්නවා. ඔවුන්ගේ පැතුම් සුන්වෙන බොහෝ සාධක තිබෙනවා. අරගලකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය තුළ විනයගත වීම හා අවශ්‍ය අවස්ථාවලදී පසුබැසීමත්, සම්මුතියට එකඟ වීමත් අවශ්‍යයි. මේ අරගලය සිංහල අවුරුද්දට පෙර අවසන් කරන්නට අවශ්‍ය නැහැ. එහෙම අවසන් වන්නේත් නැහැ. මූලික වශයෙන්ම රට ගොදුරු වී තිබෙන ආර්ථික හා දේශපාලනික අර්බුදයට එවැනි පපඩම් විසඳුම් නැහැ. ප්‍රජාතන්ත්‍ර විරෝධය වෙත යොමුවීම තත්වය තවත් තීව්‍ර කරන්නට හේතු විය හැකි බව අන්තවාදීන් කෙසේ වෙතත් ආණ්ඩුව අවබෝධ කරගෙන තිබෙනවා.

රටට ගැලපෙන දේශපාලන හා ආර්ථික ක්‍රමයක් සහ එයට ගැලපෙන නායකත්වයක් බිහිකරගන්නා තෙක් අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙනයා යුතුයි. ඒ සඳහා අවශ්‍ය මහජන සහයෝගය ස්ථාවර කරගැනීම ලොකු ගැටලුවක් නෙමෙයි. ගිනිගේලාගේ ඔලුවල ඇවිළෙන ගිනි ද නිවා දමා ‘ධර්මය ඔබට මග වේවා!’ යන ඔහුගේ වානිජ පාඨය මන්තරයක් නොව, අධර්මය ධර්මය නොවන බව තේරුම්ගැනීමට මාර්ගයක් විය යුතු බව ඔහුට කියාදෙමු.